අලුත් විලාසිතාවක් වූ කතාවක්

Ratched
ජුනි 3, 2021

 

 

ඒ 1947 වසරයි. එඩ්මන්ඩ් ටොල්සන් නම් තරුණයකු විසින් පූජකයන් හතර දෙනෙකු ඝාතනය කෙරෙන අතර අතර එයින් එක් අයෙකු තම පියා බව ටොල්සන් පවසයි. මාස හයකට පසු ටොල්සන් අත්අඩංගුවට ගැනෙන අතර ඔහු නඩු විභාගයක් සඳහා සුදුසු මානසික තත්ත්වයක පසු වන්නේද යන වග නිර්ණය කිරීමට උතුරු කැලිෆෝනියාවේ මානසික ආයතනයක් වන ලුසියා රාජ්‍ය රෝහලේ දී තෙමසක පරීක්ෂණයකට ලක්කිරීමට නියම කෙරේ.

ලුසියා රාජ්‍ය රෝහල යනු මනෝ වෛද්‍ය හැනොවර් මහතාගේ ප්‍රධානත්වයෙන්, පරීක්ෂණ තත්ත්වයේ පවතින විවිධ මානුෂික සහ අමානුෂික ක්‍රම මගින් නේවාසික රෝගීන්ගේ මානසික ආබාධ සුව කිරීම උදෙසා යත්න දරණ ආයතනයකි. මේ කාලයේදීම මිල්ඩ්‍රඩ් රැචඩ් නම් කාන්තාවද එම රෝහලේම හෙදියකගේ තනතුර වංචාසහගතව අත්පත් කර ගනී. සෘජු, නිර්භීත සහ සේවයට කැපවුණු පෞරුෂයකින් යුත් කාන්තාවක් වන රැචඩ් කෙටි කලෙකින්ම ඉතා සූක්ෂම ලෙස ප්‍රාන්තයේ ආණ්ඩුකාර ජෝර්ජ් විල්බර්න්ගේ මෙන්ම රෝහලේ රෝගීන්ගේ, හෙදියන්ගේ සහ වෛද්‍ය හැනොවර්ගේද විශ්වාසය දිනා ගනී. කතාව මෙසේ දිගහැරෙද්දී මිනීමරු එඩ්මන්ඩ් ටොල්සන් ලුසියා රෝහල වෙත ගෙනවිත් ඔහුට උරුම කුටියේ සිරගත කෙරේ.

රයන් මර්ෆි විසින් නිර්මාණය කරන ලද ඇමරිකානු මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක රූපවාහිනී කතා මාලාවක් 'රැචඩ්' මෙසේ ඇරඹේ. එය 1962 වසරේදී කෙන් කේසි විසින් ලියවුණු එනමින් යුත් නවකතාව පදනම් කරගෙන 1975 දී තිරගත කෙරුණු මිලෝස් ෆෝර්මන්ගේ ර්‍ණදඥ ජ්තඥඹ ර්‍ණමඥප බඩඥ ඛ්භජඬධධ'ඵ ව්ඥඵබ චිත්‍රපටයේ දැක්වෙන මිල්ඩ්‍රඩ් රැචඩ්ගේ අතීත ජීවිතය සිතුවම් කරයි. සටකපට, සැහැසි සහ ජුගුප්සාජනක සිද්ධීන්ගෙන් සැදුම්ලත් මෙම කතාමාලාවේ පළමු අදියර 2020 සැප්තැම්බර් මස නෙට්ෆ්ලික්ස් හි තිරගත වූ අතර දෙවැනි අදියරක් සඳහා නෙට්ෆ්ලික්ස් විසින් මේ වන විට 'කොළ එලි' දල්වා ඇත. සම්මානලාභී ප්‍රවීණ නිළියක වන සාරා පෝල්සන් මෙහි ප්‍රධාන චරිතය වන මිල්ඩ්‍රඩ් රැචඩ්ගේ චරිතයට පණ පොවන අතර ෆින් විට්රොක්, සින්තියා නික්සන්, ජෝන් ජෝන් බ්‍රයන්ස්, චාලි කාර්වර්, ජූඩි ඩේවිස්, සහ ෂැරන් ස්ටෝන් සෙසු චරිත රංග දක්වති.

මෙය විචාරකයන්ගේ මිශ්‍ර ප්‍රතිචාර ලත් කතා මාලාවකි. රොට්න් ටෝමාටෝස් අඩවියේ විචාරකයන් 93 දෙනෙකුගෙන් 61% ක් මෙම කතාව අනුමත කර ඇති අතර දර්ශකයේ සාමාන්‍ය අගය 6.24/10 වේ. එහි පොදු විචාරය මෙම කතා මාලාව පිළිබඳ මෙසේ පවසයි. මෙය අවිවාදිතවම අලුත් 'විලාසිතාවක' කතාවකි. ඒ නමුත් එහි තිර රචනයේ ඇති 'කුහර' සහ කාටූන් වැනි වූ චරිත මෙම කාර්යය සඳහා කැපවුණු රංගන ශිල්පීන්ගේ උත්සාහය බාල්දු කරයි.