දෑස වසා මා රැගෙන ගිය ඔබ රිස්මිනා සමීන්...

අප්‍රේල් 29, 2021

ඇය බැංකු නිළධාරිනියකි. සිය වෘත්තීය ජීවීතය තුළ කෙතරම් කාර්යබහුල වුවත් තම නිර්මාණ ශක්තිය එළියට ගත් ඇය මේ වන විට ගීත රචිකාවියකි. පුදුමයට කරුණ නම් ඇය මුස්ලීම් ජාතික කාන්තාවක වුවත් මනා සේ සිංහල භාෂාව පරිහරණය කිරීමයි. එය එසේ වන්නේ ඇය අධ්‍යාපනය ලබන්නේ සිංහල මාධ්‍යයෙන් වීම නිසාය. තම ස්වාමිපුරුෂයා ද සිංහල බෞද්ධයෙකු වීම නිසා ඇයට සිය නිර්මාණයන් විවිධ පරාසයන් ඔස්සේ කළ හැකි බව ඇය අප හා කීවාය. ඇය නමින් රිස්මිනා සමීන්...

රිස්මිනා ඔබ කොහොමද ගී ලියන්න පටන් ගත්තේ? 

මම මුලින්ම කවි ලියන්න ගත්තා. බැංකු නිළධාරියෙක් විදිහට රාජකාරී කිරීමත් එහි කාර්යබහුලත්වය නිසත් ලියන්න හුරු වුණාම හිත නිදහස් කරගන්න පුළුවන්. සමහර හැඟීම් ලියනවිට හිතට එන තරහා දුක වේදනාව වගේ හැඟීම් මගහැර ගන්න පුළුවන්. මම කුඩා කාලයේ ඉදලම චිත්‍රපට බලනවා පොත් කියවනවා. මුලින්ම මම නිසදැස් ලියන්න පටන් ගත්තා ෆේස් බුක් එකට. එහිදී එන ප්‍රතිචාර එක්ක දිගටම ලියන්න ආස හිතුනා. මීනා නමින් මම නිසදැස් ලියන්න ගත්තා කඳුලු සිත්තම් තමයි පේජ් එකේ නම. එයට බොහෝ දෙනෙක් මට ඉල්ලීම් කරනවා මගේ කතාව මෙහෙමයි මට මේක ලියලා දෙන්න කියලා. බොහෝ පිරිමි ළමයින්ගෙන් මට ඉල්ලීම් ආවා. ඉතින් මම ඒ අයගේ ඉල්ලීම් ඉටු කරලා දෙනවා. ඔය අතරේ බොහෝ දෙනෙකුගේ ඉල්ලීම උනේ ගීතයක් නිර්මාණය කරන්න කියලා. නමුත් පසුගිය කොරෝනා සමයේ මගේ ෆේස් බුක් මිතුරෙක් වූ ශ්‍රීමාල් ජයතිලක මට පණිවුඩයක් තියලා තිබුණා මා ලිවූ නිස දැසක් ඔහුට දෙනවද අහලා ගීතයක් කරන්න. පසුව මම කැමැති වුනා. රෑ සිහිනේ නමින් ඔහු ඒ ගීතය කරලා තිබුණා. එහිදී මට ලොකු ආසාවක් ඇති වුණා ගීත ලියන්න.

ඔබේ ගීතවල සංගීතය සපයන්නා ජ්‍යෙෂ්ඨ සංගීතවේදී නවරත්න ගමගේ?

ඔය අතරවාරයේදී මාව මගේ හොඳම යාලුවෙක් යොමු කළා නවරත්න ගමගේ ළඟට. ඔහු මගේ පද පේලී බලලා ඔහු රස වින්දා. ඔහු ඒ වචනවලට තාල දලා බලන විට මට තවත් ලිවීමට ආසාව වැඩි වුනා. 'දෑස වසා'නමින් ඒ ගීතය උරේෂා රවිහාරී ගායන ශිල්පිනිය ගායනා කළා. ඒ ගීතය බොහෝ සෙයින් ජනප්‍රිය වුනා. එයට හොඳ ප්‍රතිචාර තිබුණා. ගුවන් විදුලි නාළිකාවල ප්‍රචාරය වුනා.

දෙවෙනි ගීතයත් නවරත්න ගමගේ මහතාගේ සංගීතයෙන් ඉන්දිකා උපමාලී ගායන ශිල්පිනිය ගායනා කළා. එය ' රාධා ක්‍රිෂ්ණා' නමින් ප්‍රචාරය වුනා. ඒ ගීතයේ අර්ථය වුණේ අදටත් රාධලා ක්‍රිෂ්ණලා අප අතරේ ඉන්නවා යන හැඟීමයි..

අලුත් නිර්මාණ මොනවද?

මේ වන විට ගීතයක් නිර්මාණය කරලා එය හර්ෂණ දිසානායකට දී අවසන්. එහිත් සංගීත සංයෝජක නවරත්න ගමගේ මහතාමයි. ඒ වගේම නෙලූ අධිකාරි ගායන ශිල්පිනියට ගීතයක් කළා.එය සංගීතවත් කළේ අනුරාධා අබේසිංහ. එහි රූප රචනාව තවම කරලා නැහෑ. එය ලබන මාසයේදී පමණ නිම කරන්න බලාපොරොත්තු වනවා.

ඔබේ මව් භාෂාව වෙන්නේ දමිළ භාෂාව. කොහොමද මේ ආකාරයට සිංහල භාෂාව හසුරවන්නේ?

මම අධ්‍යාපනය හැදෑරුවේ සිංහල මාධ්‍යයෙන්. අපි සහෝදරයෝ එකතු වුනාම සිංහලෙන් තමයි කතා කරන්නේ. මගේ යාළුවෝ බොහොමයක් දෙනා සිංහල. මම ගොඩක් ආසයි පොත් කියවන්න. විශේෂයෙන්ම පරිවර්තන කියවන්න කැමතියි. කියවීම නිසාම සිංහල භාෂාව ප්‍රගුණ කරගන්න හැකි වුණා. මම හරිම කැමතියි සහ ආදරෙයි සිංහල භාෂාවට.

ඒ නිසාද සිංහල කෙනෙක් ඔබේ සහකරුවා බවට පත් කරගන්නේ?

ඔව්. මගේ මහත්තයාගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා මේ වැඩවලදී. ඔහුත් බැංකුවේ සේවය කරලා මේ වන විට විශ්‍රාම සුවයෙන් ඉන්නවා. මුලදී මේ නිර්මාණ වැඩවලට ලොකු කැමැත්තක් දැක්වූයේ නැහැ. නමුත් දැන් ඔහුම යූ ටියුබ් නාළිකාවක් පටන් අරන් මගේ නිර්මාණ කටයුතුවලට ලොකු සහයෝගයක් ලබා දෙනවා. එයම මට ලොකු ආශීර්වාදයක්.

ඔබේ නිර්මාණ එළිදක්වන මුල්ම මෙවලම වෙන්නේ සමාජ මාධ්‍ය. මේ තුළ ඔබට ඔබේ රසිකයන් ට ඍජුවම ඔබට ප්‍රතිචාර දැක්විය හැකියි. කොහොමද මෙය දැනුණේ?

ඒ අය මා අතින් වැරැදි වචනයක් ලියැවී ඇත්නම් පෙන්වලා දෙනවා. මට නිදහසක් ලැබෙන බොහෝ වෙලාවට මම ලියනවා. එහෙම ලියලා ඵල කළාම පැයක් යන්න කලින් ප්‍රතිචාර ලැබෙනවා. රෑට දාලා උදේට බලන විට ලයික් දෙසීයක් පමණ තියෙනවා. ඉතින් එයම මට හොඳ අභිප්‍රේරණයක්. රෑට යම් දුකක් එක්ක නිදා ගත්තත් උදේට ඒ දුක නැති කරගන්න පුළුවන් මෙවැනි දේ දැකීමෙන්. ඒ පිළිබඳ අහිංසක සතුටක් ගෙන එනවා. 

කොහෙන්ද මේ අදහස් එන්නේ?

අදහස් එන්නේ මමත් හිතන්නේ නැති වෙලාවට. සමහර වෙලාවට චිත්‍රපටයක් බැලුවම එහි දර්ශනයක් හෝ යාළුවෙකුගේ කතාවක් හෝ මට දුකක් හිතුණ වෙලාවක හෝ ඒ වගේ හදවතට දැනෙන දේ මම ලියනවා. එයින් දුක තුනී වී යනවා. තව කෙනෙක් කතා කරලා අදහසක් කිව්වත් එය මට ලියන්න පුළුවන්. තවත් කෙනෙක්ගේ අදහසකට වුවත් මට ගීත නිර්මාණය කළ හැකියි.

ඔබ ලියූ දෑ අතර ඔබේ හදවතට දැනුණ ලියවිල්ල මොකද්ද?

පළමු ගීතය නිර්මාණය වන්නේ ඒ පද වැලෙන්. දෑස වසා මා රැගෙන ගියා ඔබ ප්‍රේමය නම් වූ උයන කරා කියන ගීතය. ආදරය කියන්නේ මායාවක් වගේ. මල් උයනක එක්කන් යන විට අපිත් ඇස් පියාගෙන යනවා. ඇතැම් වෙලාවට කාලයක් ගිහින් ඔහු අතැරලා යන්න පුළුවන්. ආපහු එනවා. ආපහු යනවා. අවසානයේදී එපා වීමක් මිස එකතු වීමක් වෙන්නේ නැහෑ.

මේ ආ ගමන් මඟ තුළ ස්තූති කරන්නත් ඇති බොහෝ දෙනෙක්?

ඔව් මගේ අම්මාටත්, තාත්තාටත්, සහෝදර සහෝදරියන්ටත්, මේ හැම කටයුත්තකටම උදවු කරන මගේ ජීවන සහකරුටත්, මගේ ගුරුවරුන්ට සහ මම කියවපු පොත් වලටත් අහපු රසවිඳපු කවි ගී වලටත් ඒවා ලියපු කියපු අයටත්, මගේ කඳුළු සිත්තම් ටඡ නචඨඥ එකේ ඉන්න සියළුම රසික රසිකාවියන්ටත් කව් නචඨඥ එකක් කරන්න කියලා මාව උනන්දු කරපු බැංකුවේ දිල්රුක් කන්නන්ගර සොයුරාටත්, ර්‍ථචඨඥ එක හදලා දුන්නු කාලිද් පුතාටත්, ර්‍ථචඨඥ එකේ පලකරපු නිසදැසක් ගීතයක් ලෙස එලිදක්වපු ශ්‍රීලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ශ්‍රීමාල් ජයතිලක මහතාටත්, මගේ මුල්ම ගීතයට සංගීත නිර්මාණය කරපු නවරත්න ගමගේ මහතාටත්, නිර්මාණයට දිරිය වූ සියලු දෙනාටම මා ස්තූති කරනවා.

දෑස වසා මා රැගෙන ගියා ඔබ
ප්‍රේමය නම් වූ උයන කරා
සුවඳ දැනී මල් සුවඳ දැනී මම
අවට බැලූවෙමි දෑස අයා
 
නෙක පාට පිරී මන පුෂ්ප පිපී මල්
උයනක සිරි මා දුටුව නියා
නොකියාම කිසිත් බැඳුනාද සිතට සිත
ප්‍රේමය නම් ප්‍රේමයම නිසා
 
ආලනුරා මනමාල කතා බහ
අඩු වී ටික ටික මඟ හැරියා
යන්න ගිහින් යළි යළි ඇවිදින් ඔබ
ආයෙම ආයෙම හිත හැදුවා
යන්න කියා මට යන්න කියා ඔබ
කීවත් යළි යළි හිත රිදවා
උන්නේ මමත් ඔබ ළඟ දැවටී මගෙ
හද තුළ ශෝකය දුක රඳවා
 
පෑව සෙනේ අමතක කරදා මගෙ
ප්‍රේමයටම ඇයි දුන්නේ නිගා
දෑස වසා මා යළි හැරිලා
ආපසු නොබලම ආවේ එදා
මතක ඇවිත් ඔබ ගැන අහනා
හැම වරෙකම මගෙ හිත ඉකිබිඳීනා
ප්‍රේම කතා යළි ඕනෙම නෑ මට
කියු ලෙස සතුටින් ඉනු සොඳීනා

තිළිණි රාජපතිරණ 
නිශ්ශංක විජේරත්න