දඩයක්කරුවන්ගේ දඩයම

Hunters
අප්‍රේල් 29, 2021

දෙවන ලෝක සංග්‍රාමය සමයේ වර්ෂ 1941 සිට 1945 දක්වා කාලය තුළ නාසි ජර්මානුවන් විසින් සහ ජර්මනිය විසින් අත්පත් කරගත් යුරෝපය පුරා යුදෙව්වන් මිලියන හයක් පමණ ක්‍රමානුකූලව සමූල ඝාතනය කළ බව කියැවේ. නාසි ජර්මනිය යුද්ධය පැරදීමෙන් බොහෝ කලකට පසුවද මෙම ඝාතනයන් සහ ඊට සම්බන්ධ වූවන් ලෝකයේ දැඩි අවධානයට පාත්‍ර වූ අතර ‘නාසි දඩයක්කරුවන්’ (Nazi hunters) ලෙස නම් වූ පිරිසක් බිහිවී තිබුණි. නාසි දඩයක්කාරයෙක් වශයෙන් හැඳීන්වෙන්නේ උක්ත සමූලඝාතන ව්‍යපාරයට සම්බන්ධ වූ නාසි සහකරුවන් සොයමින් ඔවුන් පිළිබඳ තොරතුරු සොයාගෙන රැස් කරන පුද්ගලයන්ය. නාසි අපරාධකරුවන් සම්බන්ධයෙන් තොරතුරු සොයා ගන්නා ඔවුන් පසුව ඒවා එම අපරාධකරුවනට එරෙහි නඩු විභාගයන්හිදී භාවිතා කරන බව කියවේ. සයිමන් වයිසෙන්ටාල්, ටුවියා ෆ්‍රීඩ්මන්, සර්ජ් ක්ලාර්ස්ෆෙල්ඩ් සහ ඔහුගේ බිරිඳ බීට්, ඉයන් සයර්, යාරොන් ස්වෝරේ, එලියට් වෙල්ස් සහ එප්‍රායිම් සූරොෆ් නමගිය නාසි දඩයක්කරුවන් වන අතර 1960 දශකයේ සිට 2000 වසර ආසන්නය දක්වාම නාසි දඩයක්කරුවන් විසින් සොයාගත් තොරතුරු උපකාරී කරගෙන නාසිවරුන්ට දඬුවම් පමුණුවන ලදී.

ඩේවිඩ් වේල් විසින් නිර්මාණය කරන ලද 'හන්ටර්ස්', උක්ත නාසි දඩයක්කරුවන්ගේ ක්‍රියා ඇසුරුකර ගෙන නිර්මාණය වූ ඇමරිකානු රූපවාහිනී කතා මාලාවකි. එය 2020 පෙබරවාරි 21 වන දින ඇමසන් ප්‍රයිම් වීඩියෝ විසින් තිරගත වීම ඇරඹි අතර 2020 අගෝස්තු මාසයේදී දෙවන වාරය සඳහා කතා මාලාව අලුත් කරන ලදි. මෙම කතා මාලාව දශක ගණනාවක් පුරා සැබෑ නාසි දඩයම්කරුවන් ගණනාවක් විසින් කරන ලද වැටලීම් සහ පරීක්ෂණ පාදක කරගෙන නිර්මාණය වුවද කිසිදු නිශ්චිත දඩයක්කරුවකුගේ හෝ දඩයක්කරුවන් සමූහයක චරිත සෘජුව නිරූපණය නොකෙරේ. මෙම කතා මාලාව 1977 වසරේ නිව් යෝර්ක් නගරයේ වෙසෙන එක්තරා නාසි දඩයම් කණ්ඩායමක චරිත මූලික කරගනී. නාසි යුද අපරාධකරුවන් විසින් එක්සත් ජනපදයේ සිය සිව්වැනි අධිරාජ්‍ය නිර්මාණය කිරීමට කුමන්ත්‍රණය කරන බව සොයා ගන්නා දඩයක්කරුවෝ ඊට එරෙහිව පෙළ ගැසෙති.

ලෝගන් ලර්මන්, ජෙරිකා හින්ටන්, ලේනා ඔලින්, සෝල් රුබිනෙක් සහ ඇල් පැසිනෝ ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වන අතර ප්‍රවීණ නළු ඇල් පැසිනෝ ගේ ප්‍රථම රූපවාහිනී චරිතය ද මෙය වේ. පළමු වාරය එළිදැක්වීමෙන් අනතුරුව හන්ටර්ස් සඳහා විචාරකයන්ගෙන් මිශ්‍ර ප්‍රතිචාර ලැබුණු අතර දඩයම්කරුවන්ට ධ්‍රැවීය සමාලෝචන ලැබුණි. එහි ආරම්භය, ආදර්ශය, ක්‍රියාදාම ආදී අංග බොහෝ දුරට අගය කළ විචාරකයෝ එහි රචනය, වේගය සහ ඓතිහාසික සාවද්‍යතාව විවේචනය කළහ. රෝට්න් ටෝමැටෝස් අඩවියේ විචාරකයන් 107 දෙනෙකුගෙන් 64%ක් මෙම කතා මාලාව අනුමත කර ඇති අතර දර්ශකයේ සාමාන්‍ය අගය 6.2/10 කි. එහි පොදු විචාරයට අනුව මෙය, දක්ෂ රංගන ශිල්පීන්ගෙන් සහ යුක්ති සහගත තේමාවකින් ශක්තිමත් වී ඇති නමුත් සැමවිටම (ප්‍රේක්ෂකයා බලාපොරොත්තු වන) 'ලකුණු මට්ටමට' නොපැමිණිය ද යම් යම් අවස්ථාවන්හිදී විශිෂ්ට ලෙස එම කාර්යය ඉටුකරයි.