මට හිතෙන්නේ අපි හැමදාම තරු කියලා

ලක්ෂ්මන් හිල්මි
අප්‍රේල් 14, 2022

 

එහෙම කලාවට එන්න නොලැබුණ එකට අදටත් සතුටු වෙනවා

 

මාලතී නුඹයි නුඹටත් ආදරේ තමයි

ජීවිතේ දුකයි ගලන්නේ කඳුළු මල් දමයි

කඳුළු මල නුඹයි දැන්නම් සුවඳ නැති හැඩයි

අසම්මත පෙමක නුඹ පෙම් කවිය වී හඬයි...

අනූව දශකයේ ඇසුණු මේ ගීත තවමත් රසික සිත් වලින් ඈත් වෙලා නැති හැඩයි. මේ ඈත් නොවීම සත්‍ය ලෙසම අත් දකින්න ලැබුණේ පසුගියදාක අනූව දශකයේ ගායකයන් දස දෙනෙකු සහභාගි වූ ගීත ප්‍රසංගයක් නරඹන්නට මට ද අවස්ථාව ලද නිසයි. මහරගම යොවුන් රඟහලේ පැවති ගීත ප්‍රසංගයට අති විශාල ජනකායක් පැමිණ සිටියේ රට තුළ ගමනාගමන අපහසුතා මෙන්ම සෞඛ්‍ය ප්‍රශ්න ද උග්‍රව පවතින කාලයකයි. මේ ගායකයින් දස දෙනාට එදා ලැබුණු පේ‍්‍රක්ෂක ප්‍රතිචාරය අතිවිශාලයි. ඉන් ඔප්පු වෙන්නේ තවමත් රසික ප්‍රජාව ඔවුන්ගේ ගීත කොයි තරම් ආකර්ෂණීයව රසවිඳිනවාද යන්නයි. එදා මේ ප්‍රසංගයේ අති විශාල ජන ප්‍රසාදයක් දිනා ගත් අනූව දශකයේ තවත් සුපිරි ගායකයකු වූයේ ලක්ෂමන් හිල්මිය. මෙවර අපේ සුහද කතා බහට එක් වූයේ ඔහුය.

ලක්ෂමන් හිල්මි ගායකයෙකු වශයෙන් පමණක් නොව ගී නිර්මාණ ශිල්පියෙකු වශයෙන් අති විශාල ජන ප්‍රසාදයක් දිනාගත්තෙකි. මෙරට ගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණතම ගායක ගායිකාවන්ගේ සිට ඊයේ පෙරේදා ක්ෂේත්‍රයට පැමිණී ගායක ගායිකාවන්ට ද ඔහු ගීත නිර්මාණය කළේය. ඒ අතරම ගායන ශිල්පියකු වශයෙන් ද ඔහු ක්ෂේත්‍රයට පැමිණියේය.

‘කහමල් අත්තත් සැලුණා

රන්වන් දෑතක් පෙනුණා

කිංකිණි රාවක් නැඟුණා

රන් මැණිකේ මල් නෙලුවා...

ලක්ෂමන් හිල්මි ගායනා කළ මේ ගීත වලට එකල හිමි වූයේ නොමඳ ජනපි‍්‍රයතාවයකි.එදා ඇති වූ ඒ පේ‍්‍රක්ෂක ජනාදරය ඔවුන් ඇති කරගත්තේ මහත් වූ කැප කිරීම් වල හා දුෂ්කරතා වල ප්‍රතිඵලයක් වශයෙන්ය. තම දක්ෂතාවයෙන්, කැපවීමෙන් හා දුක් මහන්සියෙන් ඉදිරියට පැමිණෙත්දී ඔවුන්ට ජනපි‍්‍රයත්වය යන්න බන්දේසියක තබා පුදන්නට කිසිවෙක් එකල සිටියේ නැත. ස්ව උත්සාහයේම ප්‍රතිඵලයක් ලෙසින් තමන් නිර්මාණය කරගත් දෙයින් අදත් ඔවුන් ක්ෂේත්‍රයේ රැඳී සිටින්නේ ඒ නිසාය.

‘පසුගිය කාලෙම රටේ තිබුණ කොවිඩ් වාතාවරණය නිසා සංගීත සංදර්ශන පවත්වන්න ඉඩක් තිබුණෙ නෑ. නමුත් දැන් නම් යම්තාක් දුරකට කොවිඩ් වාතාවරණය තුළම වුණත් නියමිත සෞඛ්‍ය පුරුදු ආරක්ෂා කරගෙන අපි සංගීත සංදර්ශනවලට සම්බන්ධ වෙනවා. කොහොමත් මම සංගීත සංදර්ශනවලට සම්බන්ධ වෙන්නේ තෝරා බේරා ගැනීමකින් යුතුව ඉතාම සීමිත ප්‍රමාණයකටයි. නමුත් මම මගේ ශබ්දාගාරේ වැඩකටයුතු වලින් සහ ගීත නිර්මාණය කිරීමේ වැඩවල නියැලිලා ඉන්නවා. ඇත්තටම කිවුවොත් මගේ රැකියාව වෙන්නේ ඒක. ඒ නිසා රෙකෝඩින් වලට මුල් තැනක් දෙන්න වෙනවා.’

ලක්ෂ්මන් ගායන ලෝකයට ප්‍රවිශ්ට වනුයේ 90 දශකයේදී ‘සිත මා නම් කැසට් පටය හරහාය. එහෙත් එකලම ඔහු ශ්‍රේෂන් ජයමහට නිර්මාණය කළ ‘පිනි සිසිල, මන බන්දනා වැනි ගීතත් නොසිතූ විරූ ලෙස ජනපි‍්‍රය වූයේය. ඉන් පසු ඔහු ‘සිහින පාරාදීසේ’ නමින් ගීත කැසටයක් එළි දැක්වූයේය. කවුරුත් නොසිතූ පරිදිම එම ගීත කැසටයේ බහුතරයක් ගීත ජනපි‍්‍රය වූයේය.

‘සිහින පාරාදීසයේ

සිටි එදා මා පාළුවේ

ඔබයි මාගේ දෑස වාගේ

යා වුණේ රෑ දිවා...

ජීවිතේ සැම දා

‘අපි මේ ක්ෂේත්‍රයට ආවේ මල් අතුළ මාවතක නොවෙයි. හරි අමාරුකම් මැද්දෙ ආවේ. නමුත් දැන් ඉන්න අලුත් පරම්පරාවට අපිට වගේ නොවෙයි. අවස්ථා වැඩියි. මම මේ අලුත් පරපුරට දොස් කියනව නොවෙයි. නමුත් මට දැනෙන විදිහට දැන් බිහිවෙන බොහොමයක් අයට ‘නමක් ඇත යමක් නැත’ කියල තමයි කියන්න තිබෙන්නේ. ඒ කාලේ අපි කරපු දේවල් හැමදාම තියෙනවා. අද ඉඳලා හෙට බැහැල ගියේ නෑ. මට හිතෙන්නේ අපි හැමදාම තරු කියලයි. සුපිරි තරු නෙමෙයි අපි සපිරි තරු අද මේක ව්‍යාපාරයක් බවට පත්වෙලානේ තියෙන්නේ. ඒකට මේ තරුණ දූ දරුවන්ට දොස් කියල වැඩකුත් නෑ. ඒ අයගේ වැඩිහිටියන්ට පවා ඕන වෙන්නේ ඔවුන් සුපිරි තරු බවට පත් කරන්න. එහෙම තරු කොච්චර බිහිවුණා ද එහෙම ආව ප්‍රමාණයට බිහිවෙනව නම් මෙලහකට ලංකාවෙන් දෙකෙන් පංගුවක්ම සුපිරි තරු වෙන්න ඕන.

මගේ ජීවිතේ එහෙම කලාවට එන්න නොලැබුණ එකට අදටත් මම සතුටු වෙනවා. අපි හැමදාම උත්සාහ කළේ හොඳ නිර්මාණ බිහි කරන්න. එතැන අපට එකිනෙකා පරයා යන මහා තරගකාරීත්වයක් තිබුණේ නෑ. එතැන කුහක කමක් තිබුණේ නෑ.

වර්තමානයේ බලනකොට හොඳ නිර්මාණ බිහිවෙනවා ඉතාම අඩුයි. අරුත් සුන් බොළඳ නිර්මාණවලින් ක්ෂේත්‍රය පිරිලා. ඒ කාලේ හොඳ ගීත සාහිත්‍යයක් තිබුණා. ඉතාම අර්ථවත් පද රචනා තිබුණා. අපේ කම ගැන දේශීයත්වය ගැන අපට ලොකු ආදරයක් ගෞරවයක් තිබුණා. අපි නිර්මාණ කළේ මේ දේවල් හිතේ හොඳින් තියාගෙන. නිර්මාණයක් කලාම අපට ලොකු ආත්ම තෘප්තියක් තිබුණා. එතැන ආර්ථිකමය වාසිය විතරක් තිබුණෙ නෑ. අද බිහිවෙන සමහර ගීත පොලිස් පොතේ ලියන පැමිණිල්ලට තනුවක් දාල වගේ.’

‘බොල් පිණි වැටෙනා

මේ රෑ යාමේ

හිතන්න මට කඳුලැල් පමණයි

අහන්න මිහිරියෙ

හද හඬනා හඬ

මගෙ සිතුවිලි ඔබ ළඟ

සසලයි....

මේ ලක්ෂමන් හිල්මි ගේ එකල ජනපි‍්‍රය වුණු තවත් ගීතයක් එදා සිට මේ දක්වාම සංගීත ක්ෂේත්‍රයේ හෙමින් ගමනක නියුතු වුණු ඔහුට ගායකයෙකු වශයෙන් ඉදිරියට යෑමට හෝ තමන්ගේ ගීත ගණනින් වැඩි කරගන්නට කිසිදු හදිස්සියක් තිබුණේ නැත. ඒ හෙමින් ගමන ඔහුට වාසනාවක් වූයේය. හදිසියේම පිපී හදිසියේම අතුරුදන් වන ගායකයෙකු නොවන්නට ඔහුට එය සවියක් වූයේය.

‘අපි ජීවත්වෙන්නේ රසිකයින්ගේ සාක්කුවල තියන සල්ලි වලින්. ජනතාව කලාවට නැඹුරුවෙන්න නම් ඔවුන්ගේ හිතේ සතුට තියෙන්න ඕන. සංගීත සංදර්ශනයකට එන්න වුණත් හිතේ නිදහසින් සතුටින් ජීවත්වෙන පරිසරයක් තියෙන්න ඕන. එහෙම නැති වුණාම මිනිස්සුත් කලාව පැත්තට නැඹුරු වෙන්නෙ නෑ. මේ යන තත්ත්වය හැටියට නම් මට තේරෙන්නේ තව අවුරුදු 5ට වඩා අපට දුවන්න බැරි වෙයි කියලයි. අද සංගීත ක්ෂේත්‍රය දිහා බලනකොට හොඳම සංගීත කණ්ඩායම් ගෙදර ඉන්නේ. නමුත් ජනපි‍්‍රය අය වැඩ කරනවා. ලාභ දේ උඩට ඇවිත් හොඳ දේ යට යනවා. අපි කන කෑම පවා එහෙමයි.

ඉදිරියේ දි මම නව තාක්ෂණයත් එක්ක අලුත් වැඩ පිළිවෙලක් කරන්න හිතුවා. කධභ ඊභඡඥ හරහා සංගීත සංදර්ශණයක් පවත්වන්න. ඒක ටිකක් අසීරු කාර්යයක්. නමුත් ජූනි ජූලි වෙනකොට වගේ කරන්න හිතාගෙන ඉන්නේ. 90 දශකයේ සංගීත ශිල්පීන්ගේ ප්‍රසංගයට සහභාගි වූ චන්දන ලියනාරච්චි, ශ්‍රේෂන් ජයමහ, රොහාන් ද සිල්වා, අසංක පි‍්‍රයමන්ත පීරිස්, නාමල් උඩුගම, කුමාරසිරි පතිරණ, අතුල ශ්‍රී ගමගේ, විජය බණ්ඩාර වැලිතුඩුව, මධුමාධව අරවින්ද සහ මමත් ඇතුළුව ජගත් වික්‍රමසිංහ සහ ශාලිත අබේවික්‍රමත් මේ ප්‍රසංගයට සහභාගි කරගන්න බලාපොරොත්තු වෙනවා.

 

 

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න