මට වේදිකාවෙන් මිදෙන්න අමාරුයි

සිහින සමාගමේ මාෂි
අප්‍රේල් 29, 2021

 

ස්වර්ණවාහිනී නාළිකාවෙන් සතියේ දිනවල සවස 3.30ට විකාශනය වන “සිහින සමාගම” ටෙලි සිතුවම තිලිණ බොරලැස්සගේ අධ්‍යක්ෂණයකි. එහි එන මාෂි බොහෝ ජනපි‍්‍රය චරිතයක් බවට පත්ව ඇත. ඇය ගැන බොහෝ දෙනෙක් කතාබහ කරයි. ඇය කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාවේදි විශේෂ උපාධිය හදාරමින් සිටින්නිය. ඒ රූමත් යොවුන් රංගන ශිල්පිනි දිව්‍යා ශාරිකා සිගේරා මෙලෙසින් සරසවිය හා කතාබහට එක්වුවාය.

 

දිව්‍යා කියනවටද මාෂි කියනවටද වඩා කැමති ?

ඔයාගේ කැමැත්තක්. මං දෙකටම කැමතියි.

 

ඔබේ ගම කොහෙද ? ඉපදුණේ අනුරාධපුරයේ. හැදුණේ වැඩුණේ දැන් පදිංචිවෙලා ඉන්නේ නුවර.

දැන් නුවර කොහෙද පදිංචිවෙලා ඉන්නේ?

නුවර අම්පිටිය. අම්මගේ ගමේ අම්මාගේ මහගෙවලුත් එහෙ තමා.

 

දිව්‍යාගේ පවුලේ විස්තර මොනවද? අම්මයි, මමයි, නංගිලා දෙන්නයි, ආච්චියි.ආච්චි අපිව පොඩි කාලේ බලා ගත්තා. අපි දැන් ආච්චිව බලා ගන්නවා.

එතකොට ඉගෙනගත් පාසල මතක් කළොත් ? මම ආගමේ නිසා මුලින්ම ගියේ ලක්පහන ඇඩ්වාන්ටේජ් කොලේජ් එකට. එතැනින් තලාතුඔය මධ්‍ය මහා විද්‍යාලයට අවුරුද්දක් විතර ගියා. ඊටත් පස්සේ මහනුවර මහාමායා උසස් බාලිකා විද්‍යාලයෙන් තමා උසස් පෙළ කළේ.

උසස් පෙළට මොනවද ඔයා කරපු විෂයන් ?

කලා විෂයයන් තමයි. නාට්‍ය හා රංග කලාව, සිංහල, මාධ්‍ය අධ්‍යාපනය. උසස් පෙළින් 'ඒ' සාමාර්ථ තුනක් අරන් මහනුවර දිස්ත්‍රීක්කයෙන් විසිහතර වෙනියා වෙලා විශ්වවිද්‍යාලයට තේරුණා.

 

රංගනයට යොමු වුණේ කොහොමද?

2015 මධ්‍යම පළාත් නාට්‍ය හා රංග කලා උලෙළට මමම පිටපත ලියලා නිෂ්පාදනය කරලා මමම ඒකේ රඟපාලා තමා ඒකෙන් මං තේරුණේ හොඳම සහාය නිළිය ලෙස. ඒ සඳහා මට සම්මානයකුත් ලැබුණා. ඊට පස්සේ සිරස ‍ෆිල්ම්ස් ස්ටාර්වලට තරඟ වැදිලා එයින් ජයග්‍රහණය ලැබුවා.

 

ඊට පස්සේ? උසස් අධ්‍යාපනයට තේරිලා මම කැළණිය විශ්වවිද්‍යාලයට එනවා. එතැනින් මට වේදිකා නාට්‍ය රංගනය සඳහා අවස්ථාව ලැබෙනවා.

 

එතකොට වේදිකාවෙන්ද ඔබේ ආරම්භය සිදුවන්නේ?

ඔව්. විශ්වවිද්‍යාලය මඟින් නිෂ්පාදනය කරපු ඇන්ටන් චෙකොප්ගේ වලහා, ප්‍රියංකර රත්නායක සර්ගේ අද වගේ දවසක, ඇන්ටිගනී, රතු වෙස්මුහුණු, විසේකාරියෝ, සංජීව ගුණරත්න සර්ගේ ආදරවන්තයින්ගේ පාර්ලිමේන්තුව, කිල(ර්), ෆස්ට් ලව්. අනුරාධ සුබසිංහ සර්ගේ ඉන්ද්‍රජාලික පෙම්වතිය යන වේදිකා නාට්‍යවල මට රඟපාන්න ලැබුණා. වේදිකාවට තමයි මගේ වැඩිම දායකත්වය ලබාදීලා තියෙන්නේ. එයින් මිදෙන්න මට අමාරුයි. මම කවදාවත් වේදිකාව අතාරින්නේ නැහැ.

 

ටෙලිනාට්‍ය හා සිනමාවට ඔබේ දායකත්වය කොහොමද?

උදාර පල්ලියගුරු මහතාගේ තුත්තිරි ඊට පස්සේ සිල්ලර සමනල්ලු , නාඩි මේ දවස්වල ස්වර්ණවාහිනියේ යන සිහින සමාගම යන ටෙලි නාට්‍යවල මාව දැකගන්න පුළුවන්. සිනමාවේ නම් තවම මට අවස්ථාවක් ලැබිලා නෑ.

 

රංගන ශිල්පිනියක් වීම ගැන අද ඔබ තෘප්තිමත්ද?

අනිවාර්යනේම තෘප්තිමත්. ඊට අදාළ හැමදේකම පසුපස සිට මට ලොකු ශක්තියක් ලබා දුන්නේ මගේ ආදරණීය අම්මා වන නිලන්ති සාගරිකා. ඇය නැතිනම් අද මම මෙතන නෑ.

 

ජීවිතයේ මෙතෙක් ලබපු අමතක නොවන අත්දැකීම් මොනවද?

පාසල් කාලයේ, විශ්වවිද්‍යාලයේ, රංගන දිවියේ හා සැබෑ ජීවිතයේත් ගොඩක් දේවල් මට තියෙනවා ඒවා මේ අවස්ථාවේ මාධ්‍යට කියන්නත් බෑ වගේ.

දැන් ඔබට පෙම්වතෙක් එහෙම ඉන්නවද?

නැහැ... ඒ වැඩේ අම්මට බාර දුන්නා...

 

විශ්ව විද්‍යාලයේ, රංගන කලාවේ ඉදගෙනත් අම්මටම ඒ වැඩේ භාර දුන්නේ තවම ඔයාටම කෙනෙක් හොයා ගන්න බැරි වුණාද? අපේ අම්මත් ඔය කතාවම තමා මට කියන්නේ අයියේ. මට ඕනේ විදිහේ කෙනෙක් තවම හමුවුණේ නෑ.

 

කොයි විදිහේ කෙනෙක්ද ඔයා හොයන්නේ? මට ආදරෙන් හරිම විනෝදයෙන් කාලා, බීලා, විහිළු තහළු කරමින් ජීවත්වන නිරන්තරයෙන්ම මට ‍රැකවරණයක් ශක්තියක් වෙමින් දරු මල්ලොත් හදාගෙන ඉන්න පුළුවන් විදිහේ කෙනෙක්. මට නීති රීති දාලා මාව රාමුවකට කො‍ටු නොකර මට කලා කටයුතුවලත් නිරත වෙලා ඉන්න නිදහසේ අවස්ථාව දෙන කෙනෙක් තමයි මම හොයන්නේ.