– නෙලුම් කුලුන කොපියක් නෙවෙයි
– මේ චිත්‍රපටෙය් සිදුවීම් කැමරාව නිරීක්ෂකයකු වගේ ග්‍රහණය කරගන්නවා
මේ දිනවල අති සාර්ථක ලෙස තිරගත වන ‘නෙලුම් කුලුන’ චිත්‍රපටය ප්‍රේක්ෂකයන් අතර දැඩි කතාබහට ලක්වේ නෙලුම් කුලුන චිත්‍රපටයේ තිර පිටපත ලියා අධ්‍යක්ෂණය කර ඇත්තේ ඉලංගෝ රාම් විසිනි. ඔහු වසර 12ක් පමණ වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රයේ නිර්මාණ අත්දැකීමෙන් සන්නද්ධවයි සිනමා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. ඉලංගෝගේ කුලුඳුල් චිත්‍රපටය පිළිබඳ සරසවිය ඔහු සමඟ මෙසේ කතාබහකට එලැඹුණා.
‘නෙලුම් කුලුන’ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ කොහොමද?
මම ටිකක් පර්යේෂණාත්මක මට්ටමේ තිර පිටපතක් රචනා කරමින් සිටියා 2009දි විතර. අම්මා තමන්ගේ පුතාව හොයාගෙන යනවා වගේ කතාවක් එක්ක. ඒ තිරපිටපත ලියමින් සිටින අතරතුර තමයි ‘නෙලුම් කුලුන’ චිත්‍රපටයේ තිර පිටපත සඳහා අදහස ආවේ. තිර පිටපත ලියන්නේ දේශපාලනික-සාමාජීය වශයෙන් ප්‍රහසනයක් විය යුතුයි කියන දේ ඔළුවේ තියාගෙනමයි. එහෙම ලියපු තිරපිටපත අවසානයේ මගේ බිරිඳට පෙන්නනවා. එයා මේ චිත්‍රපටයේ නිෂ්පාදිකාව. එයා ගොඩක් සතුටු වුණා මේ තිර පිටපත අමුතු තාලේ එකක් කියලා. ඒ විදියට තමයි චිත්‍රපටය නිර්මාණය වෙන්න පසුබිම සැකසෙන්නේ.
චිත්‍රපටය බලපු ප්‍රේක්ෂකාගාරයට තිබෙන කුතුහලය දනවන ප්‍රශ්නයක් තමයි ඇයි මෙවැනි කතාවක් සහිත චිත්‍රපටයකට ‘නෙලුම් කුලුන’ යනුවෙන් නම යෙදුවේ කියලා. ‘නෙලුම් කුලුන’ යනුවෙන් නමි කරන්න මොකක්ද හේතුව?
මේ කතාව දිහා ඉතාමත් සීරුවෙන් බලනකොට පැලස් සිම්බල් එකක් විදියට කුලුන කියන එක පෙනෙන්නට තිබෙනවා. කුලුන කියන්නේ බලය පෙන්වන සංකේතයක්. චිත්‍රපටයේ කතාවත් සමඟ දේශපාලිනිකව සම්බන්ධ කරගන්න පුළුවන් මෙතරම් ප්‍රශ්න තිබියදිත් කුලුන තාමත් කෙළින් නේද? කියලා. ඒක දේශපාලනිකව අර්ථ ගන්වන්න අවශ්‍ය වුණා. ලෝක ශිෂ්ටාචාර දිහා අපි නැවත හැරිලා බැලුවොත් කුලුන කියන්නේ බලය පෙන්වන ප්‍රධාන සාධකයක්. ඒක අදටත් එහෙම්මමයි. කුලුනක් හදන්නේ අපි කවුද? අපි මොන වගේ බලයක් ඇති අයද? කියලා පෙන්වන්න. මට අවශ්‍ය වුණේ කතාවට සමගාමීව කුලුනක් ඇතුළේ එහෙම බලයක් නෑ කියන එක අදහස් කරන්න.
චිත්‍රපටයේ තිර පිටපත ඉතා විශේෂයයි. තිර පිටපත සඳහා වස්තු බීජය නිර්මාණය වුණේ කොහොමද?
මට එකපාරටම ඔළුවට ආවා මෙහෙම කෙනෙක් මේ විදියට මළොත් කොහොම වෙයිද? කියලා. ඒ මැරුණ කෙනා පුරුෂාධිපත්‍යයික සමාජයක පියා කියන දැවැන්ත ශරීරය රූපය විදියට යොදාගෙන වක්‍රාකාරව දේශපාලනික අදහස ස්ථානගත කරන්න. පවුලක ප්‍රධානියා පියා වගේම රටක ප්‍රධානිය පාලකයා.
ඇතැම් අය චෝදනා කරනවා චිත්‍රපටය කොපියක්බව. ඇතැම් අය චෝදනා කරනවා වෙනත් චිත්‍රපටවලින් ආභාසය ලැබූ බව. මේ චෝදනා පිළිබඳ අදහස මොකක්ද?
නෑ. නෙලුම් කුලුන කියන්නේ කොපියක් නෙමෙයි. නෙලුම් කුලුන චිත්‍රපටය දෙමළ, හින්දි භාෂාවන්ට රීමේක් වෙනවා. දෙමළ රීමේක් එක වුණු ‘පෙරිසු’ අධ්‍යක්ෂණය කළේ මමමයි. එය මේ දිනවල තිරගත වෙනවා. ලංකාවේ ප්‍රේක්ෂකාගාරය හැමදාමත් දැක්කේ අපි වෙන චිත්‍රපට රීමේක් කරපු එක. නැත්නම් කොපි කරපු එක. හැබැයි ඒක දැන් උඩුයටිකුරු වුණා. හැබැයි මම කරපු චිත්‍රපටය පිටරටවල රීමේක් වෙනවා. මම හිතන්නේ ලාංකේය සිනමාවේ ජයග්‍රහණයක්. ලංකාවේ සිනමා කර්මාන්තයට විශාල අවස්ථාවක්. නිල වශයෙන් දැනට ඉතාලිය, ඇමරිකාව වැනි රටවල ගණනාවක රීමේක් වෙන්න සුදානම්.
බොහෝ ප්‍රේක්ෂකයන් නුතනයේ නිර්මාණය වන බහුතර සිංහල චිත්‍රපටවලට බැණ වදිනවා. එකම වටිටෝරුවේ සහ ගුණාත්මකබවින් තොර චිත්‍රපට කියලා. නමුත් ප්‍රේක්ෂකාගාරය නෙලුම් කුලුන චිත්‍රපටය සෑහෙන්න වැලඳ ගන්නවා. ඔබේ අදහසට අනුව ලාංකේය සිනමාවේ විය යුතු වෙනස මොකක්ද?
ලංකාවේ ප්‍රේක්ෂකයන් බොහෝමයක් කැමති මලයාලම් චිත්‍රපට නරඹන්න. ඇයි මෙතරම් මලයාලම් චිත්‍රපටවලට කැමති වෙන්නේ කියලා හිතනකොට ඒ සංස්කෘතියත් එක්ක අපි ගොඩක් සමීපයි. ඒ සමාජය සමීපයි. ලංකාවේ ඒ වගේ මිනිස්සු එක්ක සමීප වෙන චිත්‍රපට හැදෙන්නේ නෑ. ප්‍රේක්ෂකාගාරය සම්බන්ධ කරගන්න ඕන. මම හිතන්නේ නෙලුම් කුලුන ඒක අල්ල ගත්තා. චිත්‍රපටයේ පෙන්වන පවුල ලංකාවේ ප්‍රේක්ෂකාගාරයට දැනුණා. ඔවුන් දැක්කා ඇත්තටම මේ පෙන්වන පවුල වගේ එකක් නේද? අපිටත් තියෙන්නේ කියලා.
සිනමාකරුවකු විදියට සහ තිරපිටපත් රචකයකු විදියට ඔබට වැඩිපුරම බලපෑ චිත්‍රපට සහ අධ්‍යක්ෂවරයන් කවුද?
විශේෂයෙන් පාසල් යන කාලයේ ඉඳන්ම බැලුවේ ඉන්දියානු චිත්‍රපට. මහේන්ද්‍රන්, බාලු මහේන්ද්‍රන්, මනිරත්නම්, තර්කොව්ස්කි, කිසලොස්ව්ස්කි, හිච්කොචි, ඔලිවර් ස්ටෝන් වැනි සිනමාකරුවන්ගේ චිත්‍රපටවලට ප්‍රියතාවයක් දක්වනවා. තර්කොවිස්කිගේ ‘මිරර්’, කිසලොව්ස්කිගේ ‘ත්‍රී කලර්ස්’, මහේන්ද්‍රන්ගේ ‘උද්‍රි පුකල්’, ලාර්ස් වොන් ට්‍රයර්ගේ ‘ඩාන්සර් ඉන් ද ඩාර්ක්’ වගේ ච්ත්‍රපටවලට මම ගොඩක් කැමතියි. ස්පැනිෂ් ඩිරෙක්ටර් කෙනෙක් ඉන්නවා ‘වික්ටර් එරිකා’ කියලා. එයාගේ ‘ද ස්ප්‍රිට් ඔෆ් ද බීහයිව්’ චිත්‍රපටය මම ආස කරන චිත්‍රපටයක්.
මගේ අදහසට අනුව මේ චිත්‍රපටය කරලා තියෙන්නේ ඉලංගෝ විසින් සියුම්ව කරපු සමාජ අධ්‍යයනයක් සමඟ සහ සමාජය දිහා කරපු සියුම් නිරික්ෂණ සමඟ. මේ ගැන අදහස මොකක්ද?
ඉතාම හොඳ කාරණාවක්. ඔයා කිව්වත් වගේ මම කුඩා කාලයේ සිටම සමාජය දිහා නිරික්ෂණය කරනවා. මම විශ්වාස කරන සහ කියන දෙයක් තමයි හොඳ සිනමාකරුවකු වෙන්න නම් දේවල් තුනක් කළ යුතුයි. ඒ පළමුවැන්න ගොඩක් ට්‍රැවල් කරන්න. දෙවැන්න පොතපත කියවන එක. තෙවැන්න සමාජ නිරික්ෂණය. මගේ ජීවිතයේ මුණ ගැසෙන චරිත අධ්‍යයනය කරනවා. කතා කරනවා. හැසිරීම් නිරික්ෂණය කරනවා. මගේ චිත්‍රපටයේ කැමරාව මෙහෙයවුවේ හරියට නිකං මේ සිදුවීම දිහා කවුරුහරි බලා ඉන්නවා වගේ දෙයක් දනවන අවශ්‍යතාව මත. ඔයා කියනවා වගේ විශාල වශයෙන් සමාජ නිරික්ෂණයක් අවශ්‍යයයි, හොඳ චිත්‍රපටයක් කරන්න. අනෙක් අතට පර්යේෂණයක් කළා චරිතවලට. උදාහරණයක් විදියට මිනී පෙට්ට් සාප්පුවකට පවා ගිහින් ඒ ඉන්න චරිත අධ්‍යයනය කළා.
මලින්ත විතානගේ