හොලිවුඩ් ගමනට

ජූලි 15, 2021

මෑත කාලයේදී, ප්‍රියංකා චොප්රා ජොනාස් සහ දීපිකා පදුකෝන් හොලිවුඩයට පිවිස ඉහළ ජනප්‍රියත්වයක් දිනා ගැනීමට සමත් වු බොලිවුඩ් තරු යුගලකි. මේ අතරට එක් වීමට නියමිත නවතම තරුව වන්නේ ආලියා භාත්ය. බොලිවුඩ් පුවත්වලට අනුව ඇය හොලිවුඩ් විලියම් මොරිස් එන්ඩෝවර් එන්ටර්ටේන්මන්ට් (ඩබ්ලිව්එම්ඊ) සමඟ ගිවිසුම් අත්සන් කිරීමට සූදානමින් සිටී. ඒ වෙනුවෙන් ඇය හොලිවුඩ් සංචාරයක් වෙනුවෙන් බලා සිටින බවද එම පුවත් අතර වේ.

විලියම් මොරිස් එන්ඩෝවර් එන්ටර්ටේන්මන්ට් (ඩබ්ලිව්එම්ඊ) යනු ඇමරිකානු සමාගමක් වන අතර එය කැලිෆෝනියාවේ බෙවර්ලි හිල්ස් හි පිහිටා ඇත. ජෙසිකා ඇල්බා, බෙන් ඇෆ්ලෙක්, මැට් ඩේමන්, ක්‍රිස්ටියන් බේල්, හූපී ගෝල්ඩ්බර්ග් වැනි නළු නිළියන් ඩබ්ලිව්එම්ඊ සමඟ කටයුතු කරන හොලිවුඩ් නළු නිළියන් කිහිප දෙනෙකි.

ආලියා මෑතකදී 'ඩාර්ලින්ස්' චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කර ඇති අතර සංජේ ලීලා බන්සාලිගේ 'ගංගුබායි කැතියවාඩි' චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් කර තිබේ. 'ඩාර්ලින්ස්' චිත්‍රපටය සමඟ ආලියා නිෂ්පාදනයටද එක් වූවාය. තවද ඇය කරන් ජොහාර්ගේ 'රොකී ඕර් රාණි කි ප්‍රේම් කහානි' චිත්‍රපටයටද දායකවීමට නියමිතව ඇත. එස්.එස්. රාජාමෞලිගේ 'ආර්.ආර්.ආර්.' චිත්‍රපටයද ඇයගේ චිත්‍රපට එකතුවෙහි සුවිශේෂ වේ.