ප්‍රියතම නළුවා

අප්‍රේල් 29, 2021

ජනප්‍රිය ඉන්දීය නළු කමල හසන්ගේ වැඩිමහල් දියණිය ශ්‍රැති හසන් දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය චිත්‍රපට මෙන්ම බොලිවුඩ් චිත්‍රපටද සිය රංගනයෙන් ඔපවත් කළ නිළියකි. නිළියක මෙන්ම ගායිකාවක ලෙසද අවධානය දිනා ගැනීමට ඇය සමත් වී සිටී. ශ්‍රැති සමාජ මාධ්‍යවල ක්‍රියාකාරී අවස්ථාවකදී ට්විටර් ඔස්සේ රසිකයෙකු ඇසූයේ විශේෂ පැනයකි. එනම් ෂාරුක් ඛාන් සමඟ වැඩ කරන්නේ කවදා දැයි යන පැනයයි. "මගේ ප්‍රියතම නළුවා ඔහුයි. ඉදිරි කාලයේදී අධ්‍යක්ෂවරු සවන් දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු" ශ්‍රැති පවසන්නීය.

ළමා ගායිකාවක ලෙස සිනමාවට පිවිසි ඇය පළමු ගීතය ගායනා කළේ පියාගේ 'තේවර් මාගන්' චිත්‍රපටය (1992) වෙනුවෙනි. එහි සංගීත අධ්‍යක්ෂණය කළේ ඉලෙයරාජා විසිනි. තෙළිඟු ක්‍රියාදාම ප්‍රහසන චිත්‍රපටයක් වන 'රේස් ගුරම්' (2014)හි රංගනය වෙනුවෙන් ඇය හොඳම නිළිය සඳහා වූ ෆිල්ම් ෆෙයාර් සම්මානය (තෙළිඟු) දිනා ගත්තාය. දකුණු ඉන්දියානු සිනමාවේ වාණිජමය වශයෙන් සාර්ථක චිත්‍රපට කිහිපයක් වන 'ගබ්බාර් සිං' (2012), 'වෙඩලම්' (2015), 'ශ්‍රීමන්තුඩු' (2015) සහ 'සී 3'(2017) චිත්‍රපට සමඟින් ඇය ඉදිරියට පැමිණියාය. ශ්‍රැති අවසන් වරට රිදී තිරයේ දුටුවේ 'පිට්ටා කතලු' තෙළිඟු චිත්‍රපටයෙනි.