හොඳම අධ්‍යක්ෂවරියට චීන කැපිල්ලක්

අප්‍රේල් 29, 2021

'සිත ගිය තැන මාළිගාව' යැයි සිංහල කිමනක් තිබේ. කොහේ කොතැන ඇවිද ගියත් අවසානයේ ඔබටත් මටත් සැනසුමක් ලැබෙන තැනක්, හදවතේ රැඳුණු මතකයන් පිරුණු සෙවණක් ඇත. 'ඇමෙරිකානු සිහිනයේ' ගිලී මහා ආර්ථික අවපාතයට හසුව ගේ දොර පවා අහිමිව ගිය 'නූතන එඬේරුන්' සේ සලකන මහමඟ වෙසෙන්නන්ට පවා එවැනි මතක පිරුණු කැදැල්ලක උණුසුම් උරුමයක් තිබිය නොහැකිද? මෙවර පැවැති 93 වැනි ඇකඩමි සම්මාන උලෙළේ හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය සහ හොඳම නිළිය සම්මාන ලැබූ 'නෝමැඩ්ලන්ඩ්' සිනමා කෘතිය පවසන්නේ මේ 'නූතන එඬෙරුන් අතරින් එකියකගේ' කතාවයි. නෝමෑඩ්ලන්ඩ් චිත්‍රපටය ඒ සම්මාන ලබා ගන්නේ නිර්දේශිත කෘති හයක් අතර තරගයකිනි. එමෙන්ම හොඳම සංස්කරණය, හොඳම කැමරාකරණය සහ හොඳම අනුවර්තිත තිර රචනය වෙනුවෙන් නිර්දේශ ලබන්නටද මේ චිත්‍රපටය සමත් වෙයි. නෝමෑඩ්ලන්ඩ් චිත්‍රපටයේ අධ්‍යක්ෂවරිය වන ෂ්ලූ ෂූ මෙතෙක් හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් ඔස්කා (ඇකඩමි) සම්මාන දිනූ දෙවැනි කාන්තාව වන අතර සුදු සමක් අහිමි හෙවත් නැගෙනහිර ආසියානු කලාපයේ ප්‍රථම කාන්තාව යන වාර්තාද්වයම තබමින් මේ සම්මානයට හිමිකම් කියන්නීය. මෙහි හොඳම නිළිය ලෙස සම්මාන ලද ෆ්‍රැන්සෙස් මැක්ඩෝමන්ඩ් හිමිකම් කියන දෙවැනි ඔස්කා සම්මානය නෝමෑඩ්ලන්ඩ්හි ප්‍රධාන චරිත නිරූපණය වෙනුවෙනි.

ෂ්ලූ ෂූ හට මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය සඳහා අවස්ථාව ලැබෙන්නේ අහම්බයකින් නොවේ. නෝමෑඩ්ලන්ඩ් : සර්වයිවිං ඇමෙරිකා ඉන් ද ට්වෙන්ටි ෆර්ස්ට් සෙන්චරි යනු මාධ්‍යවේදිනියක වන ජෙසිකා බ්‍රෑදර් 2017 වසරේ මහත් පරිශ්‍රමයක් දරා පර්යේෂණාත්මක සංචාර ගණනාවකින් පසු ලියූ ප්‍රබන්ධයක් නොවන කතාවකි. ජෙසිකා බ්‍රෑදර් උප සංස්කෘතීන් පිළිබඳ ගවේශනාත්මක වාර්තාකරණයේ යෙදෙන මාධ්‍යවේදිනියකි. ඇය නෝමෑඩ්ලන්ඩ් කෘතිය වෙනුවෙන් මාස ගණන් මහ මඟ වෙසෙන්නන් සමඟ කෑම්ප් වෑන්රථවල වෙසෙමින් බොහෝ තොරතුරු එක්රැස් කළාය. ආර්ථික අවපාතයත් සමඟ තම සම්ප්‍රදායික නිවෙස්වලින් පිටව මහමඟ වෙසෙන පිරිස් සමඟ සැතපුම් 15000ක පමණ දුර ගෙවමින් මෙක්සිකෝවේ සිට කැනඩා සීමාව දක්වා ගමන් කළාය. වසර තුනක පමණ වෙහෙසකාරී ගවේශනයකට පසු ඇය කෘතිය එළි දැක්වූවාය. නිව්යෝක් ටයිම්ස් නෝට් බුක් නම් වූ එයට එම වසරේ ඩිස්කවරි සම්මානය හිමි වූ අතර ජේ. ඇන්තනි ලූකස් තිලිණයේ සහ හෙලන් බර්න්ස්ටයින් සම්මානයේ අවසන් වටයට තේරී පත් විය. ජෙසිකා ඉංග්‍රීසි භාෂාව පිළිබඳ උපාධිධාරිණියක් වන අතර ආඛ්‍යාන රචනය පිළිබඳ දේශකවරියක් ලෙස කටයුතු කරන්නීය. ඇය නිව්යෝක් ටයිම්ස් ඇතුළු පුවත්පත්, සඟරා රැසකට ලිපි සපයන මාධ්‍යවේදිනියක්ද වන අතර ඇය වෙසෙන්නේ මැක්ස් නම් සුනඛ සුරතලකු විසින් ආරක්ෂාව සලසන තුරුලිය බහුල නිවහනකය.

ජෙසිකාගේ මේ සම්මාන ලාභී කෘතිය සිනමාවට නැඟීම සඳහා ෆ්‍රැන්සෙස් මැක්ඩෝමෑන්ඩ් සහ පීටර් ස්පියර්ස් 2017වසරේදීම අවසර ගෙන තිබුණි. ෂ්ලූ ෂූ ගේ 'ද රයිඩර්' චිත්‍රපටය ඒ වසරේම ටොරොන්ටෝ අන්තර්ජාතික සිනමා උලෙළේදී නැරඹීමෙන් පසු ෆ්‍රැන්සෙස්, ෂ්ලූ සමඟ මෙය චිත්‍රපටයට නැඟීමට තීරණය කළාය. ඔවුන් මුණ ගැසුණේ 2018 පැවැති 33 වැනි ඉන්ඩිපෙන්ඩන්ට් ස්පිරිට් උලෙළේදියි. ෆ්‍රැන්සෙස් එහිදී කළ යෝජනාව අනුව ෂ්ලු තිර පිටපත ලියා අධ්‍යක්ෂණයට එකඟ විය.

චිත්‍රපට රූපගත කිරීම් සඳහා මාස හතරක් පමණ ගත වූ අතර නිෂ්පාදන කාලය පුරාම ඔවුන් ජීවත් වූයේ මේ කතාවේ නෝමෑඩ්ස් ලෙස හැඳීන්වෙන පිරිස එනම් මඟ වෙසෙන්නන් නැතහොත් නූතන එඬ්රුන් හෝ රැකියා කරමින් සංචාරයේ යෙදෙන්නන් ආදි ඕනෑම ආකාරයකින් හැඳීන්විය හැකි පිරිස් මෙන්ම වෑන් රථ තුළ වීම ඔවුන්ට ඒ කෘතියේ ජීවය අත්විඳීන්න ලැබීමට හේතු වන්නට ඇත. සැබෑ ජීවිතයේත් සංචාරකයන් වන ලින්ඩා මේ, ස්වැන්කී, සහ බොබ් වෙලස් මෙන්ම තවත් බොහෝ සංචාරක වැසියෝ මෙහි රංගනයේ යෙදීම විශේෂත්වයකි.

නෝමෑඩ්ලන්ඩ් දිගහැරෙන්නේ 2011 වසරේ එක්සත් ජනපදයේ නවාඩාහි එම්පයර් ප්‍රදේශයේ ජිප්සම් කර්මාන්ත ශාලාව වැසුණු පසු ෆර්න් ඇතුළු සේවකයන් රැසකට රැකියා අහිමි වීමත් සමඟය. ඇය එහි වසර ගණනාවක් සේවය කළේ සිය සැමියා සමඟ වුවත් ඔහු ද මෑතක මිය ගියේ ඇය මේ ලොව තනිකරලමිනි. තමන් සතු සියල්ල විකුණා වෑන් රථයක් මිලට ගන්නා ෆර්න් මහමඟ ජීවත් වන්නට තීරණය කරන්නේ රථය නිවහන කරගත් බොහෝ දෙනා සේය. රැකියා සොයමින් මඟ දිග යන ගමනේ ඇය මුහුණ දෙන දහසකුත් එකක් අත්දැකීම් සමඟ ටික කලකට පසුව ෆර්න් යළිත් පැමිණෙන්නේ එම්පයර් නගරයටය. ඒ ඇය සතු අනෙක් දෑ ද ඉවත ලන්නටය. ඒ අතර ඇය විනාශ මුඛයට ගිය තමන් සේවය කළ කර්මාන්ත ශාලාව නරඹයි. පසුව ඇය යන්නේ සැමියා සමඟ ජීවත් වූ නිවෙසේ මතකයන් සොයාගෙනය. ඒ යළිත් 'නූතන එඬේර ගමන' වෙනුවෙන් මහමඟට බැසීමට පෙර සූදානමක් ලෙසිනි.

2020 සැප්තැම්බර් 11 වැනිදා වැනි ඉතිහාසගත දිනයක වැනිස් සිනමා උලෙළේදී පළමුවරට තිරගත කළ නෝමෑඩ්ලන්ඩ් ගෝල්ඩන් ලයන් (ස්වර්ණ සිංහ) සම්මානයෙන් පිදුම් ලැබීය. එසේම ටොරොන්ටෝ අන්තර්ජාතික සිනමා උලෙළේ පීපල්ස් චොයිස් සම්මානයටද හිමිකම් කීය. සතියක සීමිත ප්‍රදර්ශනයක් සහිතව 2020 දෙසැම්බර් 04 ඇමෙරිකාවේ තෝරාගත් අයිමැක්ස් සිනමා ශාලා කීපයක තිරගත වූ එය 2021 පෙබරවාර 19 සිට 'හුලු' ඔස්සේ ඩිජිටල් තාක්ෂණය මඟින් නැරඹීමට අවස්ථාව සැලසුණි. 

මෙටාක්‍රිටික්හි තෙවැනුවට ඉහළම 'රේටිංස්' සහිත චිත්‍රපටය වූ නෝමෑඩ්ලන්ඩ් වැඩිම වාර ගණනක් විචාරකයන් සහ ප්‍රකාශන මඟින් වසරේ හොඳම චිත්‍රපට අතරින් එකක් බවට පළ කළ චිත්‍රපටය බවටද පත්විය. එසේම එය 78 වැනි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළේ හොඳම අධ්‍යක්ෂණයට සහ හොඳම චලන චිත්‍ර නාටකයට හිමි සම්මානද, 74 වැනි බ්‍රිතාන්‍ය ඇකඩමි චිත්‍රපට උලෙළේ හොඳම චිත්‍රපටය ඇතුළු සම්මාන හතරක් සහ 36 වැනි ඉන්ඩිපෙන්ඩන්ට් ස්පිරිට් සම්මාන උලෙළේ හොඳම චිත්‍රපටය ඇතුළු සම්මාන හතරකට හිමිකම් කීය. නෝමෑඩ්ලන්ඩ් වැනිස් සහ ටොරන්ටෝ සම්මාන උළෙලවලවලදී එකවර ඉහළම ඇගයීමට පත් පළමු චිත්‍රපටය ලෙසද වාර්තාවක් තබයි. ලෝකයම වසා පැවැති කොරෝනා උවදුර නිසා මෙහි ප්‍රදර්ශනය කල් ගිය අතර ලෝක ප්‍රදර්ශනයට පෙර ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ ප්‍රදර්ශනය 2020දෙසැම්බර් අග සිදු කෙරිණ. වෝල්ට් ඩිස්නි ස්ටූඩියෝස් හෝම් එන්ටර්ටේන්මන්ඩ් මඟින් මෙහි ඩීවීඩී සහ බ්ලූරේ මෙන්ම ඩිජිටල් පිටපත් නිකුත් කෙරිණි. මෙය කෙතරම් විචාරක ප්‍රශංසාවට ලක් වීද යත් මිනිත්තු 108ක ධාවන කාලයකින් යුතු ඉංග්‍රීසි භාෂිත මේ චිත්‍රපටය වෙනුවෙන් රොට්න් ටුමැටෝස් හි 380 විචාරක සටහන්වලින් 94% ලියැවී තිබුණේ කෘතිය අගයමිනි. 'පිටස්තරයාගේ පැවැත්ම පිළිබඳ කියැවෙන් අපූරු කතාවක්', 'එක් වරකට වඩා සැරිසැරීමට කැමැති අලුත් රටක් හඳුනාගත්තා වැනියි' වැනි සුබවාදී විචාර එහි බහුල විය. නෝමෑඩ්ලන්ඩ් 2020 වසරේ නිපද වූ හොඳම චිත්‍රපට 10න් එකක් ලෙසද නම් කෙරිණි. සර්ච්ලයිට් පික්චර්ස් මෙය ලොව පුරා බෙදාහැරීම සඳහා අයිතිය ලබා ගෙන ඇත්තේ 2019 පෙබරවාරි සිටයි.

නෝමෑඩ්ලන්ඩ් ලද ගෝල්ඩන් ග්ලෝබ් සහ ඔස්කා ජයග්‍රහණ සමාජ මාධ්‍ය ඔස්සේ පැසසුම් ලැබුවද චීනය ඔස්කා ජයග්‍රහණය සහ ෂ්ලූ ෂූ ගේ නම සටහන් කිරීම කපාහැර තිබුණි. ඒත් චීන අන්තර්ජාල භාවිතකරුවන් ඇයට සුබ පතා තිබුණේ 'චීනයේ පමණක් නොව සමස්ත ආසියානුවන්ගේද අභිමානය ඇයයි' යනුවෙනි.

ෂ්ලූ ෂූ චීන ව්‍යාපාරික පවුලක උපන් බටහිර ජනප්‍රිය සංස්කෘතියට ලැදිව හැදී වැඩුණු තරුණියකි. අවුරුදු 15දී ඇය එක්සත් ජනපදයේ බ්‍රින්ටන් කොලේජ් වෙත පැමිණියේ ඉංග්‍රීසි වචනයක් වත් කතා කිරීමට සමත් නොවන්නියක ලෙසිනි. පසුව ලොස් ඇන්ජලිස් නුවර උසස් අධ්‍යාපනයට සුදුසුකම් ලැබුවාය. ඇගේ පියාගේ දෙවැනි විවාහය සිදු වූයේ ෂූ ආකර්ෂණය වී සිටි රූපවාහිනී නිළියක වන සොං ඩන්ඩන් සමඟය. මැසචුසෙට්හිදී දේශපාලන විද්‍යාව උපාධිය සහ නිව්යෝක් විශ්වවිද්‍යාලයේ ටිෂ් ස්කූල් මඟින් සිනමාකරණ පශ්චාද් උපාධිය ලබා ගත් ඇය වෘත්තීය සිනමාවෙදිනියක් ලෙස 2008 සිට කටයුතු කරයි. 1982 මාර්තු මස 31 උපන් ඇය ඔස්කා සම්මානයෙන් පිදුම් ලබන්නේ වයස 39ක් සපිරෙද්දීය. ඇගේ ප්‍රථම චිත්‍රපටය 'සෝන්ග්ස් මයි බ්‍රදර්ස් ටෝට් මී' සන්ඩාන්ස් සිනමා උලෙළේදී ප්‍රථම ප්‍රදර්ශනය සිදු කළ අතර ඉන්ඩිපෙන්ඩන්ස් ස්පිරිට් සම්මාන උලෙළේ අධ්‍යක්ෂවරයකුගේ පළමු හොඳම වෘත්තාන්ත චිත්‍රපටය සඳහා නාමයෝජනා ලැබීය. ඇගේ දෙවැනි චිත්‍රපටය 'ද රයිඩර්' ඒ් උලෙළේම හොඳම අධ්‍යක්ෂණයට නිර්දේශ විය. 2021 වසරේ පෙබරවාරියේ වරයිටි මත සටහන් වන්නේ නූතන යුගයේ එකම පුද්ගලයකු ලද වැඩිම සම්මාන ගණනට හිමිකම් කියමින් ෂ්ලූ ෂූ ඇලෙක්සැන්ඩර් පේනී ද අභිබවමින් සිටින බවයි.

2018 වසරේ ඇමසන් ස්ටූඩියෝස් මඟින් ෂ්ලූ ෂූ තිරරචනා කර අධ්‍යක්ෂණයට නියමිත එක්සත් ජනපදයේ පළමු කළු ජාතික බාස් රීව්ස් නියෝජ්‍ය මාර්ෂල්වරයා පිළිබඳ චරිතාපදානය පිළිබඳ ප්‍රකාශ කළේය. එසේම මාවල් ස්ටූඩියෝස් මඟින්ද එටර්නල්ස් නමින් වන හාස්‍ය කතාපුවත ඇසුරින් චිත්‍රපටයක් අධ්‍යක්ෂණයට ඇය තෝරාගත් බව ප්‍රකාශ කර තිබුණි. මේ සියලු ජයග්‍රහණ ෂ්ලූ අත්විඳීන්නේ කැලිෆෝනියාවේ ඔජායි පෙදෙසේ සිය නිවෙසේ වෙසෙන සුරතල් කුකුළන් තිදෙනකු, සුනඛ පැටවුන් දෙදෙනකු සහ අගේ සහකරු ලෙස සිටින කැමරා ශිල්පී ජොෂුවා ජේම්ස් රිචර්ඩ්ස් සමඟිනි. ඒ ඇගේ ජාතිකත්වයේ අයිතිය පිළිබඳ බොහෝ දෙනා ආන්දෝලනාත්මකව කතාබහ කරන අතරතුරය.