මොන වසංගතය ආවත් ආර්ට් එක නැති වෙන්න දෙන්න බැහැ-

උතුරු සුළඟ අධ්‍යක්ෂ චාමර ජනරාජ් පීරිස්-
අප්‍රේල් 29, 2021

 

ලංකාවේ උතුරු පෙදෙසේ පෙර මායිම් ගමක්ව තිබු ලස්සන ගැමි පරිසරයක යුද්ධය ඉතිරි කර ගිය අඳුර පිළිබඳ මතකයන් සමඟ ජීවත් වන ආගන්තුක පරිසරයක යළි ජීවිතය ගොඩනඟා ගැනීමට උත්සාහ දරන ආබාධිත සෙබලෙකි සුනිමල්. ඔහුට ගමේ නායකයා වන රාලහාමි මාමාගේ දුව යශෝධරා ගැන ආදරයක් ඇති වෙනවා. ඒ මේ දිනවල තිරගත වන උතුරු සුළඟ චිත්‍රපටයේ කතාවයි. එය චාමර ජනරාජ් පීරිස්ගේ කතාවක් සහ අධ්‍යක්ෂණයක්. උතුරු සුළඟ වෙනස් කතා තේමාවකට නිර්මාණය කරන ලද පොදු රසිකයා ආමන්ත්‍රණය කරන සිනමා නිර්මාණයක්. ඒ පිළිබඳ වැඩිදුර තතු විමසන්නට චිත්‍රපටයේ අධ්‍යක්ෂ චාමර ජනරාජ් පීරිස්ව අපි මෙලෙස සම්බන්ධ කරගත්තා.

 

 

 

 

මොකක්ද මේ "උතුරු සුළඟ" කියන්නේ?

උතුරු සුළඟ චිත්‍රපටය කියන්නේ ආදර කතාවක්. ඒක සුවිශේෂී ආදර කතාවක් වෙයි කියලා මම හිතනවා. සාමාන්‍යයෙන් තමන් කවුරුහරි වෙලා ඉඳලා ඒක කාලයත් එක්ක නැති වෙලා ගිහින් තමන් කවුද කියලවත් දන්නෙ නැති කාලෙක අනාථයෙක්ට ලැබෙන ආදරයක් ගැන හිතන්නකෝ. ඒක ඒක පාර්ශ්වික ආදරයක්. ඒකෙන් මේ කතා නායකයාගේ ජීවිතය වෙනස් වෙන හැටි තමයි මේ චිත්‍රපටයෙන් දිගහැරෙන්නේ.

 

මේකත් පශ්චාත් යුද සමයට අයිති චිත්‍රපටයක්ද?

නැහැ. "උතුරු සුළඟ" ඒ ගණයට අයිති චිත්‍රපටයක් නෙවෙයි. යුද පසුබිමකින් තමයි කතාව ආරම්භ වෙන්නෙත් නමුත් යුද්ධය අර්ථ දැක්වීමක් වෙන්නේ නැහැ.

 

"උතුරු සුළඟ" වගේ චිත්‍රපටයක් හදන්න පෙළඹුණේ කොහොමද?

මේ කතාව කාලයක් තිස්සේ මගේ හිතේ තිබුණු කතාවක්. අපේ තරුණ කාලේ ලංකාව යුද්ධය දරුණුවටම තිබුණා. මගේ ඉස්කෝලේ යාළුවො ගොඩක් යුනිෆෝම් ඇන්දා. ඊට අමතරව දන්න කියන තරුණයොත් ගොඩක් ත්‍රිවිධ හමුදාවට බැඳුණු. ඒ සමහර අය අද නැහැ. මට හිතුණා අද වෙනකොට ඒ අය හිටියා නම් මොකද වෙන්නේ කියලා. එහෙම හිතිලා හිතේ ඇඳුණු කතාවක් තමයි පිටපතක් විදිහට ලියන්නේ. අවුරුදු දොළහක් තිස්සේ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ හිටපු නිසා මට වැඩක් කරන්න නිෂ්පාදකවරු හොයා ගන්න එක ඒ තරම් අපහසු නැහැ. මේ චිත්‍රපටය නිෂ්පාදකවරු හතර දෙනෙක් එකතු වෙලා හදපු චිත්‍රපටයක් ඒ හතර දෙනාගෙන් එක නිෂ්පාදකවරයෙක් මම.

 

උතුරු සුළඟ චිත්‍රපටයට රංගන ශිල්පීන් දක්වපු සහයෝගය ගැන කතා කරමු?

තරුණ රංගන ශිල්පීන් දෙපළ ගැන කතා කළොත් එරංග ජීවන්ත කියන්නේ චිත්‍රපට ගැන අත්දැකීම් තියෙන කෙනෙක්. ඔහු සිනමාවේ ප්‍රධාන චරිතයක් නොකලාට සිනමාවෙන් ටෙලිනාට්‍යවලට ආපු රංගන ශිල්පියෙක්. මේ තමයි ඔහුගේ ප්‍රධාන චරිතය නිරූපණය කරන සිනමා නිර්මාණය. රංගන ශිල්පිනිය කාවින්ද්‍යා දුල්ෂානි නවක රංගන ශිල්පිනියක්. මේ චරිතයට ගෑණු ළමයෙක් හොයද්දි මට තේරුණා මේ ළමයා මේ චරිතයට ගැලපෙනවා කියලා. එයාගේ විශේෂත්වය තමයි කියන දේ හොඳට ඇහුම්කන් දීලා එයාගේ උපරිම රංගනය ඉදිරිපත් කළා. ශ්‍රියන්ත මෙන්ඩිස් ගැන ඉතින් මම අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. එයා කොහොමත් හොඳ නළුවෙක්. මේ චිත්‍රපටයෙන් ශ්‍රියන්ත මෙන්ඩිස්ව පේන්නේ නැහැ, රාලහාමි මාම පේන්නේ. දිල්හානි අශෝකමාලා, රෝහණ බැද්දගේ, සනත් ගුණතිලක, මීනා කුමාරි, කසුනි කාවින්ද්‍යා යන රංගන ශිල්පීන් මට උපරිම සහයෝගය ලබාදුන්නා.

 

ඔබේ කාර්ය මණ්ඩලය ගැනත් මතක් කරමු?

මම හිතනවා ලංකාවේ නළු නිළියන්ට වඩා කාර්යමණ්ඩලය හරිම ප්‍රොෆෙෂනල්. මම ටෙලිනාට්‍ය දහයක් කරලා තියෙනවා. මම දෙසීයකට අධික කාර්ය මණ්ඩල එක්ක වැඩ කරලා තියෙනවා. ඒ හැමදෙනාම ගත්තොත් එහෙම පොදුවේ අද ඉන්න නළු නිළියන්ට වඩා ගොඩක් ප්‍රොෆෙෂනල්. ඒ අය තමන්ගේ කාර්ය හරියටම කරනවා. එයාලගේ අතින් අතපසු වීම් වෙනවා අඩුයි. නළු නිළියෝ එහෙම නැහැ. ඒ අය මොකක් හරි චරිතයක් රඟපාලා මිනිසුන් අතරට ආවම නළුවෙක් හෝ නිළියක් වෙනවා. නළු නිළියෝ කියලා අමුතු එකක් එයාලගේ ඔලුවට එනවා එතකොට එයාලත් එක්ක වැඩ කරන්න බැහැ. නමුත් කාර්ය මණ්ඩලය තමන්ගේ වෘත්තීයට කැපවෙලා වැඩ කරනවා. හරිම කාර්යක්ෂමයි. ලංකාවේ හොඳ ප්‍රොෆෙෂනල් ෆිල්ම් යුනිට් තියනවා. අලුත් අධ්‍යක්ෂවරුන්ට කිසිම බයක් වෙන්න දෙයක් නැහැ කියන දේ ඒ විදිහටම කරන්න අය ඉන්නවා.

 

කොහොමද උතුරු සුළඟ චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර?

ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. කොහොමත් මංගල දර්ශනය ඉවර වුණාම මිනිස්සු නරක කියන්නේ නැහැ හැමෝම කියන්නේ "ෂා... මරු වැඩේ" කියලා. නමුත් ඒ ප්‍රතිචාරය ව්‍යාජයිනේ. නමුත් ලංකාවේ ප්‍රවීණ අධ්‍යක්ෂවරුන් තුන්දෙනෙක් මට පෞද්ගලිකව කතා කරලා අගය කළා. බූඩි කීර්තිසේන, ජයන්ත චන්ද්‍රසිරි, සංජීව පුෂ්පකුමාර මේ තුන්දෙනා මාව වෙනම අඬගහලා හොඳ ප්‍රතිචාර දුන්නා. චිත්‍රපටයේ දර්ශනයෙන් දර්ශනය වෙන වෙනම අරගෙන ඒවා ගැන හොඳ වර්ණනාවක් දුන්නා. ඒ ගැන මම ඇත්තටම සතුටු වෙනවා. මම අලුත් කෙනෙක්. මේ තුන්දෙනාම සිනමාවේ ප්‍රවීණයෝ. ඒ අයගේ අගය කිරීම මට ලොකු දෙයක්. ඒ නිසා මම හිතනවා මේ චිත්‍රපටයෙන් මොකක් හරි හොඳ දෙයක් වෙලා ඇති කියලා. චිත්‍රපටය දැන් කරලා ඉවරයි. ඒක ගැන දිගින් දිගටම පෙනී ඉන්න මට බැහැ. ඕනෑම හොඳ හෝ නරක ප්‍රතිචාරයක් මම භාර ගන්නවා. නමුත් සල්ලි අරගෙන චිත්‍රපට විවේචනය කරන අයට නම් මගේ චිත්‍රපටය විවේචනය කරන්න දෙන්නේ නැහැ.

හොඳ නිර්මාණයක් වැරදි කාලයක එළියට දැම්මා කියලා හිතෙන්නේ නැද්ද?

අපි ඔක්කොම ඉපදිලා තියෙන්නෙත් වැරදි කාලයකනේ. මම නම් අවුරුදු හතළිස් හතක් හොඳට ජීවත් වුණා. අපේ වැඩිහිටියෝ ඊටත් වඩා හොඳට හිටියා. දැන් කොරෝනා කියලා එකක් ඇවිල්ලා තියනවා. වැරදි කාලෙ හිටියා කියල අපිට මැරෙන්න බැහැනේ. වැරදි කාලයේ පික්චර් එකක් හදලා ඒක හොඳ කාලයක් යනකන් තියාගෙන ඉන්න බැහැ. වැරදි කාලෙ හරි මොකක් හරි අවස්ථාවක් හම්බුන ගමන් තිරගත කරන්න ඒවා බැලුවේ. වසංගත ඇවිත් චිත්‍රපට කර්මාන්තය ඇතුළු සියලු කලා මාධ්‍යයන් නතර වෙනවා කියලා හිතමුකො. එතකොට ඒ නතර වෙන්නේ ආර්ට් එක. ආර්ට් එක තියෙන එකම කතා මනුස්සයා. ලෝකේ වෙන කිසිම සතෙක්ට ආර්ට් එක නැහැ. යම් විදිහකින් මේ ආර්ට් එකට අයිති දේවල් අඩු වුණොත් වෙන්නේ අපියි සත්තුයි අතර වෙනසක් නැති වෙන එක. එතකොට අපි තිරිසන්නු වෙනවා. ආර්ට් එක වාරණය වෙන්න වෙන්න අපි සත්තු වෙනවා. කලාව විතරක් නෙමෙයි අපි ජීවත් වෙන්න දරන නිර්මාණශීලි ප්‍රයත්නයත් මේක අයිතියි. අපි කතා කරනවා හැත්තෑවේ අසූවේ සිනමාව ගැන, "අම්මෝ මාරයි කියනවා". ඒ කතා කරන්නේ ආර්ට් එක ගැනනේ. දැන් ඒ ආර්ට් එක අඩු වෙලානේ. මනුස්සකම් අඩුවෙලා. වසංගත ආවා කියලා ආර්ට් එක අඩු කළොත් මිනිස්සු සත්තු වෙනවා. මොන වසංගතය ආවත් ආර්ට් එක නැති වෙන්න දෙන්න බැහැ.

 

මේවා වසංගත තත්ත්ව එක්ක ලංකාවේ වගේ රටක ඔය කියන ආර්ට් එක කොයිතරම් දුරට පවත්වාගෙන යන්න පුළුවන්ද?

අපේ රටේ ජාතික ප්‍රතිපත්ති කියන ඒවා නැහැ. ලංකාවේ හැත්තෑව අසූව දශකවල තිබුණේ සංවෘත්ත ආර්ථික පද්ධතියක්. ඒ කාලේනේ ලංකාවේ සිනමාවේ ස්වර්ණමය යුගය. ජේ.ආර් මහත්තයා අපේ ආර්ථික ක්‍රමය උඩු යටිකුරු කළා. 1977න් පස්සේ අපේ පොළොව සම්පූර්ණයෙන් වෙනස් වුණා. ආර්ථික පදනම සමාජ පදනම සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. සිනමාව ගත්තොත් අසූ දශකයෙන් පස්සේ සිනමාව ගැන කතා කරන්නේ නැහැ කවුරුත්. හොඳ නිර්මාණ එකක් දෙකක් හැදුණා. නමුත් ඒවා විකෘති තත්ත්වයක තිබුණේ. ඒ විකෘති වුණු නිර්මාණකරුවන්ගෙත් මොකක්දෝ අලුත් එකක් හැදීගෙන එනවා. දියුණු රටවල මේ පදනම කඩාගෙන වැටෙන්නේ නැහැ. දැන් හැමදේම දේශපාලනික වෙලා. ඉතින් එහෙම වකවානුවක තමයි කලාව පවත්වාගෙන යන්න වෙන්නේ.

 

ඔබ වසර දොළහක් ක්ෂේත්‍රයේ අත්දැකීම් තියෙන ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙක්. මේ ඔබේ කුලුඳුල් චිත්‍රපටය. චිත්‍රපට සහ ටෙලිනාට්‍ය යන මාධ්‍යන් දෙකෙන් එකක් තෝරගන්න කිව්වොත්?

පයිලට් කෙනෙක්ට ඕනේම ප්ලේන් එකක් එකයි. ඕනේ ප්ලේන් එකක් යන්නේ අහසෙ වැටුණොත් වැටෙන්නේ පොළොවට. මට එකම තෝරාගැනීමක් කරන්න බැහැ. මට පෝය නාට්‍යයක් දුන්නත් මම ඒක හදනවා. මට අදාළ වෙන්නේ නිර්මාණය මිසක් මාධ්‍යය නෙමෙයි.

චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් ලෙස මේ වෙනකොට මුහුණපාන අභියෝග මොනවාද?

එහෙම අභියෝග නැහැ. චිත්‍රපටයක් හදන්න කිසිම අභියෝගයක් නැහැ. නමුත් චිත්‍රපටයක් තිරගත කරන්න නම් අනාගතයේදී බැරි වෙලාම යයි කියලා මම හිතනවා. පළමු කොඩිව් රැල්ල එද්දී සිනමාශාලා 185ක් තිබුණා. ඒක 135ට අඩු වුණා. ඉතුරු ඒවා විවෘත කරගන්න බැරි වුණා. නඩත්තු සඳහා සිනමාශාලා හිමියන්ට මුදල් නැති වුණා. දැන් සිනමාශාලා හැත්තෑවක්වත් ලංකාවෙ නැහැ. තව කොවිඩ් රැල්ලක් ඇවිල්ලා සිනමාශාලා වැහුවොත් සිනමාශාලා 35කට විතර අඩුවෙයි. ලංකාවේ දැවැන්ත තියා නිකං සිනමාවක්වත් නැති වෙයි. අපි ඊළඟ පරම්පරාවට චිත්‍රපටයක් බලනවා කියලා හෝල් එකට ගිහින් ලබන පුළුල් තිරයේ අද්දැකීම නැතිවෙලා යයි.

 

දැන් අලුත් පරම්පරාව එක්ක අත්වැල් බැඳගෙන පෙර පරම්පරාවත් යූටියුබ් වගේ නව මාධ්‍යන් තුළ කලා නිර්මාණ අත්හදා බලනවා. ඒ ප්‍රවණතාව ගැන ඔබේ අදහස?

ඕනෑම දෙයක් කඩාගෙන වැටෙනකොට ඒකට විකල්පයක් එනවා. එහෙම ආපු විකල්පයක් තමයි යූටියුබ්, නෙට්ෆ්ලික්ස් කියන්නේ. මේ සංකල්ප දෙදාහ වසරේ මුල සිට ඉගැන්නුවා. ඉස්සර ප්‍රේමදාස මහත්තයා කතා කරනවා නම් හැම චැනල් එකකම යන්නේ ඒක. ඒ නිසා හැමෝම ප්‍රේමදාස මහත්තයාගේ කතාව අහන්න ඕන. අපිට වෙන විකල්පයක් තිබුණේ නැහැ. ඊටපස්සේ රූපවාහිනිය ඇවිල්ලා අපිට කැමති දෙයක් චැනල් මාරු කරලා බලන්න පුළුවන් වුණා. දැන් යූටියුබ් නිසා අපිට ඕනේම වෙලාවක ඕනේම දෙයක් බලන්න පුළුවන්. මේක විදේශ රටවල මීට කලින් තිබුණා. ඒත් ඒ රටවල සිනමාව කවදාවත් වැටුණේ නැහැ. ලංකාව නව මාධ්‍යට අනුගත වුණා කියලා කවදාවත් සිනමාව වැටෙන්න බැහැ. ලංකාවේ පත්තර වැටුන කියල ඇමරිකාවේ නිව්යෝක් ටයිම්ස් වැටුණේ නැහැ. රූපවාහිනිය ආවා කියලා ගුවන්විදුලිය වැටුණෙත් නැහැ. නව මාධ්‍යට අනුගත වෙන එක හොඳයි. මමත් යූටියුබ් සීරීස් එකක් හැදුවා. ඒකේ නම "කැන්ඩි ළමිස්සි" ඒත් චිත්‍රපට අපට අමතක කරන්න බැහැ.

 

ඉදිරි වැඩකටයුතු මොනවාද?

මම "බ්ලූ" කියලා ටෙලිනාට්‍යයක් හදන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. බ්ලූ කියන්නේ අපැහැදිලි වෙලාවට අපැහැදිලි දේවල් එකතු කරන්න භාවිතා කරන පාටනේ. ඒ වගේ අපැහැදිලි සංකල්පයක් ගැන හැදුණු ටෙලිනාට්‍යයක් ඒක. චිත්‍රපට දෙකකට පිටපත් දෙකක් ලියල ඉවරයි. ඒවාත් නිර්මාණ ලෙස කරන්න බලාපොරොත්තු වෙනවා. සිනමාව ගැන මගේ තියෙන අවසන් බලාපොරොත්තුව හොලිවුඩ්වලට යන එක. මගේ ඉලක්කය හොලිවුඩ්වලට ෆිල්ම් එකක් කරන එක. බලමු ඒක පුළුවන් වෙයිද කියලා.