එක දර්ශනයකට පාන් ගෙඩියයි, තුන් කාලයි, ආනමාලු හතයි ගජමෑන් වූ සස්මිත

අප්‍රේල් 29, 2021

රැව්ල වවාගෙන කොණ්ඩේ වවාගෙන අමුතු විදිහට හිනාවෙන එක වචනෙන් උත්තර දෙන හැමවෙලේම බඩගිනියි කියන පිස්සෙක් මේ දවස්වල අපි හමෝගෙම හිතේ ඉන්නවා.ඒ පිස්සා නිසා අපි හිනාවෙලා නිදාගන්නවා. මේ දිනවල ස්වර්ණවාහිනී නාළිකාව ඔස්සේ රාත්‍රී 9.30 ට දිගහැරෙන නාඩගම්කාරයෝ හැඩ කරන ගජමෑන්ට ජීවය දෙන තවම අවුරුදු විසිපහක් වූ මේ ඉලන්දාරියා සමඟ සරසවිය අපි කතා කරන්න හිතුවා. ඔහු නමින් සස්මිත දිල්ශාන්. සිය ප්‍රථම චරිතාංග රංගනයෙන් ප්‍රේක්ෂක සිත් ඇද බැඳගත් මේ තරුණයා මේ නිර්මාණයේ දෙවන සහය අධ්‍යක්ෂවරයාද වනවා. සිය චරිතය සහා ආ ගමන් මඟ පිළිබඳ සස්මිත වචන එකතු කළේ මේ විදිහට.

සස්මිත ක්ෂේත්‍රයට එන්නේ කොහොමද?

මම උසස්පෙළ කරන කාලයේ ජැක්සන් ඇන්තනී මහත්මයාගේ දස්කොන් කියන ටෙලිනාට්‍යය රූ ගත කිරීමට අපේ ගමට එනවා. එහි දී එහි සිටි සහය අධ්‍යක්ෂවරයෙක් අපේ අම්මා මුණ ගැසිලා. ඔහු අම්මට කියලා තිබුණා නාට්‍යයේ සුලු චරිත තියෙනවා. කැමති අය සම්බන්ධ කරන්න පුළුවන් කියලා. මම ඉස්කෝලේ ඇරිලා ගෙදර ගියාම අම්මා කිව්වා නාට්‍යයක් රූ ගත කරනවා කැමති නම් ගිහින් බලන්න කියලා. ඉන් පසුව මට එහි සුළු චරිතයක් ලැබුණා. මම දස්කොන් එක්ක එකතු වුණා.

සස්මිතට ගජමෑන් චරිතය ලැබෙන්නේ කොහොමද?

මම දැනට වැඩ කරන 'මාත්‍රා' නිෂ්පාදන ආයතනයේ. එහි අයිතිකරු චාමර සමරවික්‍රම. මම මේ ආයතනයට සම්බන්ධ වෙන්නේ චින්තන ශ්‍රීමල් අයියා නිසා. මෙහිදී මට සහය අධ්‍යක්ෂවරයෙක් විදිහට ජයප්‍රකාෂ් ශිවගුරුනාදන් යටතේ වැඩ කරන්න ලැබෙනවා. අපි 'අග්නි පියාපත්' ටෙලි නාට්‍යයේ වැඩ කරමින් ඉන්න අතරතුර අලුත් වැඩක් පටන් ගන්නවා එය තමයි 'නාඩගම් කාරයෝ'. මේ ටෙලිනාට්‍ය දෙකම රචනා කරන්නේ සද්ධා මංගල සූරියබණ්ඩාර අයියා. නාඩගම්කාරයෝ කිරිඳීවෙල රූ ගත කරන අතර වාරයේදී සද්ධා අයියා මට කියනවා ගජමෑන් කියලා චරිතයක් තියෙනවා හැබැයි ඒක පිස්සු චරිතයක්. සස්මිත ඔයාට ඒක කරන්න පුළුවන්ද? කරමුද? කියලා. මම ඒක ගොඩක් සතුටින් බාර ගත්තා.

ඔබ තරුණයෙක්. මේ වගේ පිස්සෙක්ගේ චරිතයක් බාර ගන්න හිතුවෙ ඇයි?

ඇත්තටම මේ චරිතය භාරගත් එකටවත්, මට ඩයලොග් නැති එකටවත් සහා මට දෙබස් කියන්න ඕන කියන තැනවත් මම නෑ. මට එය හිතෙන්නේ නැත්තේ මේ චරිතයට සාධාරණය තියෙන්නේ මට හිතෙන විදිහට නිෂ්ශබ්දතාවය එක්ක. නිෂ්ශබ්දතාවය එක්ක රඟපාන එක අමාරුයැයි බොහෝ දෙනා පවසනවා. මට අද වන විට ලැබිලා තියෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර එක්ක මම හිතනවා ඒ චරිතයට මම සාධාරණයක් කළා කියලා.

ගජමෑන් චරිතය ලැබුණම මොකද හිතුණේ?

මේ චරිතය මම ගොඩක් ආසාවෙන් කරන්න හිටපු චරිතයක්. මගේ හිතේ තිබුණා මම රඟපානවනම් කවදාහරි මේ වගේ චරිතයක් කරන්න ඕන කියලා. ඇත්තටම මම මේ චරිතයට කැමති මම පොඩි කාලේ ඉදලා ජීවිතේ ලබපු අත්දැකීම් එක්ක පිස්සු කියන චරිත සමාජයේ කොන් කරනවා මම දැකලා තියෙනවා. පිස්සෙක් වෙන්න එයාට කලින් කතාවක් තියෙනවා. .

සස්මිත ගජමෑන්ව කියව ගත්තේ කොහොමද?

සද්ධා අයියා චරිතය හඳුවා දුන්නේ ඔහේ කියන දේවල් ඔක්කොම අහගෙන ඉදලා අවසානෙට පොඩි සද්දයක් දාන විදිහට. එහිදී චරිතයට අනුගත වනවිට මම හදාගත්ත දේ, ගජමෑන් කියන චරිතයට මම චරිත කීපයක් එකතු කළා. තව දුරටත් චරිතය ඇතුළට කිදා බහින්න මට ලොකු හයියක් වෙන්නේ අපේ කලා අධ්‍යක්ෂ. ගජමෑන්ගේ ඇඳුමත් මෙයට බොහෝ සෙයින් බලපෑවා.

කොහොමද සස්මිත අර හිනාව හදා ගත්තේ?

(සිනාසෙමින්) එක්තරා නාට්‍යයක් රූ ගත කරනවිට ශිවා අයියා (ජයප්‍රකාෂ් ශිවගුරුනාදන්) සහ මං එක විදිහට හිනාවෙන්න පටන් ගත්තා. නමුත් මේක නෙවෙයි හිනාව. ඒක කෙටි හිනාවක්. ඒ හිනාව මට පොඩි කාලේ ඉදලා නිරායාසයෙන් එන එකක්. මට ඕන උනා ඒ හිනාවම පොඩ්ඩක් වැඩි කරලා ගජමෑන්ට ගැළපෙයිද කියලා බලන්න. මම ඒ ගැන ශිවා අයියට කියන්නේ නැතිවම රූ ගත කිරීමේදී එය නිරූපනය කළා. එයට අධ්‍යක්ෂවරයා කැමැති වුනා. 

සස්මිත ඇත්තටම කවුද මේ ගජමෑන්? ඇත්තටම සී අයි ඩී කාරයෙක්ද?

සී අයි ඩී කියන දේ ප්‍රේක්ෂකයාට කා වදින්න ඇත්තේ මම හිතනවා මේ චරිතය ගොඩනඟන්න මම චරිත කිහිපයක් හිතින් හිතන නිසා. සමහර අසාධාරණ තැන්වල මම එතැනදී බලන්නේ වෙනස් විදිහට. එය මං හිතලා කරන දෙයක් නෙවේ. ඒක මගේ විදිහ. නමුත් ගජමෑන් කියන්නේ පිස්සෙක්. හිත එහෙ මෙහෙ දුවන්නේ නැති, බොහෝ දේ අවබෝධයෙන් බලන්න නමුත් ඒවාට ක්‍රියාත්මක වෙන්න සහ ඒවා හසුරුවන්න දන්නේ නැති මොකක් හරි හේතුවක් නිසා ඉතිහාසයේ කොතැනක දී හරි මානසිකව වටුණු කෙනෙක් කියන අර්ථයයි මට තියෙන්නේ.

සස්මිතට ගජමෑන් නිසා අමතක කරන්න බැරි අත්දැකීම් ඇති?

එක දර්ශනයකදි මුදලාලී ප්ලේන්ටියක් ගෙනත් දෙනවා. මම ආනමාලු කෙසෙල් ගෙඩියක් එක්ක පාන් භාගයක් කනවා. රූ ගත කිරීමේදී ලොකු වාහනයක් ගියා.ඉතින් අපේ අපේ ඩයලොග් ඇහෙන්නේ නැතුව යනවා. එහෙම වුනාම ඒ දර්ශනය ආයෙම ගන්නවා. ඔය විදිහට එක එක කාර්මික දෝශනිසා එකම දර්ශනය වෙනුවෙන් පාන්ගෙඩියකුයි තුන්කාලක් සමඟ ආනමාලු කෙසෙල් ගෙඩි හතක් කන්න වුණා (සිනාසෙමින්)

සස්මිතට මේ පාර මුලින්ම පෙන්නලා දුන් ඔයාගේ අම්මා, අද ඔයා කරන මේ දේවල් දැකලා මොකද කියන්නේ?

අම්මා මට දස්කොන් ටෙලිනාට්‍යයට යන්න කියලා අවසරය දෙන්නේ වෘත්තීයක් වශයෙන් මට කලා ක්ෂේත්‍රයේ රැදෙන්න නෙවෙයි. මම කලාව තුළ වැඩ කරන්න හදනවිට අම්මා දැඩිව විරුද්ධ වුනා. අම්මා මා එක්ක තරහා වුනා. මම රණ්ඩු කළා. බැනුම් අහගෙන තරහාවෙවි තමයි මේ ගමන ආවේ. නමුත් එක නිර්මාණයකදි ටෙලි විෂන් තිරයේ යනවා සහය අධ්‍යක්ෂණය සස්මිත දිල්ෂාන් කියලා. මේක අම්මා දැකලා අම්මා මට ආශිර්වාද කරනවා කරන හැමදේම හරියට කරන්න කියලා. අද වන විට මාව ටෙලිවිෂනයේ දකිනවිට ඇය අඩනවා. ඒ ඇගේ සතුටු කදුළු කියලා මම දන්නවා. ඒ ගැන මට ආඩම්බරයි.

හදවතට දැනුණ ප්‍රේක්ෂක ප්‍රතිචාරය මොකද්ද සස්මිත?

ලංකාව තුළ සහ ලෝකය තුළ මම නොහිතපු විදිහට ගජමෑන් බොහෝ දෙනා වැළඳගත්තා. ඒ අතර ඩුබයි වල අවුරුදු තුනක පුංචි පුතෙක් වීඩීයෝ ක්ලිප් එකක් එවනවා මගේ වට්ස්ඇප් නම්බරයට මං විදිහට රඟපාලා. ඒක මට දැනුනා.

සමාජ මාධ්‍ය ගජමෑන්ව ඔවුන්ගේ ප්‍රකාශන මාධ්‍ය කරගෙන?

ඔව්. ගජමෑන් කියන තනි වචනයේ අර්ථයක් තියෙනවා. ගොඩක් සතුටුයි මට. මෙය මගෙ පළමු චරිතාංග රංගනය. ඒ තුළ මෙවැනි ආකර්ෂණයක් ලැබීම මට වචන වලට පෙරලන්න අමරුයි. මම ස්තූති කරනවා ඔවුන් සියල්ලටම.

දිගටම මේ ආකරයේ චරිත ලැබුණොත්?

එකම චරිතයක් දිගටම කරන්න කැමති නෑ. මේ තමයි පළවෙනි හ අන්තිමට නිර්මාණය වන ගජමෑන්. මින් ඉදිරියට ගජමෑන් කියන චරිතයේ ඒ හඩ හෝ හිනාව හෝ ස්වරූපය උපයෝගි කරගෙන නැවත චරිතයක් බිහි වෙන්නේ නෑ. එය නාඩගම්කාරයෝ කියන නිර්මාණයට පමණයි අයිති.

මේ ආ ගමන් මගේ හැරිලා බලද්දි සස්මිතට ස්තූතියි කියන්න බොහෝ දෙනෙක් ඇති.

විශේෂයෙන්ම කියන්න ඕන චාමර සමරවික්‍රම අපේ නිෂ්පාදකතුමා, ශිවා අයියා, චින්තන ශ්‍රීමාල් අයියා, ඒ වගේම මගේ සහෝදරයා කසුන් සමීර වගේම සද්ධා අයියා, අපේ කැමරා අධ්‍යක්ෂ ප්‍රභාත් දර්ශන අයියා කියන සියලු දෙනාමට සහා මෙතැනට එන්න උදව් කළ සියලුම දෙනාට ස්තූතියි.

අනාගතේ මොනවගේ බලාපොරොත්තු ද තියෙන්නේ?

මගේ අරමුණ අධ්‍යක්ෂවරයෙක් වීමටයි. එයට මට හොඳ ගුරුවරු මුණ ගැසුනා. මං කැමතියි කලාව ඉගෙන ගනිමින් අත්දැකීම් එක්ක ඉදිරියට යන්න. රංගන ජීවීතයේදී මට ලබෙන ඕනම චරිතයක් භාරගන්න මං පැකිලෙන්නේ නෑ. රංගනය හා අධ්‍යක්ෂණය කියන කාරණා දෙකටම මං කැමතියි.