Home » ‘ලෙනාඩ් වුල්ෆ්’ ගැන අපි දැන සිටියේ ටිකයි ආචාර්ය ඩන්ස්ටන්. ජේ. ප්‍රනාන්දු

‘ලෙනාඩ් වුල්ෆ්’ ගැන අපි දැන සිටියේ ටිකයි ආචාර්ය ඩන්ස්ටන්. ජේ. ප්‍රනාන්දු

by mavan
April 2, 2026 11:12 am 0 comment

ලාංකේය පාඨකයන් ලෙනාඩ් වුල්ෆ් නැමැති ලේඛකයා සහ බ්‍රිතාන්‍ය පරිපාලන නිලධාරියා හඳුනනුයේ ඔහු විසින් රචනා කරන ලද මඪතතචඨඥ ඪද බඩඥ ණභදඨතඥ නමැති නවකතාව නිසාය. එය කලකට ඉහතදී බැද්දේගම නමින් සිංහලෙන් පලවිය. ඒ හරහා ලෙනාඩ් වුල්ෆ් නමැති ලේඛකයා පිළිබඳ කිසියම් සීමා සහිත වූ තොරතුරු ටිකක් ලාංකේය. පාඨකයන් හමුවට පමුණුවන ලදී. එහෙත් මෙරට ජනතාව වෙනුවෙන් තවත් බොහෝ මෙහෙයන් ඉටුකරන ලද බ්‍රිතාන්‍ය පරිපාලන නිලධාරියකු වූ ඔහු පිළිබඳ සවිස්තරාත්මක ලෙස සටහන් වුණු ග්‍රන්ථයක් පසුගිය දිනක එළිදැකීය. මෙම ග්‍රන්ථය රචනා කරන ලද්දේ ආචාර්ය ඩන්ස්ටන් .ජේ. ප්‍රනාන්දු විසිනි. Leonard Sydney Woolf – the unorthodox British administrator in ceylon නමින් යුතු මෙම ග්‍රන්ථය ඔහු විසින් ඉංග්‍රීසියෙන් ලියන ලද්දකි. ලෙනාඩ් වුල්ෆ් ලංකාවේ ගත කළ ජීවිතය පිළිබඳ මෙහි සවිස්තරාත්මක විග්‍රහයක් අන්තර්ගත වන අතර මෙතෙක් අප දැන සිටි village in the jungle කෘතිය රචනා කිරීමෙන් පරිබාහිරව ඔහු මෙරට දුප්පත් ජනතාව වෙනුවෙන් ඉටු කරන ලද මෙහෙයද මෙහි අන්තර්ගත වේ. වුල්ෆ් ගේ ජීවන වෘත්තාන්තය දැනගන්නෙකුට මෙම ග්‍රන්ථය අගනා මූලාශ්‍රයක් වනු ඇත.

මේ නිසාම මෙවර අපේ පිළිසඳර සඳහා අප කැඳවා ගත්තේ මෙම ග්‍රන්ථයේ කර්තෘවරයා වන ආචාර්ය ඩන්ස්ටන් ජේ. ප්‍රනාන්දුය.

ලෙනාඩ් වුල්ෆ් ගැන මේ විදිහේ ග්‍රන්ථයක් ලියන්න ඔබට හිතුනේ ඇයි?

මම හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජකාරී කරන කාලේ මම දැක්ක දෙයක් තමයි මේ ප්‍රදේශයට ලෙනාඩ් වුල්ෆ් සෑහෙන සේවයක් වැඩ කොටසක් කරලා තිබෙනවා කියන එක. එවකට මම සේවය කළේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විදිහට. ලෙනාඩ් වුල්ෆ් කිව්වම ලංකාවේ අපි හැමෝම දන්නවා. හැබැයි ඔහු කළ දේවල් අතරින් අපට මතක් වෙන්නේ බැද්දේගම විතරයි. එතනින් එහාට ඔහු කරපු සේවය ගැන පෙර පරම්පරාව දන්නෙත් නෑ. පසු පරම්පරාව දන්නෙත් නෑ. ඉතින් මට හිතුණා ඔහු කරපු සේවය ගැන පර්යේෂණයක් කරලා පොතක් ලියන්න ඕන කියලා. මට ඒ සඳහා අවුරුදු හයකට වැඩි කාලයක් ගියා.

ඔබේ පර්යේෂණයෙන් ඔබ හඳුනාගත්තු දේවල් මොනවාද?

මේ පර්යේෂණය සඳහා මට ලොකු මූලාශ්‍ර ගොඩකට යන්න සිද්ධ වුණා. මම එංගලන්තයෙන් ලෙනාඩ් වුල්ෆ් ගැන විතරක් නොවෙයි. ඔහුගේ බිරිඳ වර්ජිනියා වුල්ෆ් ගැනත් ලියවුණු බොහෝ පොත්පත් ගෙන්න ගත්තා. ඒ වගේම මම ඔහු ජීවත් වුණු ලංකාවේ බොහෝ ප්‍රදේශවලට ගිහින් ඔහු ගැන තොරතුරු එකතු කර ගත්තා. ගම්වල ඉන්නවා වයසක උදවිය තාමත්. ඔවුන්ට තාමත් වුල්ෆ් ගැන මතකයි. අපි බැද්දේගම ගත්තොත් බැද්දේගම තුන්වෙනි පරම්පරාව තාම ඉන්නවා. සිළිඳුගේ ඇත්ත නම ජුවාන්. ජුවන්ගේ පරම්පරාවේ කාණ්ඩය තාමත් ඉන්නවා. මම ඒ අයව මුණගැහුණා. ඊට පස්සේ මම සිළිඳුගේ ගම්මානේ ගේ තිබුණ තැනටත් ගියා. දැන් ඒ ගම ආරක්ෂා කරගන්න තැනට ඇවිත්. ඒක නිසා වනජීවී දෙපාර්තමේන්තුව අලි වැට ගහලා තියෙන්නේ ගම වටකරලා. කාටත් එතනට ගිහින් ඒ ගම විනාශ කරන්න බෑ. සිළිඳුලා වගා කරපු ඔවුන් නාපු ගල් වැව තාම තියෙනවා. එයාගේ ගේ තිබුණ තැන තල් ගස් දෙක තාම තියෙනවා. ගේ ළඟ තිබුණ ලොකු සියඹලා ගහක්. ඒ සියඹලා ගහත් තාම තියෙනවා. මම ඒ ඔක්කොම බලලා ඡායාරූපත් මේ පොතට ඇතුළත් කරලා තිබෙනවා.

ඊට අමතරව ලෙනාඩ් වුල්ෆ් හම්බන්තොට එන්න කලින් එයා අවුරුදු දෙකක් වැඩ කළා යාපනය ප්‍රදේශයේ. යාපනයේ කච්චේරියේ. ඊට පස්සේ ආයෙත් අවුරුද්දක් වැඩ කළා මහනුවර කච්චේරියේ ඔෆිස් ඇසිස්ටන්ට් විදිහට. ඊට පස්සේ තමයි අවුරුදු තුනෙන් එයාට උසස් වීමක් ලැබෙන්නේ හම්බන්තොටට. සාමාන්‍යයෙන් අවුරුදු තුනෙන් බ්‍රිතාන්‍ය පරිපාලන සේවයේ උසස්වීම් ලැබෙන්නේ නෑ. නමුත් මෙයාගේ දක්ෂතාවය නිසාත් එයා කරන වැරදි ප්‍රමාණය අඩු නිසාත් එයාට ඒක ලැබුණා. එයා හම්බන්තොට ගියාම එයා දැක්කා හම්බන්තොටයි අනෙක් දිස්ත්‍රික්ක අතරයි ලොකු වෙනසක්. හම්බන්තොට ප්‍රදේශය ඒ කාලයේ සම්පූර්ණයෙන්ම අතහැරලා දාලා තිබිලා තියෙන්නේ. වුල්ෆ් ඒක හොයාගෙන ගිහින් අලුතින්ම ක්‍රමවේදයක් හැදුවා හම්බන්තොට දිස්ත්‍රික්කයේ මිනිස්සුන්ට සේවයක් කරන්න. ඒකාලේ මේ ප්‍රදේශයේ ගවයන්ට කුර ලෙඩ හැදිලා විනාශ වෙමින් ගියා. ඒකට එයා බෙහෙත් කරලා පැතිරීම වළක්වලා කුර ලෙඩ හැඳුන ගවයන්ව විනාශ කරලා ඉක්මනින්ම ලෙඩේ පාලනය කළා.

ඊට පස්සේ මේ ප්‍රදේශයේ තිබුණ මැලේරියාව සහ පරංගි කියන මේ ලෙඩ බෝවීම වැළැක්වීම සඳහාත් පාලනය සඳහාත් ඔහු විවිධ ක්‍රියාමාර්ග ගත්තා. මෙයා ඒ සඳහා ගෙයින් ගෙට ගිහින් බෙහෙත් දීමේ වැඩසටහනක් හැදුවා. ගෙයින් ගෙට යනකොට එයා දැක්කා මිනිස්සු අන්ත දුක් විඳීනවා. පෝෂණය කියන එක බිංදුවටම බැහැලා තිබුණේ. එයා ඒකටත් ක්‍රමවේදයක් හැදුවා. මැලේරියා රෝගීන් වැඩි පිරිසක් හිටියේ තිස්සමහාරාම ප්‍රදේශයේ? එයා ඒ නිසා ආණ්ඩුවට බල කළා තිස්සමහාරාමයට රෝහලක් දෙන්න කියලා. දැන් අද තිබෙන දෙබරවැව රෝහල හැදුවේ ලෙනාඩ් වුල්ෆ්. ඊට පස්සේ ඔහු බැලුවා මිනිසුන්ගේ ජීවන මාර්ගය දිහා. ගොවිතැන තමයි ප්‍රධාන ජීවන මාර්ගය. නමුත් හරියට කරගන්න බෑ වතුර ප්‍රශ්නය නිසා. මුළු ප්‍රදේශයටම තිබුණේ එක වැවයි. ඒ නිසා ප්‍රදේශය පුරා කුඩා වැව් පනස් ගාණක් ඔහු හදලා දුන්නා. ඒ එක්කම හේන් වගාව මුහන්දිරම්ලට විදානෙලාට අත යටින් ගෙවලා ලබාගන්න ක්‍රමවේදයක් මතයි එතෙක් තිබුණේ. ඒ නිසා ඔහු ඒක ආණ්ඩුවෙන් ලයිසන් එක අරන් ඕන කෙනෙකුට කරගන්න පුළුවන් විදියට හැදුවා. ඔහුට තේරුණා හම්බන්තොට දිස්ත්‍රික්කයේ තව සම්පත් තිබෙන බව. ඔහු යෝජනා කළා කපු වගා කරන්න. වුල්ෆ් ඒ කාලේ ගෙවතු වගාවටත් හුඟාක් උදව් කළා. කැන්බෑ වගාව හඳුන්වා දුන්නා. පොල් වගා කිරීමත් හඳුන්වා දුන්නා. හම්බන්තොටින් උතුරු පළාතේ තෙබුවන මුල්කිරිගල පැත්තේ රබර් වවන්න පටන් ගත්තා. ඔහු හඳුනා ගත්තා එහි දේශගුණය නුවර පළාතට සමානයි කියලා. පහතරට තේ, එළවළු වගාවත් ආරම්භ කළා. ඔහු මේ ප්‍රදේශයේ ගමෙන් ගමට ඇවිදිනකොට දැක්කා නඩු කටයුතු වෙනුවෙන් ඔවුන් හම්බන්තොට නගරයට එන්න ඕන කියලා. ඒක දින ගාණක් ගතවෙන වැඩක්. මේ නිසා ඔහු උසාවිය ගමට ගෙනිච්චා. ඒක තමයි ඔහු සියඹලා ගහක් යට නඩු ඇහුවේ. ඒකෙන් මිනිස්සුන්ට ලොකු සේවයක් වුණා. ලෙනාඩ් වුල්ෆ් කියන්නේ රජයේ ඒජන්ත විතරක් නෙවෙයි. එයා නඩුකාරයෙක්. පොලිසියේ ලොක්කා, ඒ වගේම වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙත් වැඩ බැලුවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේත් වැඩ බැලුවා. ඔහු කරපු හැම දෙයකින්ම සාමාන්‍ය මිනිස්සුන්ට සහනයක් සලසන වැඩපිළිවෙළක් වුණා. නමුත් ඔහුගේ ක්‍රියා පටිපාටිය නිසා පාඩු සිදුවුන පිරිසකුත් හිටියා. ගම්මුලාදෑනිවරුන්ට, විදානේලාට මේ වැඩ නිසා පාඩු වුණා. ඔවුන් වුල්ෆ්ට විරුද්ධව පෙත්සම් ගැහුවා. මේ පෙත්සම් නිසා වුල්ෆ් සහ දිසාපති අතරත් ප්‍රශ්න ඇතිවුණා. වුල්ෆ් ලියන ඉංග්‍රීසි භාෂාව ඔවුන්ගේ ඉහළ නිලධාරීන්ට ගැළපුණේත් නෑ. මේ ප්‍රශ්න නිසා වුල්ෆ් ඇත්තටම කලකිරීමට පත්වුණා. මේ නිසා අවුරුද්දක නිවාඩු අරගෙන එයා එංගලන්තයට ගියා. තව මාස හතරක් නිවාඩු ඉල්ලලා ඔහු දාපු ලියුමට අනුමැතිය ලැබුණේ නෑ. ඒ නිසා එයා බ්‍රිතාන්‍ය පරිපාලන සේවයෙන් ඉල්ලා අස්වුණා.

ඔබේ පර්යේෂණයට අනුව ඊට පස්සේ ලෙනාඩ් වුල්ෆ් මොකද කරන්නේ?

බ්‍රිතාන්‍ය පරිපාලන සේවයෙන් ඉවත් වුණාම එයාට ආර්ථික ප්‍රශ්න එහෙම ආවා. නමුත් එතැන් සිට එයා එයාගේ සාහිත්‍ය කටයුතු කරගෙන ගියා. මේ සාහිත්‍ය කටයුතු සඳහා ඔහුට විශාල වශයෙන් උදව් කරන්නේ ඔහුගේ බිරිඳ වර්ජිනියා වුල්ෆ්. ඔහු විවාහ වෙන්නේ 1912 දී. 1913 දි තමයි village in the jungle ලියන්නේ. ඒක ලොව පුරා ප්‍රචලිත වුණ කතාවක් වුණා. ඊට පස්සේ එයයි වර්ජිනියායි එකතුවෙලා press එකක් පටන් ගත්තා. ඊට පස්සේ දිගටම ප්‍රින්ටින් වැඩ කරගෙන ගියා.

එතැනදි අලුතින් එන ජර්නලිස්ලාට ඔවුන් තැන දුන්නා. ඔහොම යනකොට තමයි වර්ජිනියාට ආතති තත්ත්වයක් ඇවිත් ඇය සියදිවි නසා ගන්නේ. ලෙනාඩ් ආයෙත් තනිවුණා. පසුව යළිත් පොඩි ප්‍රේම සබඳතාවයක් ඇතිවෙනවා. ඇයත් ඔහුගේ ලියකියවිලි වලට ගොඩක් උදව් කළා. 1960 දී ආපසු සැරයක් ලෙනාඩ් ලංකාවට එනවා. එයා කලින් හිටපු තැන් බලන්න ගියා. 1967 දී විතර ලෙනාඩ් ජීවිතයෙන් සමුගන්නවා. මේ පොතේ ලෙනාඩ්ගේ පුංචි කාලේ සිට අවසානය දක්වා ඔහුගේ ජීවිතයේ බොහෝ දේ ඇතුළත් වෙලා තිබෙනවා.

ලෙනාඩ් ගේ බාල කාලය ගතවුණේ කොහොමද?

ලෙනාඩ්ට අවුරුදු හතක් විතර වෙනකොට ඔහුගේ පියා නැතිවෙනවා. නමුත් අම්මා ඔහුව පාසල් යවලා හොඳට උගන්වනවා. ඔහු පාසලේ දීප්තිමත් ශිෂ්‍යයෙක් ඔහු විශ්වවිද්‍යාලයට ඇතුළු වෙනවා. උපාධිය ලබා ගත්තට පස්සේ ඔහු බ්‍රිතාන්‍ය සිවිල් සේවයට ඇතුළු වෙන විභාගය ලියනවා. නමුත් ඔහුට විශිෂ්ට ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. ඔහුගේ රෑන්ක් එක වෙන්නේ හැට නමය. ඒ නිසා ඔහුට දියුණු රටක් ලැබෙන්නේ නෑ ශශ්‍රී ලංකාව වැනි පොඩි ආසියානු රටක් ලැබෙන්නේ. එහෙම තමයි ලෙනාඩ් ලංකාවට එන්නේ.

එයා ලංකාවට එන්නේ නව යොවුන් තරුණයෙක් විදිහට ලංකාවට ආවට පස්සේ ලෙනාඩ්ට ආදර කතා කිහිපයකුත් තියෙනවා. එයා යාපනයේ ඉන්න කාලේ මහත්තයා මැරුණු කාන්තාවක් දුවලා දෙන්නෙක් සමග හිටියා. එයා සුදු ජාතික කාන්තාවක්. ඇය සමඟ පොඩි සම්බන්ධයක් ඇතිවෙලා තිබෙනවා. ඊට කලින් ඔවුන් බ්‍රිතාන්‍ය පරිපාලන නිලධාරීන් විදිහට හවසට හමුවන ක්ලබ් එකකදී මුණ ගැහුණ ලන්දේසි ගෑනු ළමයෙකු සමඟ සම්බන්ධයක් පවත්වලා තිබෙනවා. මේ සම්බන්ධතා ඔහු දිගින් දිගට ගෙනිහින් නැහැ. ඊට පස්සේ නුවර ඉන්න කාලෙත් ප්‍රේම සබඳතාවයක් තිබිලා තියෙනවා. නුවර හිටියා වැවිලිකරුවෝ. ඔහුට ඔවුන්ගේ දියණිවරු දෙන්න කැමති වෙලා තිබෙනවා. මේ රසවත් ආදර කතාත් මේ පොතේ ලියවිලා තිබෙනවා.

ඔබතුමාගේ ලේඛන දිවිය ආරම්භ වෙන්නේ කොහොමද?

මම මීට ප්‍රථම පොත් දෙකක් ලියලා තිබෙනවා. මගේ ගම මොරටුව කොරලවැල්ල. කොරලවැල්ල කියන්නේ අන්තිම දුප්පත් ගමක් කියලා තමයි බොහෝ දෙනෙක් හඳුන්වන්නේ. මේක වෙනමම සංස්කෘතියක් තියෙන තැනක්. මේ කොරල වැල්ල ගැන ඇත්ත තත්ත්වය මම පොතක් විදිහට ලිව්වා. ඒ ග්‍රන්ථය රචනා කළේත් ඉංග්‍රීසියෙන්. ඊට අමතරව මම කවි පොතකුත් රචනා කරලා තිබෙනවා.

ඉස්සරහට ලියන්නේ මොනවද?

ඒ කාලේ මම ඕස්ට්‍රේලියන් එම්බසි එකේ වැඩ කරන කාලේ උතුරු පළාතේ දිගටම සංචාරය කළා. එල්.ටී.ටී.ඊ එකත් එකත් සමීපව කටයුතු කළා. මේ අවස්ථාවන්වලදී ලබපු අත්දැකීම් එකතු කරලා පොතක් ලියන්න බලාපොරොත්තු වෙනවා.

හේමාලි විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT