සිංහල සිනමාවේ රොබින් හුඩ් මතායස් ප්‍රනාන්දු

(1917 - 1988)
ජූලි 15, 2021

“නීතියට හා සාමයට විරුද්ධව ක්‍රියා කරන දුප්පතාට උදවු කළ මෙරට රොබින් හුඩ්”

1954 වසරේ අගෝස්තු මාසයේ 05 වෙනිදා කොළඹ සහ තදාසන්න පළාත්වලත්, සිනමාස් සමාගමේ සිනමාහල්වල හා ඒ අවටත් ප්‍රසිද්ධ ස්ථානවල අලවා තිබූ දැන්වීම් පොස්ටරයකි මේ. චිත්‍රපටයේ නම “ සරදියෙල්” ය. නිෂ්පාදක අධ්‍යක්ෂවරයා සිරිසේන විමලවීර ය.

“ සරදියෙල්” චිත්‍රපටයේ පුවත්පත් දැන්වීම් දෙකක් ගැන තොරතුරු ආතර් යූ. අමරසේන විසින් ලියූ “ සිංහලේ මහා සිනමා වංශය” ග්‍රන්ථයේ මෙසේ සඳහන් වී තිබුණි.

“ සන්නාහ සන්නද්ධ නයිට්වරයෙක් මෙන් ඔහු සටන් කළේය. දුප්පතා වෙනුවෙන් ඔහු සටන් කළේය. පොහොසතා ගේ ධනය පැහැර ගන්නා ලදී. ඔහු අවසන් හුස්ම හෙළුවේ වීරයකු මෙනි.

“සෑම තරුණියකගේම හද තුළෙහි බල පැවැත්වූයේ මොහුයි. එහෙත් වන මැද මොහු ලුහු බැන්දේ පොලිස් භටයෝයි. ඔහුගේ අවසානය තෙක් සියල්ලෝම ඔහුට පක්ෂව සිටියහ. මිනිසුන්ගේ ආදරය ඔහු සතු විය.

කවුද? මේ ලංකා රොබින් හුඩ් නොහොත් සරදියෙල් ලෙස රඟපෑ නළුවා.

ඔහු මතායස් ප්‍රනාන්දු ය. මතායස් සිංහල සිනමාවට හඳුන්වා දෙන්නේ සිරිසේන විමලවීරයන් විසිනි. ඒ ඔහු විසින් මතායස් “ පිටිසර කෙල්ල” චිත්‍රපටයේ ෂෙල්ටන්ගේ චරිතය තුළිනි. මතායස් ගැන තොරතුරු අපට මුලින්ම හමුවන්නේ සෝමපාල රණවීර විසින් සංස්කරණය කළ “ චලන චිත්‍ර” ( 1957 මාර්තු 01 වෙනි සිකුරාදා) පත්‍රයෙනි. ලිපිය ලියා තිබුනේ සංස්කාරකවරයා විසිනි. ඔහු මතායස්ගෙන් ඇසූ එක් ප්‍රශ්නයකි මේ.

“ ඔබ කීවෙනි ප්‍රමාණය දක්වා ඉගෙන ගෙන තියෙනවාද?”

“ සිංහල දෙවෙනි පන්තියට”

“ මොනවා!” මම මවිතයෙන් ඇසුවෙමි.

කිසිවිටක වචනයක්වත් නොවරද්දා හරියට දෙබස් කියන්නටත්, ඒ දෙබස් පැහැදිලිව ලියා ගන්නටත් පුවත්පත් කියවීමටත් පුළුවන් ඔහු දෙවෙනි පන්තිය දක්වා පමණක් ඉගෙන ගත් බව කී විට එය මම විශ්වාස නොකළෙමි.

“ ඇත්තද කියන්නෙ”

“ ඔව් ! මම ඉස්කොලෙ ගියේ දෙවෙනි පන්තිය දක්වා පමණයි. ඊට පසු නාට්‍ය සහ චිත්‍රපටවල රඟපාලමයි ඉතුරු ටික ඉගෙන ගත්තේ.”

සෝමපාලයන් ඔහුගේ කීම පිළිගෙන ඇත.

ලියනදාරගේ මතායස් ප්‍රනාන්දු 1917 පෙබරවාරි මස 24 වෙනිදා මීගමුවේ දළුපොත ග්‍ර‍්‍රාමයේ උපත ලැබූවේ සහෝදරයන් හතර දෙනෙකු මැදය. මීගමුවේ දළුපොත විද්‍යාලයෙන් දෙවෙනි පන්තිය තෙක් ඉගෙන ගත් ඔහුගේ සිත වඩාත් ඇදී ගියේ රඟපෑම කෙරෙහිය. ඔහු දූවේ, කට්ටුවේ රඟ දැක්වූ පාස්කු නාට්‍ය බැලීමට මිතුරන් සමඟ ගියේ මවුපියන්ගේ තරවටු මධ්‍යයේය. වසර 10 වන විට තම සිතැඟි ඉටු කරමින් “ මස්තීනුස් ඇග්නස්” නාට්‍යයේ දාසයකු මෙන් රඟපෑමට අවස්ථාව උදා වී ඇත.

ගායකයකු මෙන්ම තබ්ලා වාදන ශිල්පියකු ලෙස ගමේ සංගීත සාජ්ජවලට සහාය වූ මතායෙස්ට වේදිකා නාට්‍ය රඟපෑමට අත හිත දී ඇත්තේ බෙන්ජමින් ප්‍රනාන්දුය. “ බෙන්ජමින් මාස්ටර්” නමින් ප්‍රකට ඔහු “ සත් සමුදුර” චිත්‍රපටයේ සිරිල් වික්‍රමගේ ගේ පෙම්වතිය ලෙස රඟ පෑ ලීනා ප්‍රනාන්දුගේ පියා ය. ( බෙන්ජමින් මාස්ටර් පසුව චිත්‍රපට නළුවෙකු ලෙස සරදියෙල්, අසෝකා, රම්‍යලතා, වනළිය, කවුද හරි, දෙවියනි ඔබ කොහිද චිත්‍රපටවල ද රඟපෑවේය.) චිත්‍රපට කතා රචකයකු දෙබස් රචකයකු විය. මීපුර මංගල සභා නාට්‍ය සංගමයේ පුරෝගාමියා වූ ඔහු මතායස් ප්‍රනාන්දු නම් තරුණ නළුවා “ මාතලන්” සිංහල කොල්ලා, සරදියෙල් නාට්‍යවලට සම්බන්ධ කරගත්තේය. “ මාතලන්” නාට්‍යයේ මතායස් ගැහැනු චරිතයක් රඟපෑම විශේෂයකි. ඒ චිත්‍රවල්ලිගේ චරිතයයි.

“ සරදියෙල්” නාට්‍යය නැරඹීමට සිරිසේන විමලවීර මාස්ටර් පැමිණි අතර ඔහු තමා විසින් අධ්‍යක්ෂණය කළ “ පිටිසර කෙල්ල” නාට්‍යයේ චරිතයකට මතායස් තෝරා ගත්තේය. 1953 වසරේ විමලවීර මාස්ටර් අධ්‍යක්ෂණය කළ “ පිටිසර කෙල්ල” චිත්‍රපටයේ ෂෙල්ටන්ගේ චරිතයට තෝරා ගත්තේ මතායස් ය.

“ මම විමලවීර මාස්ටර්ට සදා ණයගැතියයි.” මතායස් පවසා තිබුණි.

මතායස් ප්‍රනාන්දු “ පිටිසර කෙල්ල” චිත්‍රපටයේ රඟපෑවේ කොළඹ හැදුණු වැඩුණු තරුණයකු වූ ෂෙල්ටන්ගේ චරිතයකි. අත මිට සරුව, තෑගි බෝග කර පින්නා ගමට එන ෂෙල්ටන් තමා කුඩා කාලයේ දැක සිටි තරුණියක වූ ශාන්ති දැක ඇය කෙරෙහි සිත් බැඳ ගත්තේය. කොළඹ නගරය ගැන සිහින මවමින් සිටි ගමක තරුණියක වූ ශාන්ති ධනයටත්, බලයටත්, කුලයටත් වඩා ඇය දායාදය කර සිටියේ මනා රූ සපුව පමණි. ශාන්ති ගමේ තරුණයකු වූ විමලරත්න හා පෙමින් බැඳී, ඔහු සමඟ කෙදිනක හෝ විවාහ වීමට ප්‍රතිඥා දී තිබුණාය. ඇයගේ හද මැදුරේ ඇති දේවතාවා විමලරත්න බව ෂෙල්ටන් දැන ගෙන, ඇගේ මවගේ සිත දිනා තෑගි බෝග දී කොළඹ ගැන පුරසාරම් දොඩා ශාන්ති නතු කිරීමට උත්සාහ ගනී.

“ ආ මේ මොනවද ඉහින් කනින් බදා ගෙන” ශාන්තිගේ මව ඇසුවාය.

“ කොළඹ ඉඳල එනකොට දන්නේ නැද්ද? තෑගි බෝග ටිකක්,”

“ ශාන්ති මේ බලාපියකො දුව. උපන්තේකට නොදැකපු බඩු ඉහින් කනින් බදාගෙන.” මව ශාන්තිට කීවාය.

“ යං පුතා ගේ ... ඇතුළට” මව නැවතත් කීවාය.

“ නෑ අම්මා මෙහෙම හොඳයි. දාඩිය. මෙතැන හුළං තියෙනවා. ඕනෑ නම් හෙට අනිද්දා එනකොට මේ පැළ වෙනුවට මේ ස්ථානයේම කොළඹ බංගලාවකට වඩා හොඳ ලක්ෂණ බංගලාවක් ශාන්තිට මම හදවලා දෙන්නම්කෝ. අපේ එහේ අලි ඉන්නවා. තේ වතු, රබර් වතු තියෙනවා. කාර් තියෙනවා. ඕනෑ තරම් සල්ලි තියෙනවා. හිතුණොත් බංගලාවල් නොවෙයි මාළිගාවල් වුණත් ශාන්තිට හදා දෙන්ඩ පුළුවන් මිනිහෙක් මම.”

ශාන්තිගේ සිත පිනා යයි. ෂෙල්ටන් විසින් තෑගි කරන ලද සාරි, බෑග්, රත්තරං, මාල, දැක ඇය සතුටු වූවාය.

“ අනේ බෝම ලස්සනයි. හරි ලස්සනයි.” ශාන්ති උදම් ඇනුවාය.

ශාන්තිගේ මව කොළඹ බෑනා ගැන ආඩම්බර වූවාය. මේ අතර ශාන්ති ෂෙල්ටන් කොළඹ සිට ආ විට කණට කොඳුරා රහසක් කීවාය. ෂෙල්ටන්ට දෙලොව රත් විය. එදා ගමින් පිටව ගිය පසු ආපසු ආවේ නැත. ශාන්ති ගැබ්බරව සිටියාය. ෂෙල්ටන් සොයා ශාන්ති දරුවා ද රැගෙන කොළඹ එයි. ශාන්ති කොළඹ නාට්‍ය සංගමයකට බැඳී නිළියක් වෙයි. මෙහි කළමනාකරුගෙන් මුදල් පැහැර ගන්නා ෂෙල්ටන් අතින් ඔහු මිය යයි. මිනීමැරුමේ චෝදනාවට ලක් වූ ෂෙල්ටන් එල්ලුම් ගස් යයි. දැන් ශාන්ති ධනවත්, නාට්‍ය නිළියකි. සිය ප්‍රථම ප්‍රේමයෙන් පරාජයට පත් ලෞකික සැප අතහැර ගිය විමලරත්න ගිය පාරේ යාමට ශාන්ති තීරණය කරන්නීය.

“ පිටිසර කෙල්ල” චිත්‍රපටයේ මතායස් ප්‍රනාන්දු රඟපෑ අවස්ථාවාදී කපටි, වංචනික තරුණයාගේ චරිතය චිත්‍රපටය නැරඹූ කාන්තා පක්ෂයේ පිළිකුලට ලක්ව ඇත. එදා ඔහු සමඟ ශාන්ති ලෙස රඟපෑවේ තෙරේසා වීරසිංහය. විමලරත්න ලෙස එඩී ශාන්තප්‍රිය රඟපෑවේය. “ පිටිසර කෙල්ල” චිත්‍රපටය මතක් වන විට මතායස් ප්‍රනාන්දුත්, එහි එන මේ ගීතයත් අමතක නොවේ.

“ අලෙ කළ මුත් පණට පණ සේ ස්ත්‍රී ජාතිය නෑ විශ්වාසේ ප්‍රේම කළ මුත් දිවෙන් දිව ගා ස්ත්‍රීයන් ගති නෑ හරියන්නේ.”

මතායස් ප්‍රනාන්දුගේ කෙටි චිත්‍රපට රංගනයේ සුවිශේෂ චරිතය සරදියෙල් ය.

“ මෙච්චර දවස් අපි හිතාගෙන හිටියේ තමුසේ හොරෙක්, අපරාධකාරයෙක්, නීචයෙක්, මංකොල්ලකාරයෙක්, මිනීමරුවෙක් කියලයි. නමුත් දැන් අපට තේරුණා තමුසෙ අපේ හිතවතෙක්, මිත්‍රයෙක්, ගැලවුම්කාරයෙක් දුප්පතාට පිහිට වන දෙවියෙක්."

සරදියෙල් ගැන දුප්පතුන් කළේ මෙවැනි විවේචනයකි. ඔහුගේ ගුණ වැනුමකි.

සරදියෙල් මංකොල්ල කෑවේ ධනවතුන්ගෙන්ය. ඔහු දාමරිකයකු වූයේ ඔවුන්ටයි. ඔහු කෙරෙහි පිහිටි මහඟු ගුණ ධර්ම රාශියකි. ආලය හමුවේ උණුවන හදක් ද ඔහුට තිබුණේය.

මතායෙස්ගේ රඟපෑම ගැන “ ජනතා” පත්‍රයට රාජා තිලකරත්න ලියා තිබූ සටහනකි මේ. 'මේ චිත්‍රපටයේ සරදියෙල්ගේ සූදු පොළේ පෙම්වතිය වූ තංගම්මා ලෙස රඟපැවේ නවක නිළියක වූ ගර්ලි ගුණවර්ධන ය. ඇය පසුව චිත්‍රපට නළු ස්ටැන්ලි පෙරේරාගේ බිරිඳ වී දෙදෙනාම රඟපෑහ. සබීතා පෙරේරා මේ දෙදෙනාගේ දියණියයි.

සරදියෙල්ගේ හිත මුලින්ම ඇදී ගියේ සිරිමලීටය. සිරිමලී තොටුපළේ දිය නාද්දී කිඹුලෙක් ඇය ඩැහැගත්තේය. දියට පැන්න සරදියෙල් කිරිච්චියෙන් ඇණ කිඹුලා මරා තරුණිය බේරා ගත්තේය. තරුණියගේ පියාගෙන් ප්‍රසංශා ලැබූ සරදියෙල්ට කෝරලේ මහතාගේ බොරු චෝදනා නිසා ඔහු ගමින් යනවිට සිරිමලී මෙසේ කියයි.

“ එහෙනං මා මතක් වෙන්නත් එක්ක මේ තෙල අරන් යන්න. උතුවන් කන්දට යන තුරු ඔබට කිසි අනතුරක් වෙන්නේ නෑ. ඕනෑම වෙඩි උණ්ඩයක් වළක්වන හෙණ රාජ තෙලක් ඕ සරදියෙල්ට දුන්නාය.

මේ චිත්‍රපටයේ එන අවස්ථා කිහිපයකි. සරදියෙල්ගේ කතාව ගැන බොහෝ දෙනා දන්නා නිසා ඔබ වෙහෙසට පත් නොකරමි. එදා මේ චිත්‍රපටයේ සිරිමලී ලෙස තෙරේසා වීරසිංහ රඟපෑවාය. කිරිබත්ගොඩ නව ජීවන චිත්‍රාගාරයේත් කඩුගන්නාවේ උතුවන්කන්දෙත් මේ චිත්‍රපටය රූගත කර ඇත.

“ සරදියෙල්” චිත්‍රපටයට හා මතායස් ප්‍රනාන්දුට විචාරක ප්‍රශංසා හිමි වී තිබේ. ජයවිලාල් විලේගොඩ දිනමිණ විචාරයකින් කියා තිබුණේ සරදියෙල් දේශීය ඇසකින් බලා සැනසුම් සුසුමක් හෙළිය හැකි බිය නැතිව සිංහල යයි කිව හැකි චිත්‍රපටයක් බවය. “ සංස්කෘති” සඟරාවට එහි සංස්කාරක අමරදාස වීරසිංහ විසින් ලියූ විචාරයෙන් පවසා තිබුණේ ග්‍රාම්‍ය ඇඳුම් මෝස්තර ප්‍රදර්ශන, බජව් බයිලා, චූන්, කොමඩි, ඝෝර භීෂණ සිද්ධි ආදියෙන් තොරව ජීවිතය විකෘති කොට නොදක්වන නරඹන්නන් තුළ ස්වාර්ථ විනෝදය ඇති කළ චිත්‍රපටයක් බවය.

“ සරදියෙල්” ලවා මේ චිත්‍රපටයේ හිතෝපදේශ ගණනාවක් කියවීමට අධ්‍යක්ෂවරයා උත්සාහ ගෙන තිබුණි. “ නයා දෂ්ට කරන්නේ රිදෙව්වම පමණයි.” “ තමාගේ සිත පිරිසිදු නම් අයහපත් වන්නේ නෑ.”

මතයෙස් ප්‍රනාන්දු සරදියෙල් චිත්‍රපටයේ රඟපෑමෙන් පසු දුප්පතාගේ දුක ( 1956) , සිරකරුවා ( 1957) , නාමල් රේණු ( 1984) , සූර සරදියෙල් ( 1986) රඟපෑවේය. මීගමුවේ උපන් ඇන්ටන් ග්‍රෙගරි අධ්‍යක්ෂණය කළ “ සූර සරදියෙල්” චිත්‍රපටයේ මීගමුවේ උපන් මතායස්ට වැඩිහිටි චරිතයක් රඟපෑමට අවස්ථාව දුන්නේ ඔහුට උපහාරයක් වශයෙනි. සිරකරුවා චිත්‍රපටයේ මතායස් රඟපෑවේ දුප්පත් එහෙත් එඩිතර ගැටවරයකුගේ චරිතයකි. ඔහු උඩුකය නිරාවරණය කොට රඟපෑ ( සරදියෙල්) පුරෝගාමී නළුවා ලෙසද ප්‍රකටය. ටාසන් චිත්‍රපට නැරඹීමට ප්‍රිය කරන ඔහු ලෙක්ස් බාකර්, ජොනි වෙස්මුලර් යන නළුවන්ට ප්‍රිය කරන බව “ චලන චිත්‍ර” සඟරාවට පවසා තිබුණි.

“ මම රඟපෑමට කැමති ගම්බද, දුප්පත් සිංහලයින් මෙන් අමුඩය හෝ සරම ඇඳගෙන රඟපෑමට කලිසම් ඇදගෙන රඟපාන්න මම අකමැතියි. බැතිමත් කතෝලිකයකු වූ ඔහු 1957 දී “චලන චිත්‍ර” ට අදහස් දක්වන විට දහසය හැවිරිදි පුතෙකුගේ පියෙකි. ටාසන් මෙන් වනාන්තරගත වීමට කැමති මේ නළුවා 1988 මැයි 02 වෙනිදා මිය ගියේය.

මෙහි එන සරදියෙල් ගීත පොතේ උපුටනය මහාචාර්ය සුනිල් ආරියරත්නගේ සිංහල චිත්‍රපට ගීතාවලිය ( 1947 - 1956) කෘතියෙනි. කවදත් නොමසුරුව උපකාර කරන සිරි කහවලයන්ටද ස්තූතියි.

 

ඡායාරූප පිටපත් - ලාල් සෙනරත්