ජී.ආර්.පද්මරාජ් මියයයි

ජුනි 3, 2021

 

 

 

මෙරට සිනමාවේ ඉහල පෙලේ නිෂ්පාදකවරයෙකු ප්‍රදර්ශකයෙකු වූ හා චිත්‍රපට බෙදාහරින්නෙකු වූ ජී.(ගුණරත්නම්) ආර්.(රබීන්ද්‍රනාත්) පත්මරාජ් මහතා අභාවප්‍රාප්ත විය. ඔහු දේශීය සිනමාවේ පුරෝගාමී චිත්‍රපට නිෂ්පාදන සමාගමක් වූ සීමාසහිත සිනමාස් සමාගමේ වර්තමාන කළමනාකාර අධ්‍යක්ෂකවරයා විය. 1949 වසරේ දේශිය සිනමාවේ ආරම්භක සමාගමක් වශයෙන් සිනමාස් ගොඩනගා ගත්තේ ඔහුගේ පියා වූ කේ. ගුණරත්නම් විසිනි. කේ. ගුණරත්නම් චිත්‍රපට නිෂ්පාදකවරයෙකු ලෙස මෙරට සිනමා කර්මාන්තය ගොඩනැගීමෙහි මහත් මෙහෙයක් ඉටු කළේය. ප්‍රථමවරට චිත්‍රපට ප්‍රදර්ශක මණ්ඩලයක් මරදානේ ගාමිණි සිනමාශාලව ප්‍රමුඛ කොට ගොඩනංවන ලද්දේ ද ඔහුය. ඔහු විසින් 1953 වසරේ නිර්මාණය කරන ලද සුජාතා චිත්‍රපටයෙන් පසු මෙරට සිනමාවේ වාණිජ සිනමාව නව රැල්ලකට යොමු වූ අතර එය මෙරට සිනමා කර්මාන්තය ස්ථාපිත කිරීමටද හේතුවක් විය.

රදල පිළිරුව, ධීවරයෝ, දොස්තර, සංදේශය, වන මෝහිණි, වීර විජය, අල්ලපු ගෙදර, ආත්මපූජා ඇතුළු චිත්‍රපට රාශියක් නිෂ්පාදනය කළ කේ. ගුණරත්නම්ගේ බාල පුතු වූයේ පත්මරාජය. ගුණරත්නම්ගේ අභාවයෙන් පසු එම සමාගමෙහි කලමණාකාර අධ්‍යක්ෂක ධූරයට පත් වූ පත්මරාජ් එයින් පසු සැලමුතුපින්න නමින් චිත්‍රපටයක් නිෂ්පාදනය කරන ලද්දේ සිනමාස් නාමය ඉදිරියට ගෙන යෑමටය. ශ්‍රී ලාංකික දෙමල චිත්‍රපටයක් වූ කෝමාලි කිංග් චිත්‍රපටයේ සම නිෂ්පාදක වූයේද ඔහුය.

ඔහුගේ පාලනය යටතේ බොරැල්ලේ ලිඩෝ කොටහේනේ කිංස්ලි ඇතුළු සිනමාශාලා රාශියක් පාලනය විය. මේ අතරින් ලිඩෝ සිනමාහල මෙරට සිංහල චිත්‍රපට ප්‍රදර්ශනයේ ප්‍රධාන මධ්‍යස්ථානයක් වූ අතර කිංස්ලි සිනමා හල මුල්ම කතානාද චිත්‍රපටය වූ කඩවුණු පොරොන්දුව චිත්‍රපටය තිරගත කළ සිනමාහල ලෙස ඓතිහාසික වශයෙන් සිහිවටනයක් ද වේ.

මෙරට බිහිවූ විශිෂ්ඨතම සිනමාකෘතිය ලෙස සැලකෙන නිධානය චිත්‍රපටයේ හිමිකරු වූයේ ද පත්මරාජ්ය. මෙරට පුරෝගාමී චිත්‍රපට සමාගම් තුනක් එනම් සිලෝන් තියටර්ස්, සිනමාස් සහ සිලෝන් එන්ටර්ටේට්මන්ට් ඒකාබද්ධව පිහිටුවා ඇති සිනමා එන්ටර්ටේට්මන්ට් පුද්ගලික සමාගම හෙවත් සෙල් සමාගමේ වර්තමාන කලමණාකාර අධ්‍යක්ෂක ධූරය දැරුවේද පත්මරාජ්ය. සිනමා ශිල්පීන්ගේද සිනමා කර්මාන්තයේ බොහෝ දෙනෙකුගේ ද හිතවතෙකු වු ඔහු එහි ප්‍රගමනය උදෙසා බෙහෙවින් කැපවී කටයුතු කළ පුද්ගලයෙකු විය.

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වූ පද්මරාජ් මහතා මියයන විට 70 වන වියේ පසුවිය. ඔහු දරුවන් තිදෙනෙකුගේ පියෙකි. ඔහු මියගියේ පසුගිය සඳුදා එනම් මැයි 31 වැනිදාය.