නර්තන ශිල්පීන් වෙනුවෙන්

ජුනි 3, 2021

අක්ෂේ කුමාර් කාරුණික හදවතක් හිමි තාරකාවක් ලෙස බොලිවුඩයේ ප්‍රචලිතය. ඔහු සෑම විටම සමාජීය අරමුණු වෙනුවෙන් පරිත්‍යාග කරන්නේ ප්‍රසිද්ධිය නොතකමිනි. ඔහු මේ වන විටත් කොරෝනා රෝගීන්ගේ සද්කාර සඳහා පරිත්‍යාග රැසක් සිදුකර ඇති අතර නැවතත් උපකාර කිරීමට ඉදිරිපත් වී සිටී. ඒ වෙනුවෙන් ඔහු නර්තන ශිල්පීන් 3600 ක් රැකබලා ගැනීම සඳහා මාසික සලාක වියදම් වෙනුවෙන් ප්‍රවීණ නර්තන ශිල්පී ගනේෂ් ආචාර්යාට සහය වීමට ඉදිරිපත් වී තිබේ.

බොලිවුඩ් චිත්‍රපටයක නර්තන අංගයක් වෙනුවෙන් නර්තන ශිල්පීන් රැසක් සහභාගි වෙති. කොරෝනා වසංගතය සමඟින් බොලිවුඩයේ අසරණ වුවන් අතර එම නර්තන ශිල්පීන්ද වේ. ඔවුන් වෙනුවෙන් යම් උපකාරයක් කිරීමට ගනේෂ් ආචාර්යා පියවර ගෙන තිබේ. ගනේෂ් ආචාර්යා පදනම හරහා මෙම කටයුත්ත ක්‍රියාත්මක අතර එහිදී සියලු සෞඛ්‍ය සහ ආරක්‍ෂිත ක්‍රමවේද යටතේ නර්තන ශිල්පීන් වෙනුවෙන් මුදල් හෝ කුඩා පවුල් ඒකකයක් මාසයක් පෝෂණය කිරීම සඳහා අත්‍යවශ්‍ය දේ ලබා දීමට නියමිතය. ඔවුන් සතුව වසරක් තිස්සේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වී ඇති අතර කිසිවෙකු කිසිදු කරදරයකට පත් නොවීමට වග බලා ගැනීම සඳහා සැපයුම් ඉතා පිළිවෙලට සැලසුම් කර ඇති බවත් ගනේෂ් පවසයි. පසුගියදා ගනේෂ්ගේ 50 වැනි ජන්ම දිනයට සුබ පැතු අක්ෂේ ඔහුට අවශ්‍ය ත්‍යාගය කුමක් දැයි විමසූ අවස්ථාවේදී මෙම කටයුත්ත පිළිබඳ තොරතුරු පවසා තිබේ.