75 වසරකට පෙර තෙළිඟු නළු නිළියන් සිංහලෙන් කතා කළ මනප්‍රයත්නය

අප්‍රේල් 14, 2022

 

සිනමා කලාවට එකතු වුණු නවතාවය අතුරින් එක් භාෂාවකින් තැනුණු චිත්‍රපටයක් තවත් භාෂාවකින් හඬ කාවා පෙන්වීමේ ක්‍රමය ජනපි‍්‍රයත්වයකට පත් විය. එයින් වර්තමානයේ වැඩිපුරම පල ප්‍රයෝජන ගන්නේ රූපවාහිනී නාලිකාය. එය වෙනත් රටක රංගන ශිල්පීන් රඟන කතානාද චලන නිර්මාණයක් විදෙස් රටක හුරු පුරුදු බසින් ශ්‍රවණය කරමින් නැරඹීමේ අවස්ථාව උදා කරයි.

බසකින් බසකට පරිවර්තනය කිරීමේ කලාව කාර්මික පැත්තෙන් ඉතාමත් සරල ක්‍රමවේදයකි. ඒ වූ කලී හරියට ශබ්ද විරහිතව රූප ගත කරන ජවනිකා සඳහා දෙබස් මුසු කිරීම වැනිය. කෙටියෙන් පහදා දෙනවා නම් වෙනත් භාෂාමය නළු නිළි චලන රූප සටහන් තොල් චලනයට අනුකූලව තවත් භාෂාවක දෙබස් එම භාෂා ශිල්පීන් ලවා පටිගත කොට මුල් රූපමය පිටපත සමඟ සසෑදීමකි. මෙහිදී පරිවර්තක දෙබස් රචකයාගෙන් ඉටුවන මෙහෙවර සුළුපටු නොවේ. එලෙසම අවසන් ප්‍රදර්ශන පිටපත සැකසීමේදී දෙබස් කැවීමේ අධ්‍යක්ෂවරයකුගේ කාර්මික සහාය ලබා ගනියි. මෙකී ක්‍රමයෙන් වඩාත්ම පල නෙළා ගන්නා රට හැටියට ඉන්දියාව වාර්තාගතව ඇත. ඔවුන් ජනපි‍්‍රය චිත්‍රපට තම රටේ පවතින සහෝදර භාෂාවලින් හඬ කැවීම දැනුදු අතහැර නැත.

ශ්‍රී ලාංකීක සිනමාලෝලින්ගේ පහසුව තකා වෙනත් භාෂාමය චිත්‍රපටවලට සිංහල හඬ කවා ප්‍රදර්ශනය කිරීම දේශීය සිනමාවේ උපතට සමගාමීව සිදුව තිබේ. ප්‍රථම කථානාද සිංහල චිත්‍රපටය කඩවුණු පොරොන්දුව හා දෙවැනි කතානාද සිංහල චිත්‍රපටය අශෝකමාලා පෙන්නු 1947 වසර නිම කරමින් සිංහල හඬින් දුටු පළමු විදෙස් චිත්‍රපටය මනප්‍රයන්තය නම් වෙයි. එය 1946 නිෂ්පාදිත ගෘහ ප්‍රවේශම් තෙළිඟු චිත්‍රපටයකි. සාරති චිත්‍රපට ඉදිරිපත් කළ මෙහි නිෂ්පාදනය චල්ලිපල්ලි මහරාජා හා කේ.එස්. ප්‍රකාෂ්රාඹ් දරා තිබිණ. කැමරා ශිල්පියා වශයෙන් ජිතෙන් බැනර්ජි හඳුනා ගැනීමට ලැබෙයි. කලා අධ්‍යක්ෂණය නාගුර් හා කලදාර් ගෙනි. වේශ නිරූපණ ශිල්පීහු හරිබාබු සමඟ මංගියා වූහ. සංගීත අධ්‍යක්ෂවරයා හැටියට බාලනරපු නලිනිකාන්ත රාඹ් නාමාවලියේ සඳහන් වෙයි.

බ්‍රහ්මචාරි සංකල්පයේ දුර්වලතා ඉස්මතු වන ආකාරයට ත්‍රිපුරනේති ගෝපිචන්ද් රචිත කතාවක් යොදා ගනිමින් ගෘහ ප්‍රවේශම් චිත්‍රපටයේ අධ්‍යක්ෂණය එල්.වී. ප්‍රසාද් ගෙනි. එහි කතා නායක නළුවාත් ඔහුමය. මෙය ඔහුගේ කුලුඳුල් චිත්‍රපට අධ්‍යක්ෂණයයි. මීට පෙර නිර්මාණය කළ පල්නාති යුධම් තෙළිඟු චිත්‍රපටය පෙන්වූයේ 1947 දීය. අපට ඔහුව පසු දවසක මිස් මේරි (1957 - අහිංසක ප්‍රයෝගය) හා චෝටි බෙහෙන් (1959 - සුදු නංගී) චිත්‍රපට අධ්‍යක්ෂවරයා ලෙස සමීප විය.

ගෘහ ප්‍රවේශම් චිත්‍රපටයේ සෙසු ප්‍රධාන චරිත පී.භානුමති, රංගස්වාමි, ශ්‍රී රංජනී, සී.එස්.ආර්. අංජනේලූ, ඉන්දිරා, සිවරාම්, හේමලතා, කනකම්රඟ පා තිබිණ. මොවුන් සිංහල හඬින් කතා කළ මන ප්‍රයන්තය චිත්‍රපටය 1947 මැයි 16 වැනිදා මරදානේ ක්‍රවුන් සිනමා හල විවෘත කරමින් ප්‍රදර්ශනය කරනු ලැබීය. හඬ කැවීමේදී නිෂ්පාදකවරු ඩබ්ලිව්. එම්. එස්. තම්පෝ හා කේ.ගුණරත්නම් වූහ. ඔවුහු මදුරාසිය හා ලංකාව හවුල්ව පිහිටුවා ගත් වින්ඩ්සර් නිෂ්පාදකයෝ ලෙස චිත්‍රපටය ඉදිරිපත් කළහ. මුල් තෙළිඟු චිත්‍රපටයේ සංගීතයට අනුව සිංහල පිටපතේ සංගීතය සම්පාදනය වින්ඩ්සර් සංගීත කණ්ඩායම කළ බව කියවේ. දෙබස් කැවීමේ අධ්‍යක්ෂවරයා වශයෙන් ඩබ්ලිව්. එම්.එස්. තම්පෝ හඳුනා ගැනීමට ලැබෙයි. ඔහු ඉන්දියාවේ චිත්‍රපට නිෂ්පාදනයේ යෙදුණ පළමු ශ්‍රී ලාංකිකයා හැටියට අපට ආඩම්බර විය හැකිය. තම්පෝ නිපද වූ දෙමළ චිත්‍රපට හතරක් (ප්‍රභාවති, දෛවනීති, කලාවති, නාම්කුෂන්දෙයි) ඒ රටේ පෙන්වා ඇත.

මන ප්‍රයන්තය චිත්‍රපටය පිළිබඳ සොයාගත් සීමිත වගතුග අනුව දෙබස් පරිවර්තකයා මෙන්ම ගීත ප්‍රබන්ධකයාත් නාට්‍යවේදී ඕගන් රුද්‍රිය. ඔහු ඇතුළු දිව්‍යමය පේ‍්‍රමය චිත්‍රපටයේ මුල් නළු නිළි කණ්ඩායම සිංහල හඬ සපයා ඇති බව දැන ගන්නට ලැබේ. චිත්‍රපටයට ගීත නමයක් ඇතුළත්ව තිබුණත් එම ගීත ග්‍රැමෆෝන් තැටියට නැගුණේ නැත. ගීත පොත් නිකුත් වී ඇතත් එහි ගායක ගායිකාවන් සඳහන් නොවෙයි. එබැවින් මන ප්‍රයන්තය චිත්‍රපටයේ බොහෝ තොරතුරු අතීතය සමඟ වැළලී පවතී. කෙසේ වෙතත් එහි කතා සාරාංශය සොයා ගැනීමට ලැබීම දේශීය සිනමා ඉතිහාසයට වැදගත් විය හැකිය.

ගෘහ ප්‍රවේශම් හා මන ප්‍රයන්තය චිත්‍රපට තුළින් තෙළිඟු හා සිංහල බසින් කියූ කතාව අනුව ජානකි (භානුමති) කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් නිබඳව පෙනී සිටින උගත් බුද්ධිමත් රූමත් තරුණියකි. ඇය කාන්තා ඇසුර පි‍්‍රය නොකරන සෝමලිංගම්ගේ (ප්‍රසාද්) බ්‍රහ්මචාරි ව්‍යාපාරය කඩා බිඳ දැමීමට නොයෙක් උපක්‍රම යොදයි. මේ අතරේ ජානකිගේ සුළු මව තුලම්මා (හේමලතා) ඇයට විවාහයක් යෝජනා කරයි. ඒ ඇයගේ ඥාති පුත්‍ර රාමනාරඹ් (අංජනේලු) සමඟයි. ඊට අවනත නොවන ජානකි නිවෙසින් පැනයයි.රාත්‍රියේ මහමඟ දී ඇයට අතවර කිරීමට සැරසෙන බීමතකු ගෙන් මිදී දිවයන ඇය පසුපස පොලිස් භටයකු ලුහු බඳියි. ඔහුගෙන් ගැලවීමට ජානකි අසල නිවෙසකට ප්‍රවිෂ්ට වෙයි. එය සෝමලිංගම්ගේ ගෘහය බව දැන ගන්නේ පසුවයි.

අසල්වාසි ආචාර්ය (සිවරාම්) හා ඔහුගේ බිරිඳ (කනකම්)දැන ගෙන එය සෙසු බ්‍රහ්මචාරි සාමාජිකයන්ට දන්වයි. ඔවුන් පැමිණ ජානකි පන්නා දමා සෝමලිංගම්ට බැන වැදී පහර දෙයි. මෙයින් කලකිරෙන ඔහු යෝගාශ්‍රමයක වාසයට යයි. ඉබාගාතේ යන ජානකිට ගැමි කාන්තාවන් පිරිසක් පහර දෙයි. පාරේ වැටී සිටින ඇයව අඹු සැමි යුවළක් විසින් යෝගාශ්‍රමයට භාර දෙයි. එතැන දී ඇයට සාත්තු කිරිමේ කාර්ය සෝමලිංගම්ට පැවරෙයි. ඔහු හමුවන හැම අවස්ථාවකම ජානකි බ්‍රහ්මචාරි සංකල්පයේ පවතින දුර්වලතා පහදා දෙයි. දිනක් යෝගාශ්‍රමයේ නායක පූජකයා ස්ත්‍රී ඇසුරක් පවත්වන අයුරු දුටු සෝමලිංගම් තම බ්‍රහ්මචාරි ආකල්ප වෙනස් කර ගැනීමට තීරණය කරයි.

ජානකි යෝගාශ්‍රමයේ සිටින බව දැන ගන්නා රාමනාරම් පොලිසිය කැටුව පැමිණ ඇයව නිවෙසට රැගෙන යයි. තම යෝගාශ්‍රමයට පොලිසිය පැමිණීම ගැන උරණ වන පූජකයන් තම රහස් සඟවා ගැනීමට සෝමලිංගම් එතැනින් පන්නා දමයි. හිස හැරුණු අතේ යන ඔහුට කාරුණික අඹු සැමි යුවළකගේ නිවසේ නැවතීමට ලැබෙයි. ඔවුනගේ එකම දියණිය බ්‍රහ්මචාරි ආකල්ප නිසා මානසිකව රෝගීව සිට ගෙලලා දිවි නසා ගන්නේ මේ අවස්ථාවේයි. එයත් සෝමලිංගම්ට දරාගත නොහැකි වේදනාවක් ගෙන දෙයි.

නිවෙසට රැගෙන ගිය ජානකි හා රාමනාරාම්ගේ විවාහ මංගල උත්සවයට දින නියම කර ගනියි. මේ අතරේ ඔහු මීට පෙර ලලිතා (ශ්‍රී රංජනී) නම් තරුණියක විවාහ කර ගන්නා පොරොන්දුව පිට ඇසුරු කර ඇති බව ජානකි දැන ගනියි. ඇය හමුවන ජානකි සියලු විස්තර සොයා ගනියි. නියමිත දින මඟුල් මණ්ඩපයට මුහුණ ආවරණය කළ මනමාලිය කැඳවා ගෙන පැමිණෙයි. රාමනාරාඕ ද පැමිණෙයි. මෙම මංගල උත්සවය ගැන දැන ගන්නා සෝමලිංගම් එතැනට පැමිණ තරුණියක්ව අකමැත්තෙන් සරණපාවා ගැනීම අකටයුත්තක් බව ප්‍රකාශ කරයි. මනාලිය තම කැමැත්තෙන් රාමනාරාඹ් විවාහ වන බව පවසයි. රාමනාරාඹ් ඇයට තැල්ල බැඳීමට මුහුණු ආවරණය ඉවත් කළ විට ඇය ලලිතා බව හඳුනා ගනියි. උඩු මහලේ සිට පැමිණෙන ජානකි සියල්ල විස්තර කරයි. අවසානයේ සෝමලිංගම්ට ජානකිත්, රාමනාරාඕට ලලිතාත් හිමිවෙයි.