නොමිලයේ වැඩට

අප්‍රේල් 29, 2021

‘වක්ට්: ද රේස් එගේන්ස්ට් ටයිම්' හින්දි චිත්‍රපටය නිකුත් වී වසර 16 ක් සම්පූර්ණ විය. විපුල් ෂාගේ අධ්‍යක්ෂණයක් මෙන්ම නිෂ්පාදනයක් වූ එය බොලිවුඩයේ සාමාන්‍යයෙන් ගෙන ආ කතාවලට වඩා වෙනස් ලෙසින් වූ පිය - පුතු සම්බන්ධතාවයක් පිළිබඳ චිත්‍රපටයක් විය. ජනප්‍රිය තරු යුගලක් වන අමිතාබ් බච්චන් සහ අක්ෂේ කුමාර් සමඟින් ප්‍රියංකා චොප්රා සහ ෂෙෆාලි ෂා එහි ප්‍රධාන චරිත මැවූහ.

මෑතකදී විපුල් ෂා මෙම චිත්‍රපටය පිළිබඳව ප්‍රමුඛ පෙළේ පුවත්පතකට හෙළි කර සිටියේ අක්ෂේ සහ අමිතාබ් දෙදෙනාම තමා චිත්‍රපටය නිෂ්පාදනය කරන බව දැනගත් විට චිත්‍රපටය සඳහා මුදල් නොගන්නා බව පැවසූ බවයි. "වක්ට්: ද රේස් එගේන්ස්ට් ටයිම් චිත්‍රපටය පිළිබඳ අපි සාකච්ඡා කළේ 'අන්ඛේන්' චිත්‍රපටය කරමින් සිටියදීයි. ඔවුන් දෙදෙනාම මේ කතාවට බෙහෙවින් කැමති වූ නිසා අපි මෙම චිත්‍රපටය සෑදීමට තීරණය කළා. ඒ සමඟ මා නිෂ්පාදකවරයකු බවට පත්වීම ගැන දැනුම් දුන් විට, ඔවුන් දෙදෙනාම දන්වා සිටියේ සිය ගාස්තු ඉවත් කිරීමට කැමති බවයි. මම සහ මන්මෝහන් ෂෙට්ටි ඊට එකඟ නොවී ඔවුන්ගේ වේතනය ගෙවූ නමුත් එවැනි සුපිරි තරු මා වෙනුවෙන් ඔවුන්ගේ ගාස්තු අය නොකිරීමට පවා කැමැත්තෙන් සිටීම ඉතා සිත්ගන්නාසුලු, හද උණුසුම් කරවන්නක්" විපුල් ෂා පවසන්නේය.