ළෙංගතු තරු

ජූලි 15, 2021

 

අපට තරු දැකගත හැකි වන්නේ ඉහළ අහසේ බොහෝ දුරිනි. ජනප්‍රිය නළු නිළියන් ද තරු ලෙසින් හැඳීන්වෙන්නේ එහෙයිනි. එහෙත් රසික රසිකාවන්ට දුරස් නොවන තරුද වෙයි. කාර්තික් ආර්යන් ඒ අතරින් එක් අයෙකි. කාර්තික් මේ වන විට බොලිවුඩයේ විශේෂයෙන් කතාබහට ලක් වූ තරුවක් බවට පත්ව සිටී. එයට හේතුව නම් ඔහු කිසිදු අවස්ථාවක මඟහැර නොයා රසික රසිකාවන් වෙනුවෙන් කාලය වෙන් කිරීමයි. පසුගිය දිනෙක ප්‍රසිද්ධියට පත් වූයේ ඔහුගේ එවැනි වීඩියෝවකි.

එනම් කුඩා රසිකයෙකු වෙනුවෙන් සිය ගමන මඳකට නතර කර සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටීමයි. එම අවස්ථාව රූගත කළ පුද්ගලයෙකු විසින් එය සමාජ මාධ්‍ය වෙත මුදා හැරීම සමඟ රසික ප්‍රශංසා පැතිර ගියේ වෛරසයක් මෙනි. වීඩියෝව කාර්තික් තම රසික රසිකාවන් වෙනුවෙන් වූ ආදරය පෙන්වන සුවිශේෂි වීඩියෝවක් බවට පත් වී ඇත.

මුම්බායි හි ඩී. වයි. පටිල් ඉංජිනේරු විද්‍යාලයෙන් ජෛව තාක්‍ෂණය පිළිබඳ ඉංජිනේරු උපාධියක් හිමි ආර්යයන් බොලිවුඩයට පිවිසියේ 'ප්‍යාර් කා පන්චනමා' චිත්‍රපටයෙනි (2011). රාම් මාධ්වානිගේ 'ධමාකා' සහ 'භූල් භූලායියා 2' හැරුණු විට ඔහු මෑතකදී 'සත්‍යනාරායන කි කතා' නම් නව සිනමාපටය ප්‍රකාශයට පත් කළේය. එය අධ්‍යක්ෂණය කරන්නේ ජාතික සම්මානලාභී සමීර් විද්වාන්ස් විසිනි.