ප්‍රභාවක් විදහා පෑ විරල ගණයේ රූපණවේදිනිය

ලාංකේය වේදිකා නාට්‍ය කලාවේ ස්ත්‍රී භූමිකාව - 98 ලිපිය
අප්‍රේල් 14, 2022

 

වේදිකාවේ රඟපාන විට අපූර්ව ප්‍රභාවක් (ඹ්භඵබපඥ) දිස් වන රංග ශිල්පිනීන් ත්‍රිත්වයක් තමාට සිහිපත් වන බව මෑතකදී අපගෙන් වියෝ වූ ප්‍රකට නාට්‍යවේදී සුමන ආලෝක බණ්ඩාරයෝ පැවසූහ. එනම් සෝමලතා සුබසිංහ, මාලිනි ෆොන්සේකා සහ ප්‍රේමා ගණේගොඩ මෙහිදී ඔහු විසින් සඳහන් කරන ලද නිළියෝ වෙත්. නිළියක, රචිකාවක, අධ්‍යක්ෂවරියක, රංග කලා උපදේශිකාවක ලෙස සෝමලතා සුබසිංහගේ යුග කාරක මෙහෙවර ආස්වාදනීයය; අනන්‍යසාධාරණයය. මෙරට කෘතහස්ත නිර්මාණකරුවන්ගේ වේදිකා නාට්‍ය, චිත්‍රපට හා තෙල නළුවලට රූපණ දායකත්වය ලබා දෙමින්ද අනේකවිධ රටවල සංචාරය කරමින් විදෙස් නාට්‍ය හා රංග කලාව අධ්‍යයනය කරමින්ද ඇය ලැබූ අනුභුතීන් සහ පරිචය ලාංකේය වේදිකා නාට්‍ය කලාව සුපෝෂණය කිරීමට ඕ එලෙසින්ම සම්ප්‍රදානය කළාය. ප්‍රතිභාපූර්ණ නළු, නිළි පරපුරක් මෙරට වේදිකාවට තිළිණ කළ ආචාර්යවරියක ලෙස ඇගේ කාර්ය සාධනය සුවිශිෂ්ටය. මෙරට එදා මෙදා පහළ වූ අග්‍රේසර නාට්‍යවේදියාණන් වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මඟපෙන්වීමෙන් කලා ලොවට පිවිසෙන්නට රංග ශිල්පියකුට හෝ ශිල්පිනියකට අවස්ථාව ලැබීම පින් ඇති සරසවි වරමක් වැන්න. සෝමලතා සුබසිංහ ඒ පින් ඇති සරසවි වරම ලැබීමට භාග්‍යවන්ත වූවාය. උසස් පෙළ සමත් වීමෙන් ඉක්බිතිව ඇය 1958 දී පේරාදෙණිය ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් විය. එකල පේරාදෙණිය විශ්වවිද්‍යාලය මිහිබට සුරපුරකි. මහැදුරු සරච්චන්ද්‍රයන්ගේ අභිනව නාට්‍යයට නළු නිළියන් අවශ්‍ය බවට දැන්වීමක් විශ්වවිද්‍යාලයේ දැන්වීම් පුවරුවක පළවී තිබිණ. ඒ අනුව ඊට අයැදුම් කළ සෝමලතා හට මහාචාර්ය සරච්චන්ද්‍ර සෙවණෙහි රූපණ සම්ප්‍රාප්තියට මංපෙත් විවර විය. වසන්ත කුමාර , කේ.එස්.ප්‍රනාන්දු යටතේ නර්තනයත් ආනන්ද සමරකෝන් , ඩබ්ලිව් ඩී අමරදේව , රොම්ලස් මාස්ටර් වැනි ආචාර්යවරුන්ගෙන් ගායනයත් ඇය හදාරා තිබුණි. එවක ඇය යාන්තම් 22 හැවිරිදි වියෙහි තරුණිය වුවත් වයසට වඩා මුහුකුරා ගිය බැරෑරුම් පෙනුමක් සරච්චන්ද්‍රයන් ඇයගෙන් දුටුවාට සැක නැත. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ

"රත්තරන්" (1958) නාට්‍යයේ මහලු ස්ත්‍රියගේ භූමිකාව ඇයට ලැබිණ. වයසෙන් ළාබාල දැරියකට හා පුරා කියා මහලු ගැහැනියකගේ චරිතයක් නිරූපණය කිරීමට සිදුවීම අභියෝගයක් බැව් මා අමුතුවෙන් කිව යුතු නැත. ඒ අභියෝගය ඇය කුලුඳුලෙහිම ජයගත්තාය."රත්තරන්" හී පුතා ලෙස රඟපාමින් සුප්‍රකට නාට්‍යවේදී නාමෙල් වීරමුණිද කලා ලොවට ප්‍රවිෂ්ට වූ බැව් අප අමතක නොකළ යුතුය."රත්තරන්" වූ කලී පහතරට තොවිල් සම්ප්‍රදායෙන් බිහි වූ නාට්‍යයකි. මේ නාට්‍යය ආරම්භයෙහිම වේදිකාවට පිවිසෙන මහලු ස්ත්‍රිය ලෙස රඟන සෝමලතා, විනාඩි දහයක පමණ කාලයක් තනිව ස්වයං කථනයක යෙදෙනු දක්නා ලැබේ. අංකුර නිළියකට එයද අභියෝගයකි. මෙකී නොකී අභියෝග ඇය ජයගත්තී ආධුනික සමයේදීය.

 

මහලු ස්ත්‍රිය (සෝමලතා) - යන්තම් නොතෙමී ඉන්න පුළුවන් ගෙයක් හම්බවුණා. මෙච්චර කල් ගස් යට ඉඳලා, අව්වට වේලිලා, වැස්සට තෙමිලා, මම නොමැරුණු එකයි පුදුමෙ.දැනට තුන් හාර මාසයක් වත් ගත වෙන්න ඇති මං මේ වනාන්තරේ වාසය කරන්න වෙලා."

 

"රත්තරන්" නාට්‍යයේදී ඇයට නර්තනය පුහුණු කරන ලද්දේ යූ. දිනේරිස් ගුරුන්නාන්සේ විසිනි. සෝමලතා සුබසිංහ, නාමෙල් වීරමුණි, චන්ද්‍රසේන දසනායක, අභය අත්තනායක, අනුලා අබේසිංහ යනාදීහු මෙහි රංගනයෙන් දායක වූහ.

 

මෙරට ගැමි නාටක ඔස්සේ දේශීය නාට්‍ය කලා සම්ප්‍රදායක් බිහි කිරීම උදෙසා මහාචාර්ය සරච්චන්ද්‍රයන් සිදු කළ තවත් වෙසෙස් අත්හදාබැලීමකි, "එලොව ගිහින් මෙලොව ආවා" (1959) නම් වනුයේ. "කළුඑතනට දුන් දෑවැද්ද" නම් සුප්‍රකට ජනකතාව හා යුගොස්ලෝවියානු ජන කතාවක් මෙහිලා පාදක විය. එහි මෝඩකම්වලින් පිරුණු හිත හොඳ කළුහාමිගේ ප්‍රධාන භුමිකාව සෝමලතා නිරූපණය කළාය. කළුහාමි වූ කලී උපන් ගමෙන් පිට කොහේවත් අඩිය තබා නැති, නිතර සැමියාගෙන් (කළුඅප්පු) "මෝඩ ගැහැනියක" ලෙස ගැරහුම් ලත් , තම මියගිය දියණිය පිළිබඳ කනගාටුවෙන් පසුවන්නියකි. එලොව ගිය දියණියගේ සැප දුක් දැන ගැනීමේ ආශාවෙන් මඩනා ලද ඇය අවසන හිඟන්නාගේ කපටි බසට රැවටේ. එලොව සිට ආ බව කියා තමා රවටන හිඟන්නාට දුවගේ ආභරණ සියල්ල දීමට කළුහාමි පෙලඹෙන්නීය.

 

කළුහාමි (සෝමලතා)

-

 

හැබෑවටම

එලොව ගිහින්

ආව කියන ඔය කතාව

ඇත්තක් නං

ඇයි මගේ දුව

එන්නෙ නැත්තෙ

උඹ වාගේ

දුව ගිහිල්ලා

අවුරුද්දක්

විතර වෙනවා

අද වෙනකල්

උන්දැගෙ වංහුං

මොකවත්

බැරිවුණානෙ

හොයාගන්න

 

ඒක හැබැයි

මං දන්නවා

මම හදෝල දීපු ඒව

නියම රත්තරන්

බඩු නේ

පොඩ්ඩක් වත්

කලවං නෑ

සල්ලි දීල

ගත්තත් එහෙ

විකුණන බඩු

කොහෙත් එකයි

මේව නියම

රත්තරන් ම

මකවල මං හදෝපුවා

මම දෙන්නං

අරන් යන්න

කනකර බඩු

ටික ඔක්කොම

පරිස්සමින්

ඇති තියලා

මොකුත් වෙන්න

දෙන්නෙ නැතුව

 

බැසිල් මිහිරිපැන්නගේ නර්තන පුහුණුවත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන්ගේ ගායන පුහුණුවත් "එලොව ගිහින් මෙලොව ආවා" නාට්‍යයේදී සෝමලතා සුබසිංහ හට ලැබිණ.

ලාංකේය වේදිකාවේ අනාගත බලාපොරොත්තු තැබිය හැකි ප්‍රතිභාපූර්ණ නිළියකගේ ප්‍රවිෂ්ටය "රත්තරන්" හා "එලොව ගිහින් මෙලොව ආවා" ඈ නාට්‍ය ද්වයෙන් සනාථ කිරීමට ඕ සමත් වූවාය. "එලොව ගිහින් මෙලොව ආවා" නාට්‍යයෙහි දක්නා ලැබෙන ජනකතාව ඉන් පෙර "මාතලන්" (1955) නම් වූ මෙරට අතිශය ජනප්‍රිය චිත්‍රපටයෙහිද අතුරු කතාවක් ලෙස දර්ශන පෙළක දිස් වූ බව මෙහිදී මා හට සිහිපත් වේ.

 

කෙසේ වුවත් සෝමලතා සුබසිංහ නම් වූ කෘතහස්ත කලාකාරිනියගේ රූපණ පරාසය මුල්වරට විදාරණය කළ භුමිකාව "මූදු පුත්තු" (1962) හී සරාය. ස්පාඤ්ඤ ජාතික ෆෙඩ්රිකෝ ගාර්ෂියා ලෝකාගේ "ඊඩඥ කඥපථච" (1934) නාට්‍යය ඇසුරෙන් , එහෙත් ස්වාධීන මඟක් ගනිමින් ගුණසේන ගලප්පත්ති සූරීන් අධ්‍යක්ෂණය කළ මෙය ඔහුගේ විශිෂ්ට නිර්මාණය ලෙස බොහෝ විචාරකයෝ පිළිගනිති. "රත්තරන්" හි මහලු ස්ත්‍රිය , "එලොව ගිහින් මෙලොව ආවා" හි කළුහාමිට වඩා පුළුල් පරාසයක විහිදෙන සංකීර්ණ භූමිකාවක් නිරූපණය කිරීමේ අවස්ථාව සෝමලතාට මෙහිදී හිමි විය. ලිංගික ගැටලුවක් මුල් කොටගත් තේමාවක් මීට අන්තර්ගත විය. සැමියාගෙන් දරුවකු නොලද බිරිඳක් (සරා) තම සැමියාගේ සහෝදරයාට දාව දරුවකු ලැබීමෙන් උද්ගත වන ගැටුම හේතු කොට විවාහය දෙදරා යෑමත් අවසන සැමියා අතින් දරුවා මියයෑමත් මෙහි අන්තර්ගත කතා පුවත විය.

මින් ඉහත සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය ද්වයෙන් දේශීය ගැමි නාටකයට උරුම වූ ශෛලිගත රූපණවේදයකට අවතීර්ණ වී සිටි සෝමලතා, "මූදු පුත්තු" නාට්‍යයෙන් වෙනත් රූපණ සම්ප්‍රදායකට ප්‍රවිෂ්ට වූවාය. ගුණසේන ගලප්පත්ති සූරීන් එතෙරදී කොන්ස්ටන්ටින් ස්ටැනිස්ලව්ස්කිගේ තත්විධ රූපණ න්‍යාය (ඊඩඥධපර ධට ථඥබඩධඤ චජබඪදඨ) හැදෑරුවේ ලොව ශ්‍රේෂ්ඨ රූපණවේදී මාලන් බ්‍රැන්ඩෝ සමඟිනි. ගලප්පත්තිගේ මඟපෙන්වීම යටතේ සෝමලතා සුබසිංහ තත්විධ රූපණ න්‍යායෙහි සේවනය ලබමින් නිරූපිත පළමු භුමිකාව "මූදු පුත්තු" හි සරාය.

 

මතු සම්බන්ධයි...