බලනවා නම් චිත්‍රපට

ජුනි 3, 2021

 

ගෙදරට ම වී කල් ගත කරන ඔබට චිත්‍රපට කිහිපයක් තෝරා දෙන්නට අප අදහස් කළා. සමහරවිට මේ වන විට මේ චිත්‍රපට අතරින් සමහර ඒවා ඔබ නරඹා ඇතුවාට කිසිම සැකයක් නැහැ. කොහොම වුණත් බලමු මේ චිත්‍රපට ගැන.

 

.Jathi Ratnalu

මේ අලුත් තෙළිඟු චිත්‍රපටයක්. තරුණයන් තිදෙනෙකු ගමක සිට ලොකු බලාපොරොත්තු තියා ගෙන හයිද්‍රාබාද් නගරයට එනවා. හැබැයි ඔවුන්ට සිදුවන්නේ අලුත් අත්දැකීමකට මුහුණ දෙන්න. නොසිතූ කරදරයකට මුහුණ දෙන්න. හේතුව නොකළ වරදකට ඔවුන් පැටලෙනවා. ගැලවෙන එක ලේසි නැහැ. කොහොම හරි ගැලවෙන්නත් එපායැ. ඉතින් හිනා වෙවී නරඹන්න කැමැති ඔබට කදිම චිත්‍රපටයක්. නව්දීන් පොලිෂට්ටි,ප්‍රියදර්ශි පලිකොන්ඩා, රාහුල් රාමක්‍රිෂ්ණා, මුරලි ෂර්මා, බ්‍රහ්මානන්දන් ආදි නළු නිළියන් මෙහි චරිත නිරූපණය කරනවා. අනුදීප් කේවී නම් තරුණ සිනමාකරුවා තමයි සිනමා කෘතිය අධ්‍යක්ෂණය කළේ. චිත්‍රපටය නැරඹිය හැක්කේ ඇමේසන් ප්‍රයිම් හරහා

 

 

 

Raat Akeli Hai


නවසුද්දීන් සිද්දික් සහ රාධිකා අප්තේ රඟපාන මේ චිත්‍රපටය ඉතාම කුතුහලයෙන් පිරි කෘතියක් නරඹන්නට කැමැති අයට නම් හොඳට ගැළපෙනවා. චිත්‍රපටය ආරම්භ වනුයේ මෝටර් රථ අනතුරකින් පසු එහි ගමන් කළ වංශවත් කාන්තාවක් සහ ඔහුගේ රියැදුරු මරා දමන ජවනිකාවකින්. තවත් අවුරුදු පහකට පසු තවම විවාහයක් සොයන එක් තරුණ පොලිස් නිලධාරියෙකුට එක් රැයකදී ඉහළින් අණ ලැබෙනුයේ සිදු වූ මිනී මැරුමක් ගැන සොයා බලන්නට. මිය ගොස් සිටිනුයේ වියපත් වංශවතෙක්. ඔහුගේ දෙවැනි විවාහය සිදුවන දවසේ තමයි මරණ ය සිදුව තිබෙනුයේ. පොලිස් නිළධාරියාට අලුත් මනාලිය හමුවෙනවා. මෙයට අවුරුදු ගණනාවකට කලින් දුමිරියේ දී මුණ ගැසුණු යුවතියක්. ඇය පසුගිය කාලය ගත කර තිබෙනුයේ යහපත් ජීවිතයක් නොවේ. දැන් සියල්ලගේ සැකය ඇයට යොමු වෙනවා. එහෙත් පොලිස් නිලධාරියා ඒ ගැන සැක කරනවා. එයින් පසු ඔහු අනාවරණය කර ගන්න දේ කිවහොත් ඔබට මේ චිත්‍රපටයේ කුතුහලය බිඳ වැටේවි. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ තරුණ සිනමාකරුවකු වන හනී ට්‍රෙහාන්. චිත්‍රපටය නැරඹිය හැක්කේ නෙට්ෆ්ලික්ස් ඔස්සේ.

 

 

Irul

ඉන්දියානු සිනමාවේ අලුත් අත්දැකීම් ගෙන එන ප්‍රාන්තයන් අතර මලයාලම් සිනමාවට ඇත්තේ ඉහළ තැනක්. ඉරුල් මලයාලම් සිනමාවේ එන අපූරු අලුත් සිනමා කෘතියක්. බිහිසුණු ත්‍රාසජනක නවකතාවක් ලියා අතිශය ජනප්‍රිය වුණ ලේඛකයකු ඔහුගේ හිතවන්තියක වන නීතිඥවරියකට ආරාධනා කරන්නේ සති අන්තයක් ගත කරන්නට. ඔහු ඇයට එය අලුත් අත්දැකීමක් කරන්නටයි පොරොන්දුව. මේ යන්නේ ඈත කඳු පළාතක කාත් කවුරුවත් නැති පෙදෙසකට. අතරමග ඇද හැලෙන වැස්ස මැද මෝටර් රථයත් ක්‍රියා විරහිත වනවා. මේ යුවළ අසල මහා මන්දිරයකට ගොඩ වෙනවා. මේ නිවෙසේ දොර අරිනුයේ ආගන්තුකයෙක්. මොහොතින් මොහොත ඔබ නොසිතන අත්දැකීමක් කරා ගෙන යන මේ අපූරු චිත්‍රපටයේ ඇත්‌තේ චරිත තුනක් පමණයි. එය සුප්‍රකට රංගවේදින් වන ෆහාඩි ෆාසිල්, සෞබින් සහීර්, දර්ශනා රාජජේන්ද්‍රන් විසින් නිරූපණය කරනු ලබනවා. අධ්‍යක්ෂණය කරනු ලබනුයේ නසීෆ් යූසුෆ් ඉසුද්දීන්. නැරඹිය හැක්කේ නෙට්ෆ්ලික්ස් හරහායි.

 

 

 

Pandora

මේ චිත්‍රපටය අවුරුදු කිහිපයක් පරණයි. හැබැයි තවමත් නරඹන්නට නම් අලුත් . කොරියාවේ එක්තරා ගම්මානයක ජීවත් වන වැන්දඹු මවක් හා ඇයගේ පළමු දරුවාගේ වැන්දඹු ලේලියත් ජීවත් වනුයේ එකට. ඔවුන් කුඩා අවන්හලක් පවත්වා ගෙන යනවා. බාල පුතා හා කුඩා මුණුබුරාත් මේ පවුලේ සාමාජිකයෝ. පුතාට රූමත් පෙම්වතියකුත් ඉන්නවා. ඔහුගේ එකම බලාපොරොත්තුව විදේශගත වෙලා වැඩිපුර ආදායමක් සොයා ගන්න. ඔහුගේ ඉලක්කය ඇලස්කාවට ගිහින් සැමන් මසුන් ඇල්ලීම . හැබැයි තවම ඒ බලාපොරොත්තුව ඉටු වී නැහැ. මේ ගමේ න්‍යෂ්ටික බලා ගාරයක් ඉදිවෙලා. සමහරු මෙහි භයානක තත්තවය ගැන අවබෝධ කර ගෙන විරෝධය පළ කළත් එයින් පළක් වන්නේ නැහැ. පවුලේ පුත්‍රයා සේවය කරන්නේත් එහි. එක්තරා දවසක මේ බලාගාරය පිපිරීමකට ලක් වෙනවා. එහි විකිරණ මුළු පළාතම පුරා විසිරී යනවා. කොරියානු සිනමා කෘති අත්දැකීම අතින් ඇතැම්විට හොලිවුඩ් සිනමාවත් අභියෝගයට ලක් කරන තරම් කියලා මේ චිත්‍රපටය නරඹද්දී අපට හිතෙනවා. නෙට්ෆ්ලික්ස් ඔස්සේ නැරඹිය හැකි මේ චිත්‍රපටයේ ජනප්‍රිය කොරියානු සිනමා තාරකා රැසක් දැක ගන්නට අපට හැකියි. අධ්‍යක්ෂණය කරන ලදදේ පාක් ජුන් වූ විසින්.

 

Poorna

ලොව අඩුම වයසින් එවරස්ට් නැඟි දැරිය පූර්ණා මලාවත්. ඇය ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ දිළිදු දැරියක්. මේ දැරියගේ ජීවිතය හා ඇයගේ වීර චාරිකාව පාදක කර ගෙන සම්මානනීය නළු රහුල් බෝස් විසින් අධ්‍යක්ෂණය කරන ලද පූර්ණා නම් හින්දි චිත්‍රපටය ප්‍රයිම් ධාරාවෙන් ඔබට නැරඹිය හැකි චිත්‍රපටයක්. හිම නොපෙනන පළාතක ඉපිද ධෛර්යය නිසාම ලොව ඉහළම ස්ථානයට ගිය මේ අපූරු දැරියගේ ජිවිත වෘත්තාන්තය සිනමා කෘතියක් හැටියටත් අපට අපූරු අත්දැකීමක් ගෙන එනවා. ඔබටත් එය එසේම වනු ඇති.

 

Shoplifters

ඉතා විශිෂ්ට ගණයේ සිනමා අත්දැකීමක් ලබන්නට කැමැති ඔබ වෙනුවෙන් අප නිර්දේශ කරන චිත්‍රපටයක් තමයි මේ ජපාන චිත්‍රපටය. පවුලේ සියල්ලට එකට සිට නැරඹිය නොහැකි වුවත් ඉහළ ගණයේ සිනමා අත්දැකීමක් ලබන්නට කැමැති ඔබ අනිවාර්යයෙන් නැරඹිය යුතු චිත්‍රපටයක්. මේ චිත්‍රපටයට පාදක වනුයේ වර්තමාන ජපානයේ පවුලක්. මේ පවුල ඇත්තටම පවුලක් ද පවුල යන කේන්ද්‍රය ගොඩ නැඟෙන්නේ කුමක් අරබයා ද? මිනිසුන්ගේ මානුෂීය ගුණාංග යනු ආර්ථිකය හා බැඳෙන කරුණු පෙළක් ද යන ගැටලු හිරෝකාෂි කොරි-ඊඩා නම් සිනමාකරුවා අප හමුවේ තබනවා. මේ පවුලේ සාමාජිකයන් අප දකිනුයේ හරි අපූරු සාමාජිකයන් හැටියට. සැමියා, බිරිඳ, දියණිය, පුතා හා මහළු මිත්තණිය මේ නිවෙසේ සාමාජිකයන්. ඔවුන් දැවැන්ත සාප්පුවල භාණ්ඩ සොරකමේ යෙදෙනවා. මේ අතරවාරයේ අසල්වැසි දැරියකත් මේ පවුලට එකතු වෙනවා. හෙමින් හෙමින් සිනමාකරු අපට නිරාවරණය කරනුයේ මේ ජීවිත වටා ඇති රහස්.

 

 

Janamaithri
 

කේරළයේ පොලිසිය ජනතාව අතර වඩාත් සමීප කරවන්නට එහි උසස් පොලිස් නිලධාරියකු යෝජනා කරනවා. එහි ප්‍රතිඵලය රාත්‍රියේ හමුවන රියැදුරන්ට තේ කෝප්පයකින් සංග්‍රහ කිරිම, ඔවුන්ගේ ඕනෑ එපාකම් හොයා බැලීම ආදිය. හැබැයි මේ යෝජනාව ක්‍රියාත්මක කරන්නට ගිය අවස්ථාවේ නොසිතූ කරදර රාශියකට මුහුණ පාන්නට සිදුවෙනවා. හොඳ හාස්‍ය ජනක සිදුවීම්වල කෙළවර පොලිසියට නියම ගෞරවය ලැබෙන්නේ කොහොමද? ඒකට ඉතින් මේ චිත්‍රපටය නෙට්ෆ්ලික්ස් හරහා නරඹන්නම වෙනවා. ජෝන් මන්ත්‍රිකාල් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටයේ ඉන්ද්‍රන්ස් කොචුවේලු, සයිජි කුරුප්, විජේ බාබු ආදි නළු නිළියන් රාශියක් චරිත මවනවා.

 

 

Without remorse

ටොම් ක්ලැන්සි ඇමෙරිකානු නාවික භටයෙක්. දීර්ඝ සටන් රාශියක කොටස්කරුවකු වූ ඔහුගේ ගැබිණි භාර්යාව රුසියානු පිරිසක් විසින් මරා දමනවා. මේ ඝාතනය සැලසුම් සහගත ක්‍රියාවක්. එයින් ටොම් බේරි යනවා. කෙසේ වෙතත් ඔහුට එයින් පසු මුහුණ දෙන්නට සිදු වනුයේ යුද පිටියේ මුහුණ දෙනවාටත් වඩා අත්දැකීම් සමූහයකට. මයිකල් බඋී. ජෝර්දාන් ප්‍රධාන චරිතය රඟපාන මේ චිත්‍රපටය අලුත්ම හොලිවුඩ් චිත්‍රපටයක්. මේ දවස්වල ත්‍රාසජනක චිත්‍රපට නරඹන්නට කැමැති ඔබට මේ චිත්‍රපටය සුදුසු යැයි අප විශ්වාස කරනවා. ටෙෆාන් සොලිමා මෙහි අධ්‍යක්ෂවරයා. මේ නෙට්ෆ්ලික්ස් තිර ගත කරවීමක්.

 

 

Over The Moon

හඳ මාමාත් එහි සිටින හාවා ගැනත් අප කතා ඇසුවේ කුඩා වියේ සිට. චීනයේ කුඩා දැරියක වූ ෆෙයි‌ ෆෙයිට කුඩා හා පැටියෙක් ඇගේ අම්මා විසින් තිළිණ කරනු ලබනවා. උගේ නම බන්ගී. ඒ ඇයට අම්මාගෙන් ලැබෙන අවසාන තෑග්ගයි. තවත් අවුරුදු හතරකට පසු තාත්තා ෂොංග් මහත්මියත් ඇගේ දඟකාර පුත්‍රයා චින්වත් නිවසට කැඳවා ගෙන එන්නේ චන්ද්‍රයාගේ මංගල්‍යයටයි. සඳ දිය ගලා ඇවිත් අසල දිය කඩ සරසනවා. දැන් ෆෙයි ෆෙයිගේ වෑයම සඳට ගිහින් සඳ දෙව්දුව සමඟ සිටින අම්මා මුණ ගැසීමයි. මේ අපූරු සිනමා කෘතිය පරිගණක තාක්ෂණය උපයෝගි කර ගෙන නිර්මාණය කරන ලද්දක්. මෙවර ඇකඩමි සම්මාන උලෙළේ හොඳම ඇනිමේෂන් චිත්‍රපටයට නාම යෝජනා දිනූ මෙම චිත්‍රපටය මේ දවස්වල අපට අහිමි වූ නැතහොත් අමතකව ගිය අපේම සුන්දර ළමා වියට අප ගෙනියනවා. සහතිකයි. නෙට්ෆ්ලික්ස් ඔස්සේ දැක බලා ගත හැකි මේ අපූරු චිත්‍රපටය ග්ලෙන් කීන්ගේ අධ්‍යක්ෂණයක්.

 

 

 

Furie

ඇය කුඩා කල යහපත් ළමා දිවියක් උරුම කර ගත්තියක්. තරුණ වියේ නොමඟ යෑමත් සමග පාතාල ලෝකයට සම්බන්ධ වන ඇය කවුරුත් නොදන්නා පළාතකට යන්නේ පියා අහිමි දියණියක සමඟයි. එතැන් පටන් ඇයගේ දිවිය ගෙවෙනුයේ බදු එකතු කරන්නියක හැටියටයි. කුඩා කල පටන් පුරුදුව සිටි සටන් කලාව ඇයට රැකවරණය සපයනවා. එක් දිනකදී ඇයගේ දියණිය කිසිවකු විසින් පැහැර ගෙන යනු ලබනවා. ඇයට පැරැණි මාවතට යළි අවතීර්ණ වන්නට සිදුවනවා. වියට්නාම් චිත්‍රපටයක් වන ෆියුරි ඔබට දැක ගන්නට ලැබෙනුයේ ද නෙට්ෆ්ලික්ස් ඔස්සේයි. සුප්‍රකට වියට්නාම් නිළියක වන වෙරෝනිකා ජියෝ මෙහි ප්‍රධාන චරිතය රඟපානවා. ලේ වැන් කියෙට් මෙහි අධ්‍යක්ෂවරයායි.

 

 

Mrs.Scooter

ඔබ නැතුව ඔබ එක්ක චිත්‍රපටයේ රංගනය උදෙසා සරසවිය සම්මාන උලෙළේදී හොඳම නිළිය ලෙස මෙන්ම ඹරඟපා 2014 වසරේ ඉන්දියානු අන්තර්ජාතික සිනමා උලෙළේ හොඳම නිළිය ලෙස අභිෂේක ලද අංජලී පටෙල් ප්‍රධාන චරිතය රඟන ප්‍රයිම් ධාරාවෙන් නැරඹිය හැකි මිසිස් ස්කූටර් අපූරු සිනමා අත්දැකීමක්. නවදිල්ලියේ කුඩා කුලී නිවහනක ජීවත්වන තරුණයෙකු ඔහු හා විවාහ වන දවසේම ස්කූටරයකුත් මිළ දී ගන්නවා. එහෙත් නොසිතූ ලෙස මේ තරුණයා අනතුරුකට ගොදුරුව මිය යනවා. එයින් පසු මේ තරුණිය ජීවිතයට මුහුණ දිය යුතු වෙනවා. හොඳ සිනමා කෘතියක අත්දැකීමක් ලබා ගැන්මට නම් මිසිස් ස්කූටර් නැරඹිම හොඳ යැයි අප විශ්වාස කරනවා. ශිලාදිත්‍ය මවුලික් මෙහි අධ්‍යක්ෂවරයායි.

 

 

Cinema Bandi

ජිවිකාව උදෙසා ත්‍රිවිලරයක් පදවන එක් දරු පියෙකුට අහම්බෙන් එහි දමා ගිය කැමරාවක් හමුවෙනවා. ගමේ සිටන මඟුල් ගෙවල් ඡායාරූප කරන ඔහුගේ සගයා සමඟ එක්ව චිත්‍රපටයක් නිර්මාණය කරන්නට සැරසෙනවා. වර්තමානයේ ඕනෑම කෙනෙකුට සිනමා කෘතියක් නිර්මාණය කරන්නට පුළුවන්. ඇත්තටම මේ සිනමා ගැන කිසිත් නොදන්නා පුද්ලයන් දෙදෙනාට චිත්‍රපටය නිර්මාණය කරන්නට පුළුවන් ද? නිර්ව්‍යාජ සිනමා අත්දැකීමක් ලබන්නට කැමැති ඔබට සිනෙමා බන්ධි නම් තෙළිඟු චිත්‍රපටය ඉතා සුදුසුයැයි අප නිර්දේශ කරනවා. මෙහි රඟපාන කිසිවකු හෝ සිනමාවේ අත්දැකීම් අත්තන් නම් නොවේ. අඩුම තරමේ සිනමාකරු වූ ප්‍රවීන් කන්දෙන්ගුලාත් එහෙමයි. එහෙත් සිනමා කෘතියේ අත්දැකීම නම් එහෙම එකක් නොවේ. එය ඇත්තටම අපූරු අත්දැකීමක්.