වර්ෂ 2023 ක්වූ September 22 වැනිදා Friday
සරා සොඳුරු මල් පැටලී “හන්තානේ කතාව”

සුගතපාල සෙනරත් යාපා ගේ ගති ලක්ෂණ ගැන අධ්‍යනය කරන විට, ඔහු ගෙන් පහල වුයේ රැඩිකල් පිළිවෙතක් ය. ඔහු ගේ චිත්‍රපට නිර්මාණයන් දෙස බලන විට ඒ බැව් සනාථ වේ. ඔහු සිය මුල් ම චිත්‍රපටය වූ 'හන්තානේ කථාව' තුළින් බොහෝ දේවල් හදුන්වා දුන් අතර, සිංහල සිනමාවට 'හාදුව' ද ඒ හදුන්වා දීම් අතර විය. එය එකල ඉමහත් ආන්දෝලනයකට තුඩු දුන් අතර, බොහෝ විචාරකයන් එය ට ඉමහත් සේ දොස් කීවේ, සුගතපාල විසින් සිංහල සංස්කෘතිය කාබාසිනියා කරනවා කියා ය. පසු ව ඔහු එයට පිළිතුරු දුන්නේ ඔහු ගේ දෙ වැනි චිත්‍රපටය වූ 'පෙම්බර මධු' හි නිරුවත් හා දැඩි ශෘංගාර ජවනිකා ඉදිරිපත් කිරීමෙනි.
සෙනරත් යාපා ගේ හැම කෘතියක් තුළින් ම ඔහු ගේ රැඩිකල් බව ඉස්මතු විය. 'හන්තානෙ කථාව' ට පසු සෙනරත් යාපා. 'මිනිසා සහ කපුටා' නමින් අපූර්ව කෙටි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළේ ය. එය දිල්ලි චිත්‍රපට උළෙලක දී 'රජත මයුර' සම්මානය දිනා ගති. ඉන් පසු ඔහු 'පෙම්බර මධු' අධ්‍යක් ෂණය කළේ ය. එය අවසන් දෙකක් සහිත චිත්‍රපටයක් විය. එක් දිනක් සතුටින් හා තව දිනක් දුකෙන් නිම කරමින් අමුතු අත්හදා බැලීමක් කරන්නට යාපා උත්සහ ගති. ' ඉන්දුට මල් මිටක්' ඔහු ගේ අවසන් චිත්‍රපටය විය. එය බොහෝ විට නෑකම් කීවේ බටහිර ශෛලයට ය. බටහිර කීව ද, එය 'පෝලන්ත' චිත්‍රපටයක් මෙනි. ඉන්පසු ඔහු රජයේ චිත්‍රපට අංශයේ අධ්‍යක්ෂක වරයෙක් වී එකල වාර්තා චිත්‍රපට නිර්මාණය කරන්නට විය. ඔහු ගේ අතින් වාර්තා චිත්‍රපට 18ක් පමණ නිර්මාණ විය.
ඉහත කී පරිදි 'හන්තානේ කථාව' තුළින් ඔහු හදුන්වා දුන් විශිෂ්ඨතම දෑ නම් එහි රඟ පෑමට තෝරා ගත් විජය කුමාරණතුංග යන් ය. චිත්‍රපටයකට නළු නිළියන් අවශ්‍ය බව සෙනරත් යාපා පළ කළේ 'සරසවිය' පුවත් පතේ ය. එයට තරුණ තරුණියන් රාශියක් පැමිණි පසු හෙතෙම එයින් කීප දෙනකු තෝරා ගති. ඔහු ගේ සිත, නෙත මුලින් ම ඇදී ගියේ එක් කඩවසම් රූපකායක් ඇති තරුණයකු දෙසට ය. මොහුට නම් ලාංකික සිනමාව ම උඩුකුරු යටිකුරු කරන, එතෙක් පැවතී එන 'බම්ප්' තියා කොණ්ඩෙ පීරන, හීන් උඩුරැවුල් තියෙන, ගැහැනු වගේ නළුවන් ව සමතලා කරන ගණයේ , ආකර්ෂණයක් තිබෙන බවක් සෙනරත් යාපාට වැටහිණි. නියම පිරිමි, රස වෑහෙන, තාරුණ්‍යයක් ඇති මොහු ඉපදී ඇත්තේ ම සැලෝලයිඩ් පටි ඒකාලෝක කිරීමට ම යැයි ද, එලෙස ම එක චිත්‍රපටයකින් ම මොහු තරුණියන් ගේ උන්මාදය වන බවක් ද, සෙනරත් යාපාට දැනිණි.
'හන්තාන කථාවේ' තම චින්තනය තුළ මවා ගත් දඟකාර, විසේකාර, යොවුන් සිසුවා 'මොහු' ම බව හේ දැන ගති. ඔහු ගේ හැඩ තල, වචන උච්චාරණය, ආකර්ෂණීය හිනාව, කොණ්ඩ මෝස්තරය , ගමන බිමන, ඒ සියල්ල තුල තිබුණේ රස පෙරෙන සුන්දරත්වයකි. මෙතෙක් ලාංකික සිනමාවට හඳුන්වා නොදුන් ටයිටලයක් වූ 'සිහින කුමරා' පටන් ගන්නේ මොහු ගෙන් යැයි සෙනරත් යාපාට සිතිණි. ඔහු තවත් වරක් සිතුවේ නැත. රූපයට ම ඔබින, තිරයට ම ඔබින නමකින් හෙබි 'විජය කුමාරණතුංග ' ව 'හන්තාන කථාවේ' ප්‍රධාන චරිතය වූ 'බන්දු' ට තෝරා ගති.
සුගතපාල සෙනරත් යාපා සිංහල සිනමාව වෙනුවෙන් කළ එකී මෙහෙවර ම හොඳට ම ඇති ය. අදටත් තව කල්ප ගණනාවකට වත් විජය කුමාරණතුංග වැනි රූප කායක් සොයා ගැන්මට නොහැකි ව, ලාංකික සිනමාව දැන් කෙතරම් අසරණ වී ද?. ලෙස්ටර් ජේම්ස් පීරිස්, ධර්මසේන පතිරාජා සිට ලෙනින් මොරායස්, නීල් රූපසිංහ දක්වාත් කේ.ඒ.ඩබ්ලියූ , යසපාලිත නානායක්කාර සිට සුනිල් ආරියරත්න, ටයිටස් තොටවත්ත දක්වා ලාංකීය සිනමා තලයේ විසිරී ගිය ඔහු ගේ තරු රශ්මිය, මිය ගිය පසු ද, එලෙස ම තිබීමේ ගෞරවය හිමි වන්නේ ද, සුගතපාල සෙනරත් යාපාට ම ය.
'හන්තාන කථාව' ඒකාලෝක කළේ විජය කුමාරණතුංග ගේ විසේකාර තාරුණ්‍යය ය. හැඩකාර රූපකාය ය. ආකාර්ෂණීය හිනාව ය. ආදරණීය බැල්ම ය. කඩවසම් පෞරුෂත්වය ය. මේ සියල්ල ම පසු පස සිටියේ සුගතපාල සෙනරත් ය. විජය කුමාරණතුංග ට පුර්ණ පුනරුත්පත්තියක් ලබා දුන්නේ සෙනරත් යාපා ය. කොටින් ම විජය කුමාරණතුංග ගේ අති මහත් ජනප්‍රියත්වයට මඟ පාදා දුන්නේ සුගතපාල සෙනරත් යාපා ය. 'හන්තාන කථාව' සුවිශේෂිත ම වන්නේ ඒ නිසා ම ය.
අනුර කේඬෑරි චරිතයක් ලෙස ඉස්මතු වී පෙනෙන්නේ, විශ්ව විද්‍යාලය තුළ සිටි අනෙක් විසේකාර යව්වන ,යව්වනියන් අතරේ ය. අනුර යනු බොහොම නිවුණු ගති පැවතුම් ඇති, නවීන තාරුණ්‍යයට යාවත්කාලීන නොවූවෙකි. බන්ධු අනුර ව හදුන්වන්නේ අහිංසක මෝඩයකු ලෙසට ය. විශ්ව විද්‍යාලයය තමා සිතා සිටි තැනක් නොවේ යයි, අනුරට වැටහුණේ එහි ගිය මුල් දිනයේ ම ය. විශ්ව විද්‍යාලයයේ ඉගෙනුමට වඩා තිබුණේ ආදර පලහිලව් ය. කොතැනක බැලුවත් තරුණ සිසු සිසුවියන් ජෝඩු වී ඇත. ගම්වල සිට ආ සිසුවියන් ගේ විලිබිය සිඳෙන්නේ මෙතන දී ය. එය අවබෝධ කර ගත් අනුර, එවැනි හරසුන් ආදර සම්බන්ධතාවලින් මිදී, තමා විශ්ව විද්‍යාලයට ආ පරමාර්ථය වූ ඉගෙනුම ගැන සිත යොමු කරන්නට විය.
සුභද්‍රා විශ්ව විද්‍යාලයේ ම උගන්වන මහචාර්යවරයා ගේ දියණිය යි. ඇයට ආදරය යනු එක්තරා අන්දමක ක්‍රීඩාවකි. ඇය විශ්ව විද්‍යාලයේ රැඳී සිටින්නේ ඉගෙන ගැනීමට නොව ප්‍රේම කිරීමට ය.
බන්ධු සෙල්ලක්කාර යෞවනයේ අපූර්වතර නියෝජනයකි. ඔහු ආදරය ගැන සලකනුයේ සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟයක් මෙනි. ඔහු ධම්මිකා සමඟ ආදරයෙන් වෙලනා අතරේ සුභද්‍රාටත් කෙළ හලයි. සුභද්‍රා, බන්ධු ට කැමති නැති බවක් ඔහු ගේ මුහුණට ම කීව ද, ඇය ඔහුට යටි හිතින් කැමති ය. එය විටෙක උත්සන්න වේ. තවත් කඩවසම් සිසුවකු දුටු විට අර බන්දුට තිබුණු කැමැත්ත යටපත් වී, එකී කඩවසම් සිසුවාට බැල්ම හෙලයි. එහෙත් මේ සියල්ල ම තාවකාලික ය. විශ්ව විද්‍යාල සමයේ කරන ආදරය, විශ්ව විද්‍යාල අධ්‍යපනය අවසන් වනවාත් සමඟ ම අවසන් වන බව, බන්දුලා, සුභද්රාලා, ධම්මිකලා දැන ගෙන සිටිය ද, අනුර සිතුවේ මේවා 'සීරියස් ' දේවල් කියා ය.
සුගතපාල සෙනරත් යාපා , මේ සැහැල්ලු වූ විශ්ව විද්‍යාල ආදරයට, සීරියස් ආදරවන්තයකු ගෙනවිත් දැම්මේ ඒ දෙක දෝලනය වෙන ආකාරය තුළින් හොඳ කථාවක් මැවීමට හැකි වන නිසා විය හැක. විටෙක බන්ධුලා ගේ රෑනට, අනුරව ජෝකර් කෙනකු වූයේ ඒ නිසා වන්නට ඇත. අනුර ගේ චරිතය තුළින් විද්‍යමාන වූ 'හෝම්ලි' බව අනුරව කේඬෑරි මිනිසකු කළේ ය. ඔහු විශ්ව විද්‍යාල නේවාසිකාගාරයේ ඔහු ගේ කාමරයේ බිත්තියේ එල්ලුවේ ද ඔහු ගේ මව ගේ රූපයකි. යාපා, එයින් අදහස් කළේ අර 'හෝම්ලි' බව විය හැකි ය. දෙ මාපියන් ගේ කීම මත ම තම ජීවිතය ගෙන යන අන්දමේ චරිතයකි අනුර. ඔවුන් තරමක් වත් පෝසත්කම් ඇති පවුලක් වූ අතර පවුලේ නම්බුව ද, මහ ඉහළින් සිතනා අය ය. විශ්ව විද්‍යාලයට පැමිණුණු අනුර ගේ අභිලාෂය වූයේ හොඳ ට ඉගෙන ගෙන තම ඉලක්කය කරා යෑමට ය.
බන්ධු එසේ නො වේ. ඔහු ක්‍රියාශීලි, තාරුණ්‍ය වෑහෙන සෙල්ලක්කාර චරිතයකි. විශ්වවිද්‍යාලයය තුළ වූව ද ඔහු ඉගෙනුමට වඩා හිත යොමු කළේ වෙන වෙන දේවලට ය. ඒ, එක් එක් තනතුරු ලබා ගැනීමේ තරඟ වලට ඉදිරිපත් වීමත් විශේෂයෙන් ලස්සන කෙල්ලන්ට ආදරය කිරීමත් ය. සුභද්‍රා ද ඉගෙන ගන්නවාට වඩා කළේ ආදරය කිරීම ය. අනුර ගැන සුභද්‍රාට සිතක් පහළ වූයේ අනුර ගේ තිබෙන අහිංසක පෙනුමට ම යැයි කියා සිතීමට නොහැකි ය. අලුත් අලුත් අය සමඟ ආදරයෙන් සිටීම ඇය ගේ 'ෆැෂන්' එකක් විය. ඇය අනුරෙව තමා ගේ පැත්තට පොළඹවා ගැනීමට මුලින් සෑහෙන උත්සහයක් කළා ය. අනුර කොහොමටත් ඒ ගැන තම අවධානය යොමු නොකළ ද, පසු ව ඇය ගේ මායම්වලට අසු විය. ඔවුන් දෙ දෙනා ම ආදරය කරන බවක් පෙනුණ ද එය කෙතරම් යථාර්ථවාදී වූවා ද කියන එක නම් ගැටලුවක් ය.
“සරා සොඳුරු මල් පැටලි
ලිහී නොයන ජීවිතයයි
නුරා දියර ගඟුල් ඇලී
සියල් සදන ජීවිතයයි”
බන්ධුට අනුර ගැන සුළුවෙන් හෝ ඉරිසියාවක් ඇති වුණේ ,ශිෂ්‍ය සංගමයේ සභාපතිකම තමා හා තරඟ කර වැඩි ඡන්ද ගණනාවකින් අනුර විසින් දිනා ගනු ලැබීම නිසාය. ඊටත් වඩා, තමා බලාපොරොත්තුවෙන් සිටි සුභාද්රා ගේ ආදරය ද අනුරට අයිති වීමත් නිසා ය.
අනුරට කළ දෙයට බන්ධු පශ්චාත්තාප වූයේ කට ගොන්නක් බී ගත් පසුව ය. එයින් සිදුවූ යේ බීමත් ව මෝටර් බයිසිකලය පැද ගොස් බන්ධු අනතුරකට පත් වීම ය. සියලු ප්‍රශ්න අමතක කර සුභද්‍රා හා අනුර, බන්ධු ව බැලීමට රෝහල ට ගිය හ.
චිත්‍රපටයේ 'ක්ලයිමෙක්ස්' එක වූයේ, අනුර, සුභද්‍රා, බන්ධු, විජේ, ඇතුළු සියලු විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් හන්තානේ කන්ද නැගීම ය.
“අනන්ත වූ දෙරණ සරා
දෑස නිවන නිලක් සොයා
අහස් ගව්ව නැග ගන්නේ
නිල්ල දකින්නයි ”
අනුර, සුභද්‍රා හා බන්ධු එකට එ සේ හන්තාන කන්ද යන කල, ගල් පර්වතයක් මුදුනක තිබූ ඕකිඩ් මලක් කඩා දෙන ලෙස සුභද්‍රා ඔවුන් දෙ දෙනාට අභියෝග කළ අතර, සෙල්ලක්කාර ජවයෙන් පිරි බන්ධු එකී අභියෝගය පිළිගෙන ඒ ලිස්සන සුලු පර්වතයේ මුදුනට නැඟ ඕකිඩ් මල කඩා ගනියි. අවසානයේ මලත් සමඟ ම ඔහුව රූට්ටා පහළට වැටුණ ද, සුභද්‍රා නම් ඔහු ගේ සෙල්ලක්කාර ජවයට වශී වූ වගක් පෙනිණි.
එය පිටාරය ගැලුයේ හන්තාන කන්දේ එක් තැනක ඔවුන් ගිමන් හරින විට සුභද්‍රා ට වතුර බීමට අවශ්‍ය වූ විට ය. වතුර සොයා ගන්නට නම් කන්දේ වෙනත් පැත්තකට යා යුතු ව තිබිණි. අනුර ඒ කාර්ය භාර ගත්තේ සුභද්‍රා ට ඇති ආදරය නිසා විය හැකි ය. එ ලෙස අනුර වතුර සොයා ගිය අතර, බන්ධු හා සුභද්‍රා එතන තිබු ගුහාවක් තුළට රිංගා ගත් හ.
අනුර වතුර බූලිය කර තියා එන විට බන්ධු හා සුභද්‍රා ගුහාව තුළ ශෘංගාරයෙන් වෙළී සිටිනු දක්නට ලැබිණි. තමා කවුද, සුභද්‍රා කවුද, බන්ධු කවුද කියා අනුර හරි හැටි හඳුනා ගත්තේ ඒ සිදු වීම දුටු පසු ව ය. අනුර ආපසු හැරී ගොස් කන්දේ කෙළවර ගිනි ගොඩක් ගසා ඒ වටා ගීත ගයමින් නටමින් සිටි සිසුන් පිරිසට එකතු විය. ඉන් පසු ඒ නටන සිසුන් සමඟ ඔහුත් නටන්නට වූයේ, විශ්ව විද්‍යාල ආදරය යනු තාවකාලික බැඳීමක් යයි පසක් කරගත් නිසා වන්නට ඇත. නැතිනම් මේ විසේකාර යව්වනයන් සමඟ තමනුත් යාවත්කාලීන විය යුතුයැයි සිතන්නට ඇත.
කථාන්තරයක් තුළ හිර නො වී, ඒ ඒ කාලවලදී සිදු වන සිදු වීම් හරහා නිර්මාණය වූ 'හන්තානේ කථාව' තුළින් කථාන්තරයකට වඩා බොහෝ දෑ ප්‍රේක්ෂකයන් හට දැනිණි. හැම නරඹන්නෙකුව ම, ශාලාවේ සිට, කෙළින් ම විශ්ව විද්‍යාලයට ගෙන ගොස් එකී ප්‍රේක්ෂකයන්ව විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් බවට පරිවර්තය කිරීම සෙනරත් යාපා ගේ 'හන්තානේ කථාව' චිත්‍රපටයෙන් සිදු වූ තවත් විශ්ව කර්මයකි. එය හැම ප්‍රේක්ෂකයන්ටම මින් පෙර නොවූ නැවුම් ම අත්දැකීමක් විය.
ශෝභනි අමරසිංහ, සුනිලා ජයන්ති, අමරසිරි කලංසූරිය, දයා තෙන්නකෝන්, සමන්ති ලැනරෝල්, දුටු විට දැනුණේ ඒ යුගයේ විශ්වවිද්‍යාල සිසු සිසුවියන් විලස ම ය. රඟ පෑම් එතරම් ම තාත්වික ය. ජේ.බී.ඇල් ගුණසේකර, දෙනවක හාමිනේ, ධර්මදාස කුරුප්පු, එඩ්මන්ඩ් ජයසිංහ, බර්ටි ජයසේකර, සෙසු චරිත සාධාරණීය කළහ.
ටෝනි රණසිංහ, අනුර ලෙසත් ස්වර්ණා මල්ලවආරච්චි සුභද්‍රා ලෙසත් කළ රංගනය පැසසිය යුතු වේ. එහෙත් චිත්‍රපටයේ පූර්ණ ආලෝකය වූයේ බන්ධු ලෙස රඟ පෑ නවක නළු විජය කුමාරණතුංග ම ය.
ප්‍රේමසිරි කේමදාස සංගීතයෙන්, සුමිත්ත අමරසිංහ කැමරාවෙන් හා ටයිටස් තොටවත්ත සංස්කරණයෙන් සුගතපාල සෙනරත් යාපා ගේ 'හන්තාන කථාව' ට විශිෂ්ට වූ සහයක් ලබා දී තිබිණි. ඩබ්ලියු. ඩී. අමරදේව, වික්ටර් රත්නායක, නන්දා මාලනී ගෝකුල, සනත් නන්දසිරි ගීත ගායනයෙන් එකතු වූහ.
'හන්තානේ කතාව' 1969 දෙසැම්බර් 30 වැනිදා සිට තිරයේ දිග හැරිණි.