විනුලි ඇත්ත ජීවිතයේ මගේ චරිතයට සමානයි

-දිලූෂි හංසිකා-
අප්‍රේල් 29, 2021

 

දෙරණ නාළිකාවෙන් මේ දිනවල විකාශය වන ධරණි ටෙලිනාට්‍ය මේ දිනවල ප්‍රේක්ෂකයන් අතර බොහෝ ජනප්‍රියය. එහි තරුමිණීගේ නැඟණිය විනුලි ඔබට මතකද? විනුලිට පණපොවන ඇය නමින් දිලූෂි හංසිකා. නවක රංගන ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රයට හාහාපුරා කියා පැමිණි දිලූෂි සමඟ අපි මෙලෙස කතාබහක යෙදුණා.

දිලූෂි දැන් හරි ජනප්‍රියයි නේද?

ඔව්. ධරණි ටෙලිනාට්‍යය නිසා ඉස්සරට වැඩිය දැන් මම ජනප්‍රියයි කියලා හිතෙනවා.

 

විනුලිගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

හොඳ ප්‍රතිචාර ගොඩක් ලැබෙනවා. මේ චරිතය මට අලුත් අත්දැකීමක්. මට හරිම සතුටුයි මේ වගේ චරිතයක් කරන්න ලැබුණ එක ගැන. හැමෝම චරිතයට හොඳයි කියනවා. හොඳීන් රඟපානවා කියනවා. චරිතයේ සමහර දේවල් ඇරුණුකොට සාමාන්‍යයෙන් මම ඉන්න විදිහට තමයි ටෙලිනාට්‍යයේ ඉන්න තියෙන්නේ. ඒ නිසා මට ලොකුවට රඟපානවා කියලා විශේෂයෙන් කරන්න දෙයක් නැහැ. විනුලිගේ චරිතය ඇත්ත ජීවිතයේ මගේ චරිතයට සමානයි.

 

දිලූෂි කලා ක්ෂේත්‍රයට ආවේ කොහොමද?

මම 2020 දෙරණ අවුරුදු කුමාරි තරගයෙන් දෙවන ස්ථානය දිනා ගත්තා. දෙරණෙන් ටෙලිනාට්‍යයකට තිර පරීක්ෂණයක් තිබුණා ඒකෙන් තමයි මම ධරණි ටෙලිනාට්‍යයට තේරුණේ.

 

දිලූෂි නිරූපණ ක්ෂේත්‍රයේත් නියැලෙනවා නේද?

මම කැලණිය විශ්වවිද්‍යාලයේ. 2019 අපේ විශ්වවිද්‍යාලයේ stylish marketer  කියලා තරගයක් තිබුණා. මම ඒකෙන් දෙවෙනි ස්ථානයට ආවා. ඒ කාලේ ඉදන්ම මම නිරූපණය ක්ෂේත්‍රයේ හිටියා. නමුත් මම වෘත්තිය තලයට ගියේ නෑ ඒ ක්ෂේත්‍රයෙන්. ඡායාරූපවලට වෙළෙඳ දැන්වීම්වලට මීට කලින් මම නිරූපණ ශිල්පිණියක් විදිහට සම්බන්ධ වුණා.

 

දිලූෂිගේ පෞද්ගලික විස්තර කිව්වොත්?

මගේ නම දිලූෂි හංසිකා. මට වයස අවුරුදු විසිතුනයි. මම ඉන්නේ කටුබැද්දේ. මට ඉන්නෙ අම්මයි අප්පච්චියි මල්ලිලා දෙන්නයි. මගේ අප්පච්චි ව්‍යාපාරිකයෙක්. අම්මා ගෘහණියක්. මගේ පාසල දෙහිවල ශුද්ධවූ පවුලේ කන්‍යාරාමය. මම කැලණිය විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ විශේෂ උපාධිය කරනවා.

 

දිගටම කලා ක්ෂේත්‍රයේ ඉන්නද බලාපොරොත්තුව?

මම කැමති විදිහේ චරිත ලැබුණොත් රඟපානවා. මම ආස හැමතැනම දකින්න නැති වෙනස් චරිත රඟපාන්න. ධරණි ටෙලිනාට්‍යයෙත් මම රඟපාන්නේ ඒ වගේ වෙනස් චරිතයක්. ඒක හැමදාම දකින ගෑණු ළමයෙක්ගෙ චරිතයක් නෙමෙයි. ඒ වගේ වෙනස් චරිතයක් ලැබුණොත් සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ මම.

 

වෘත්තියක් ලෙස කලාව කරන්න බලාපොරොත්තුවක් නැද්ද?

මම වෙනත් විෂය ධාරාවකින් උසස් අධ්‍යාපනය හදාරන කෙනෙක්. කලාව නිසා ඒ දේවල් මඟඇරුනොත් මම ඉගෙනගත්ත දේවල් අපරාදේ. මම ඉස්කෝලෙදිත් ඉගෙන ගන්න දක්ෂයි. විශ්වවිද්‍යාලයේ දී ඉගෙන ගන්න දේවල් වගේම බාහිර වැඩත් කරපු කෙනෙක්. මම ජාත්‍යන්තර සබඳතා හදාරන නිසා ඒ අංශයෙන් වෘත්තියක් කරන අතරතුර කලා කටයුතුත් කරන්න බලාපොරොත්තු වෙනවා.

 

රංගනය ගැන ඉගෙන ගන්න ආස නැද්ද?

මම හරිම ආසාවෙන් ඉන්නේ රංගනය ගැන ඉගෙනගන්න. අනෝජා වීරසිංහ මැඩම්ගේ රංගන වැඩමුළුවලටත් සම්බන්ධ වෙන්න හිතාගෙන ඉන්නවා. නමුත් කාලය නැති ගැටලුවක් තියෙනවා. කොහොමහරි කාලය හොයාගෙන රංගනය ඉගෙනගන්න ඕනේ.

 

දිනූෂිගේ ඉදිරි වැඩ කටයුතු ගැන කිව්වොත්?

දැනට ධරණි ටෙලිනාට්‍යයේ රූගත කිරීම් කරගෙන යනවා. මම කලින් රඟපාපු වෙළද දැන්වීම් වෙළඳ දැන්වීම් දෙක තුනක් එන්න තියෙනවා. නිරූපණ කටයුතුවලටත් සම්බන්ධ වෙනවා. මේ දවස්වල මට විශ්වවිද්‍යාලයේ විභාග පැවැත්වෙනවා. ඒකට තමයි දැන් වැඩිපුර මහන්සි වෙන්නේ.

 

දිලූෂිට ස්තූතියි කරන්න පිරිසක් ඇති?

මගේ අම්මා තාත්තා පවුලේ අයට ස්තූති කරන්න ඕනේ මට ලබාදෙන සහයෝගයට. ඒ වගේම දෙරණ මාධ්‍ය ජාලයේ උප සභාපති ලක්සිරි වික්‍රමගේ, ටෙලිනාට්‍ය නිෂ්පාදක ජානක සිරිවර්ධන , අධ්‍යක්ෂ ශ්‍රියන්ත ප්‍රසාද්, තිරරචක නිදුක් මදුෂික යන අයට ස්තූතිවන්ත වෙනවා. ඒ අය ගොඩක් මගේ වැඩවලට උදවු කරනවා. ධරණි ටෙලිනාට්‍යය ටිකක් වෙනස් වෙන්න හේතුව ටෙලිනාට්‍යයේ සටන් ජවනිකා. අපේ සටන් අධ්‍යක්ෂකටත් මම ස්තූති කරන්න ඕනේ.

 

ඡායාරූප - ශානුක හේෂාන්