තවදුරටත් මේ දූපතේ සිනමාව සිර කරන්න බෑ

හැපි බර්ත්ඩේ අධ්‍යක්ෂ අරුණ ජයවර්ධන
අප්‍රේල් 14, 2022

 

සිනමා කර්මාන්තය නැගිටින්නට උත්සාහ දරන සැම මොහොතකම කුමක් හෝ අකරතැබ්බකට මුහුණ දීම පුදුම සහගතය. මේ වන විට රටේ පවතින වාතාවරණයට හසු වී ඇත්තේ අරුණ ජයවර්ධන විසින් අධ්‍යක්ෂණය කරනු ලැබු ‘හැපි බර්ත්ඩේ’ චිත්‍රපටයයි. ඒ සියලු බාධක අභියෝග හමුවේ සිය චිත්‍රපටය තිරගතවන ආකාරය සහ සමස්ත සිංහල සිනමාව පිළිබඳ අධ්‍යක්ෂ අරුණ ජයවර්ධන සමඟ අපි කතා බහ කළෙමු.

අමාරු වෙලාවක තිරගත වන ඔබේ චිත්‍රපටය ගැන මොකද හිතෙන්නේ?

හැපි බර්ත්ඩේ රූපගත කිරීම් ආදිිය සියල්ල සිදු වුණෙත් කොවිඩ් වසංගතයේ අතරමැදි අවස්ථාවක. මෙය අපේ ශිල්පීන්, නළු නිළියන්, චන්න දේශපි‍්‍රය, දිල්හානි ඒකනායක සහ සිරස අලුතෙන් තැනූ ස්ටයින් ෆිල්ම්ස් සංකල්පය ඇතුළු සියල්ල පර්යේෂණාත්මකව කළ අත්හදා බැලීමක්. ස්ටයින් ෆීල්ම්ස් සංකල්පය සිරස හැදුවෙම කොවිඩ් වසංගතයට පසු අපේ කර්මාන්තය මුහුණ දෙන ප්‍රශ්න සහ ඒවා සමඟ චිත්‍රපටයක් නිෂ්පාදනය කළ යුතු පිරිවැය, එහි තිරගත කිරීමේ ක්‍රමවේද ආදිය පිළිබඳ සැලකිලිමත් වෙලායි. අපේ අත්හදා බැලීම සාර්ථකයි. එහෙත් මේ මොහොතේ අපේ රට සහ ජනතාව මුහුණ දී ඇති තත්ත්වය සහ මානසිකත්වය පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා තමයි. ඒත් නිර්මාණකරුවන් විදිහට අපි හැමවිටම හීන දකිනවා. ඒ තුළ ජීවත් වෙනවා. ඒ සිහින එළිදක්වනවා. එවැනි එක් නිර්මාණයක් තමයි හැපී බර්ත්ඩේ.

මෙය වෙනත් රටක සංකල්පයක් බව කියැවෙනවා?

ඔව්. මෙහි වස්තුබීජය මට ලබාදුන්නේ සිරස ආයතනයමයි. මෙවැනි තේමා ඔස්සේ නිර්මාණය වූ කතා කීපයක් ලෝකේ දකින්න පුළුවන්. කළු ඇමෙරිකානු ජාතික කතාවකුත් ඒ අතර තිබෙනවා. එහෙත් මෙය අපේ රටට ගැළපෙන ආකාරයෙන් වෙනස් කළ එකක්. ඒ නිසා මෙය රීමෙක් එකක් නොවෙයි. අපේ අත්හදා බැලීමට මේ කෘතියේ තේමාවත් හොඳීන් ගැලපුණා.

 

ඔබ මෙය පර්යේෂණාත්මක අත්හදා බැලීමක් කියන්නේ පිරිවැය සම්බන්ධවද?

සාමාන්‍යයෙන් අඩු පිරිවැය කීවාම බොහෝ දෙනා හිතන්නේ. තත්ත්වයෙන්, ගුණාත්මක බවින් බාල නිර්මාණයක් කියලායි. එහෙත් අපි සියලුදෙනා අපේ වෘත්තීය මට්ටමෙන් තරමක් වෙනස් වෙලා අත්හදා බැලුවේ මේ චිත්‍රපටය ගුණාත්මක බවින් හෝ තත්ත්වයෙන් පහළට යා නොදී දැවැන්ත වියදමක් නොකර හොඳ තත්ත්වයේ නිර්මාණයක් ප්‍රේක්ෂකයන්ට ලබා දිය හැකි ආකාරය ගැනයි.

එහෙම තැනුව හැපී බර්ත් ඩේ පිළිබඳ ඔබත් ඔබේ ප්‍රෙ‍්ක්ෂකයනුත් ‘හැපී’ ද?

ඇත්තටම මේ මොහොතේ රටේ තිබෙන අර්බුදය නොවුණා නම් අපේ සංකල්පය සාර්ථකයි. මොකද මේ සංකල්පය ඇති කළේ ම අලුත් අධ්‍යක්ෂවරුන්ට, හොඳ තේමාවක් ළඟ තබාගෙන ඉන්න තරුණ අධ්‍යක්ෂවරුන්ට හොඳ වේදිකාවක් තනා දෙන්න. එහි මුල් අදියර ලෙස අධ්‍යක්ෂවරුන් පස් දෙනකු සඳහා අවස්ථාව සකසා දෙන්න සුදානමින් සිටියා. එහි පළමු වෑයම තමයි මේ හැපී බර්ත් ඩේ. පවතින තත්ත්වය යටතේ මෙය පමණයි නිෂ්පාදනය කර ප්‍රදර්ශනය කළ හැකි මට්ටමට ආවේ.

මෙහි කතා තේමාව ගැන ඔබට දැනෙන හැඟීම?

‘අම්මා’ සහ කාන්තා වීරත්වය තමයි මෙහි කතා තේමාව වන්නේ. මවක් සහ දියණියන් දෙදෙනෙක් හොරු කණ්ඩායමකට හසු වීම තමන් වැටුණු උගුලෙන් ගැලවෙන්න කරන උත්සාහය සහ තම ජීවිත දේපළ බේරා ගන්න කරන උත්සාහයක් මෙහි දැක්වෙන්නේ. විශේෂයෙන් මවක් තම දරුවන් කිසිම මොහොතක අතහරින්නේ නැති බව මතු කරන තේමාවක් මෙහි කතා වෙන්නේ.

මෙය රූගත කළ ආකාරයත් ඉතා ඉක්මන්?

ඔව්. අපි දින අටක් වගේ කෙටි කාලයක් ඇතුළත දැරණියගල ප්‍රදේශයේ සුන්දර බංගලාවක රූගත කළේ. අපේ රූගත කිරීම් අවසන් වන විටම වගේ දෙවැනි වර රට ලොක්ඩවුන් කළා. ඒ නිසා දින පහළොවක් විස්සක් වැනි කෙටි කාලයක් ඇතුළත සැලසුම් කරලා රූගත කර අවසන් කළ චිත්‍රපටයක් මෙය. විශේෂිතම කාරණය ඒ මුළු කාලය පුරාම සවස 6.00ට රූපගත කිරීම් අරඹලා පසු දා පෙරවරු 6.00ට තමයි නතර කළේ.

ඔබේ පළමු චිත්‍රපටය ‘නිකිණි වැස්ස’?

ඔව්. ඉන් පසු මම නිර්මාණය කරන්නේ 1970 ලව් ස්ටෝරි කියන චිත්‍රපටය. එය නිකිණි වැස්සට වඩා හාත්පසින්ම වෙනස් කෘතියක්. අපි ඔය බෙදා ගෙන තිබෙන ආකාරයට හැඳීන්වුවොත් එය වාණිජ චිත්‍රපටයක්. හැබැයි එහි තේමාව වෙනස්. චිත්‍රපටයක් තුළ චිත්‍රපටයක් රූගත කරන ආකාරයයි එහි තිබෙන්නේ 1970 දශකයේ කතාවක්. චිත්‍රපට අධ්‍යක්ෂවරයකුට ලැබෙනවා. ඔහු එය ඇසුරෙන් ලියන තිර නාටකයේ රූපගත කිරීම් සඳහා නුවර එළියේ. බංගලාවකට යනවා. එහි ඒ කතාවට අදාළ කාන්තාව තවම ජීවත් වෙනවා. ඇය නිසා රූපගත කිරීම්වලට සිදුවන අද්භූතජනක සිදුවීම් තමයි එහි දක්නට ලැබෙන්නේ. එය වෙනස්ම තේමාවකින් යුතු හේමාල් රණසිංහ, මහේන්ද්‍ර පෙරේරා, බිමල් ජයකොඩි වැනි නළු නිළියන් රැසකගේ දායකත්වයෙන් නිර්මාණය කළ චිත්‍රපටයක්. මේ වසරේ අවසන් වන විට එය ප්‍රදර්ශනය කිරීමට බලාපොරොත්තු වෙනවා. එය නිෂ්පාදනය කළේ සමන් එදිරිසිංහ මහත්මයා.

චිත්‍රපට පහක් නිර්මාණය කළ අධ්‍යක්ෂවරයකු ලෙස අපේ සිනමාව පිළිබඳ ඔබට ඇත්තේ කොබඳු අදහසක් ද?

ලංකාව වැනි රටක අපට නිර්මාණකරුවන් ලෙස අපට කැමැතිදේම කරගෙන ජීවත් වන්න බෑ. ඇත්තටම මම කැමැති නිකිණි වැස්ස වැනි චිත්‍රපට නිර්මාණය කරන්න. ඒත් ‘ඔබ අන්තර්ජාතික මට්ටමේ උලෙළවලට යන්න සුදුසු නිර්මාණ කරන්න අපි ඔබ ගැන බලාගන්නම්’ කියන්න කවුරුහරි ඉන්නවා නම් අපට එසේ කළ හැකියි. ලංකාවේ තරම් සිනමා කර්මාන්තය බෙදා වෙන් කරගෙන නිර්මාණ කරන තවත් රටක් නැතුවත් ඇති.

අපි සියලුදෙනාට අපි කැමැති චිත්‍රපට වගේම ජීවත්වෙන්න චිත්‍රපට කිරීම කියන කාරණා දෙකටම මුහුණ දෙන්න වෙනවා.

හැපී බර්ත්ඩේ ප්‍රදර්ශනයට අවසර ලැබුණේ අන්තිම මොහොතේ?

ඒකට හේතු වුණේ අර දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ පනතක් කියලා එකක් පාර්ලිමේන්තුවේ සම්මත වෙලා තිබෙනවා. එය අපේ නිර්මාණවලට බලපාන්න පටන් ගත්තා. පසුගිය කාලේ, මම හිතන ආකාරයට සිංහල චිත්‍රපටයක් බලලා කවුරු හරි දුම්බීමට හෝ මද්‍යසාර බීමට පුරුදු වෙනවා. කියනවා නම් එය විහිළුවක්. ඊට වඩා දැන් ලෝකය ඉතාම දියුණුයි හැමදේම තමන්ගේ ජංගම දුරකථනයේ තිබෙනවා. ඇබ්බැහි වෙනවා නම් ඒවා ඊට වඩා හේතු විය හැකියි.

අපි කරන්නේ කලාව, ඒ තුළ අපි විවරණය කරන්නේ ප්‍රතිනිර්මාණය කරන්නේ මනුෂ්‍ය ජීවිත ඔවුන් මේ සමාජය තුළමයි ජීවත් වන්නේ. ඒ මවන චරිතවල ස්වභාවය අපි පෙන්වනවා මිස වෙන කොහෙන්වත් චරිත ගේන්නේ නැහැ. ඒ නිසා ඒ නිර්මාණවලට සීමා මායිම් යොදන්න අමාරුයි.

අනෙක ලංකාවේ ජනගහනයෙන් චිත්‍රපට බලන්නේ ඉතාම සුළු ප්‍රතිශතයක්. මේ තහනම තිබෙන්නෙත් සිංහල චිත්‍රපටවලට පමණයි. ඔය කරුණ තමයි අපට බලපෑවේ කෙසේ වෙතත් මෙය පාර්ලිමේන්තුවේ සම්මත පනතක් නිසා නෛතික ක්‍රියාමාර්ගයකින්ම තමයි අපට මෙය ජයගන්න වන්නේ.

නිර්මාණකරුවකු ලෙස චිත්‍රපටයක් නිර්මාණයේ දී ඔබ මුහුණ දුන් විශාලම අභියෝගය කුමක්ද?

නිර්මාණකරුවන් විදිහට අපි අපේ අවසන් මොහොත දක්වා නිර්මාණකරණයේ යෙදීමටයි කැමැති. රටක් සහ කර්මාන්තයක් ලෙස අපට ඒ සඳහා සුදුසු පරිසරයක් තිබෙනවා නම් තමයි හොඳ. කර්මාන්තය පිළිබඳ පමණක් කතා කළොත් එක අතකින් අසුබවාදී දේ වගේම අනෙක් අතින් සුබවාදී දේවලුත් අපි දකිනවා. එකත් තමයි මල්ටිෆ්ලේක්ස් කියන කුඩා ශාලා සංකීර්ණ බිහි වීම. රසිකයන් කැමැතියි චිත්‍රපටයක් බලලා කෑම ටිකක් කාලා එහෙම යන්න. ඒ සංස්කෘතිය දැන් කොළඹ පමණක් නොවේ පිට පළාත්වලත් ගොඩනැඟෙමින් පවතිනවා. සමහර පරණ චිත්‍රපට ශාලා වැහුණට ඒ තැන්වල මේ සංකීර්ණ ඉදිවීම සුබදායකයි. එහිදී අපි නිර්මාණකරුවන් ලෙස ඉදිරිපත් කරන සංකල්ප, වස්තු බීජ ආදියේදී අපි ප්‍රේක්ෂකයාට වඩා ඉහළ මට්මටමකින් සිටිය යුතුයි. මොකද දැන් ඔවුන් දෙමළ, හින්දි, මලයාලම් අනෙක් අන්තර්ජාතික මට්ටමේ චිත්‍රපට නරඹන, නිවෙසේ සිටම නෙට්ෆ්ලික්ස් වැනි ක්‍රම ඔස්සේ සිනමාවට සම්බන්ධ වන පිරිසක්. අපේ අභියෝගය වන්නේ ඒ අය කෙසේ ද නැවත සිනමා ශාලාව කරා ගෙන්වා ගන්නේ කියන එකයි. අපට ලෝක සිනමාව හා තරග කළ හැකි මට්ටමේ වේදිකා තැනෙනවා නම් ඒවාට යා යුත්තේ කෙසේද? ඒ සඳහා නිර්මාණ කළ යුත්තේ කෙසේ ද කියන දේ සිතිය යුතුයි. අපට මේ දූපත තුළ තවදුරටත් සිනමාව සිරකර තියාගන්න බැහැ. අපේ අනාගතය වන්නේ අන්තර්ජාතික වශයෙන් බිහි වී ඇති එම ප්ලැට්ෆෝම් තමයි.

ඒ ගමනට බාධක තිබේනම් ඒ ලොකුම අඩුපාඩුව ලෙස ඔබ දකින්නේ කුමක්ද?

මම දකින විදිහට අපට හොඳ කතා තේමා සහ තිර නාටක රචකයන් නැහැ. අපි ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා තිර නාටක රචකයන්ගේ සංගමය නමින් මගේ සභාපතීත්වයෙන් සංගමයකුත් පිහිටුවා ගත්තා. කාතාවක් තිබෙන්නේ තිරපිටපත සාර්ථක නම් චිත්‍රපටයෙන් 75%ක් වැඩ අවසන් කියලා. ඒ නිසා රැඳෙන්නේ එකම රාමුවක් තුළ නැතිව තේමාව වෙනස් වූ කතා තමයි ජනතාවගේ සිත් තුළ රැදුණේ. අපි කොහොමත් කතන්දර අහන්න කැමැති ජාතියක් නේ. ඒ නිසා රසිකයාට අපි හැමදාම අලුත් කතාන්දරයක් දිය යුතුයි. එය බලවත් නම් අපට ඉතුරු වන්නේ නිර්මාණයක් විදිහට රූපයට නගන්න පමණයි. එය කොයිතරම් රසවත්ව සිනමාත්මකව ශාලාවට ආකර්ෂණය වන අයුරින් නිර්මාණය කරාත්ද යන්නයි වැදගත් වන්නේ.

අපේ තිර නාටක රචකයන්ගේ සංගමයෙන් මැයි මස සිට රට පුරා විශ්වවිද්‍යාල සහ පාසල් මුලික කරගෙන වැඩමුළු පැවැත්වීමට සුදානම් කර තිබෙනවා. එමඟින් කනිෂ්ඨ තිර රචක සංගමයක් ගොඩනගා ඔවුන්ගේ රචනා අයුරින් කෙටි චිත්‍රපට තනා ඒවාට සම්මාන පිරිනැමීම වැනි දිගු වැඩ පිළිවෙළකට සුදානම් වෙමින් ඉන්නේ. ඒ වගේම තිර නාටක රචකයන්ගේ නිර්මාණ රැක ගැනීමට නෛතික රාමුවක් සකසමින් ඉන්නවා. මොකද මේ වෙද්දී තිර රචනා මංකොල්ලයක් සිදුවන නිසා ඔවුන් එයින් රැක ගැනීමට.

ඔබේ ඉදිරි නිර්මාණ කටයුතු ගැනත් කියමු ?

මේ වෙද්දී ‘මාරියා’ චිත්‍රපටයේ වැඩකටයුතු අවසන් කර අන්තර්ජාතික සිනමා උලෙළ කීපයකටම යොමු කර තිබෙනවා. ඒවායේ ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් ඉන්නේ. මෙය ලංකාවේ ප්‍රථම වතාවට මුහුදේ ධීවර බෝට්ටුවක සිට රූපගත කළ අලුත් අත්දැකීමක් ලැබු චිත්‍රපටයක්. එය ප්‍රේ‍්‍ක්ෂකයන්ටත් වෙනස් අත්දැකීමක් වෙයි. මෙහි කාන්තා චරිතයක් සඳහා නිළියන් නැතත් කාන්තා චරිතයක් සිටීම තමයි විශේෂත්වය වන්නේ,

ඊට අමතරව මේ වන විට හිරු නාළිකාවේ විකාශය වන රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නාට්‍යයේ තිර රචකයා ලෙස කටයුතු කරනවා. ඒ වගේම මැයි මාසයේ තවත් ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණයටත් බලාපොරොත්තු වනවා. ඊට අමතරව සිරස ආයතනය සමඟ එක්ව මොනර කිරිල්ලී නමින් චිත්‍රපටයක් රූපගත කරන්න කටයුතු සුදානම් කර තිබෙනවා. එහිත් හේමාල් රණසිංහ, මහේන්ද්‍ර පෙරේරා සහ දසුන් පතිරණ වැනි ප්‍රවීණයන් යොදා ගෙන වෙනස් තේමාවකින් යුතුව ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කරන්නයි බලාපොරොත්තු වන්නේ.