Home » මේ රංග කටයුත්ත ප්‍රේක්ෂකයාට නැවුම් අත්දැකීමක් වේවි

මේ රංග කටයුත්ත ප්‍රේක්ෂකයාට නැවුම් අත්දැකීමක් වේවි

නාට්‍ය හා නර්තන ශිල්පිනී තෙල්මා මේඩිස්

by Thanushika
May 22, 2025 10:36 am 0 comment

නූතන වේදිකා නිර්මාණවේදීන් අතර අවධානයක් දිනාගත් තෙල්මා මේඩිස් විසින් අධ්‍යක්ෂණය කරනු ලබන Resurrection of Kuwen වේදිකා නාට්‍යය පිළිබඳ මේ දිනවල ධනාත්මක කතාබහක් ඇති වී තිබේ. ඒ ඇගේ නව ස්වතන්ත්‍ර නිර්මාණය ඔස්සේය. ඊට පාදක වන්නේ මේ දිනවල ඈ නියැළී සිටින සුවිශේෂි පර්‍යේෂණ කටයුත්තකි. අපේ ඉතිහාසයේ ඉතා සුවිශේෂ චරිතයක් වන කුවේණිය පිළිබඳ මේ දිනවල ඈ නියැළි සිටින පර්‍යේෂණ කටයුත්තට සමගාමීව ඒ ඇසුරෙන් ගොඩනැඟූ වේදිකා නිර්මාණය පිළිබඳ කළ කතා බහකි. මේ එහිදී සිය පර්‍යේෂණ, නාට්‍ය හා රංග කලාව පිළිබඳ දැනුම මෙන්ම ගුරුවරියක ලෙස ඇති අත්දැකීම් සමඟ මේ ඈ සතු ශක්‍යතාව මේ නිර්මාණයේලා ඉතා හොඳීන් ගොනු කරමින් අංශ ගණනාවක විශේෂත්ව සහිත නාට්‍ය නිර්මාණයක් ලෙස මෙය ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කිරීම ද විශේෂිතය. Resurrection of Kuweni  වේදිකා නාට්‍යය අද (22) මරදාන එල්ෆින්ස්ටන්හිදී වේදිකාගත කෙරේ.

ඔබේ අලුත් නිර්මාණය ‘කුවේණි’ ගැන කතා කරමු

මේ නිර්මාණයට පාදක වෙන්නෙ මම කුවේණි ගැන කරන සෙවීමක්. ඒ සෙවීමේදී මට හමුවන කුවේණි වෙනස්. එහිදී මහාවංසයේ මූලාශ්‍ර වගේම ඈ ගැන තවත් තොරතුරු මූලාශ්‍ර ගණනාවක් ඔස්සේ සෙවීමේ කාර්‍යයේ මම නිරත වෙලා ඉන්නවා. එක් පැත්තකින් මගෙ උසස් අධ්‍යාපන කටයුතු කරගෙන යන්නෙත් ඒ ඔස්සේමයි. ඉතින් විවිධ මූලශ්‍ර ඔස්සේ ඈ ගැන හමුවූ තොරතුරු මාව මේ නිර්මාණ කාර්‍යය දක්වා ගෙන ඒමට පසුබිම නිර්මාණය කළ බවයි මම විශ්වාස කරන්නේ.

මොකද ඒ ඉතිහාසය පිරික්සද්දි හමුවන දේවල් බොහොමයි.විවිධයි. එතනදි අප සතුව තිබූ ශක්තීන් අප සතුව තිබූ දැනුම ගැන තොරතුරු මාව විස්මයට පත් කළා. විජයාගමනයත් සමඟ කියැවෙන අපේ ආරම්භය පිළිබඳ මහාවංසයේ තොරතුරුවලටත් එහායින් අපි ඉදිරියෙන් සිටි ජාතියක් කියන එක තමයි මේ සෙවීම්වලදි මට දැනුණෙ. විශේෂයෙන් කුවේණි පිළිබඳ පුවත්. එතනදී ඓතිහාසික මූලාශ්‍රවලට අදාළ තොරතුරුවල තිබෙන කාරණාවලට වඩා ගොඩක් වෙනස් කුවේණී කෙනෙක් තමයි මගේ බොහෝ පර්යේෂණ ඇසුරෙන් මට හමුවුණේ. ඉතිහාසය පිරික්සද්දි ඇගේ නම පවා වෙනස් කියන දේට සාක්ෂි මට හමු වුණා. මහා පාලි, කෞරානපාලි කුවණ්නා, රුවේණි, සිවපතිකා වැනි නම්වලින් ඇය හඳුන්වා තියෙනවා. ඇත්තටම අපි ඇය කුවේණි කියල ඇමැතුවත් ඒ නම යොදල තියෙන්නෙ පරදේශිකයන් විසින්. කුවේණි යනු කළු ගැහැනිය යන්න අපි විශ්වාස කළත් ඊට වඩා වෙනස් අර්ථකථන තිබෙනවා. ‘කු’ යන්නෙන් අදහස් වී තියෙන්නෙ වර්ගයයි. ඇත්තෙන්ම ඈ දැනුමින් පිරිපුන් කාන්තාවක් වශයෙනුයි සැලකෙන්නෙ. එමෙන්ම ඈ සේනාධි නායිකාවක්.

විජයගේ පැමිණීමේදී එකල මේ දේශයේ වූ කාන්තාවන් කොණ්ඩය තනි කරලටත් ගොතා සිටියා කියන මතයකුත් තියෙනවා. ඒ අය හැඳීන්වූවේ කුවේණිලා යන්නෙන් ලු. ඒ වගේම ඔවුන් කපු කටිමින් නොව, තපස් රකිමින් සිටි බවට වන තොරතුරු ද දැන ගැනීමට ලැබුණා. ඒ වගේම ඈ ගැන අපි මෙතෙක් නොදැන සිටි බොහෝ තොරතුරු මේ පර්‍යේෂණය ඔස්සේ මට හමු වනවා. ඉතින් ඒ ඇසුරෙන් මම කරපු වේදිකා නිර්මාණය තමයි Resurrection of kuweni.

‘රෙසරෙක්ෂන් ඔෆ් කුවේණි ‘ කියන වේදිකා නිර්මාණය මොන වගේ කාරණා නිසාද විශේෂ වෙන්නෙ ?

මේක වෙනස් නිර්මාණයක් වෙනව හේතු ගණනාවක් නිසා. ඉන් ප්‍රධානම දේ මේ, මම හොයපු තොරතුරු ඇසුරෙන් නව්‍ය රංග කලාවක් අපි හඳුන්වල දෙනවා. එය සමකාලීන නව්‍ය රංග කලාව. (Contemporary Theatre Performance Art) මේ වෙනුවෙන් ශිල්පින් තිස්දෙනකුගේ පමණ දායකත්වයක් ලැබෙනවා. එහිදී ලංකාවේ ප්‍රධාන වේදිකා රංගන ශිල්පීන් ඇතුළු විශාල පිරිසකගේ දායකත්වය මීට හිමිවනවා.

ඒවගේම මේ පර්යේෂණ ඔස්සේ ඉතිහාසය හාරා කුවේණි ගැන සොයා ගත් දන්නා තොරතුරුවලට අමතව මෙතෙක් නොදැන සිටි තොරතුරු සමඟින් කුවේණියගේ සත්‍ය ප්‍රාත්‍යාගමනය අදහස සමඟ මේ නිර්මාණය පර්යේෂණාත්මක වේදිකා නාට්‍යයක් ලෙස ප්‍රේක්ෂකයන් අතරට ගෙනෙන්නෙ. ඒ නිසා මේක අංශ ගණනාවකින් වැදගත් කමක් සහිත නිර්මාණයක්. එතනදි මගේ පර්‍යේෂණවලින් මට හමු වුණ මේ ගැහැනිය ගොඩක් ශක්තිමත් ගැහැනියක විදියටයි මූලිකව මා දකින්නෙ. විශේෂයෙන් අතීතයේ අපට හොඳ පෙළපතක් අප සතුව පැවති බව මේ පර්‍යේෂණවලින් මට හැඟෙන දෙයයි. නමුත් ඒ බොහෝ දේවල් ඒ ඉතිහාසයත් සමඟම අපෙන් අරගෙන නැතිනම් වැළලී ගොස් කියලයි මට තේරෙන්නෙ. අපේ ප්‍රෞඪත්වයට අදාළ බොහෝ දේවල් ඒ අතර වනවා. අපේ නම් ගම් පවා.

මේ නාට්‍යයට පාදක කරගන්නා රංග ක්‍රමය ගැනත් ටිකක් පැහැදිලි කරමු.

මේ නාට්‍යයට මම පාදක කරගන්නෙ නව්‍ය රංග ක්‍රමයයි. Modern Theatre)  අපේ නාට්‍ය ක්‍රමයේ විවිධ වර්ගීකරණ අතර මේ ප්‍රභේදය හඳුනාගෙන තියෙන්නෙ හරිම අඩුවෙන්. විශේෂත්වයක් ලෙස ගත්තොත් මේ නාට්‍ය ක්‍රමයේ චලන ඇසුරෙන් කරන ඉදිරිපත් කිරීම වැඩියි දෙබසට වඩා. එය අවුට් ඔෆ් ද බොක්ස් ඉදිරිපත් කිරීමක් විදියට දකින්න පුළුවන් නිර්මාණයක්. ශිල්පීන් සිය ශරීර චලන ඉරියව් ඔස්සේ ගොඩනඟන භාෂාව ඔස්සේ තමයි මේ පණිවිඩය බොහෝ දුරට ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කරන්නේ.

ඒ වෙනුවෙන් මා ඇතුළු මේ ශිල්පීන් සියලු දෙනා දරන වෑයම විශාලයි. මොකද එය නිරන්තරයෙන් අප කරන පුහුණුව ඔස්සේම ඉදිරිපත් කළ යුතු දෙයක්. ඒ නිසා අපි හැමකෙනෙක්ම අපේ ශාරිරික යෝග්‍යතාව රඳවාගත යුතු සේම සතතාභ්‍යාසයද පවත්වා ගත යුතුමයි.

මේ සමකාලීන නව්‍ය රංග කලාව ලෝකයේ අන් රටවල භාවිතාව මොන වගේද ?

මේ කලාව අමෙරිකාව යුරෝපය ඇතුළු රටවල භාවිත වන කලාවක්. ඒ වගේම ප්‍රචලිත යි. නමුත් ලංකාවෙ ප්‍රේක්ෂකයන්ට මේ අත්දැකීම අලුත්. මොකද මේක චලන බහුල රංග කලාවක්. ඒ නිසා මෙය යම් අයුරක නර්තන කලාවක් ද කියා ඔවුන් සිතන්ටත් පුළුවන්. නමුත් මේ අත්දැකීම විඳීන්න විඳීන්න ඊට සමීප වන්න වන්න ඔවුන් එය තේරුම් ගනීවි. ඒ වගේම මේ පර්‍යේෂණය අවුරුදු ගාණක මහන්සියක්. එහි ගැබ් වී තියෙන්නේ පැවතියා යයි සැලකිය හැකි ලෙස හමුවන දියුණු ඉතිහාසයක සාක්ෂියි. අනෙක් පැත්තෙන් මෙය පර්‍යේෂණ කටයුත්තක් සමඟ ඈඳුණු ස්වතන්ත්‍ර නිර්මාණයක්. ඒ වගේම පර්‍යේෂණ කටයුත්තක් සමඟ ඈඳුණු නව්‍ය රංග කලාවක් හඳුන්වා දීමකුත්. ඒ කියන්නෙ රංග කලාව ඇතුළෙ‍ත් සිදුවන පර්‍යේෂණයක්. නාට්‍ය හා රංග කලාවේ මූලික ආලෝකය යටතේ නව්‍ය අනුශාංගික කලාවක් සහිතව ඉදිරිපත් කළ නිර්මාණයක්. ඒ කියන්නෙ මේ නිර්මාණයේ රංගාලෝකය හරි ප්‍රබලයි. එය සාමාන්‍ය නාට්‍යයක මෙන් නොවේ. නමුත් මේ ආකාර නිර්මාණයක ප්‍රබලත්වය මතු කරගැනීමට නම් විශාල බරක් මෙන්ම පිරිවැයක් දැරිය යුතුයි. එය මේ කාර්යයේදී මට විශාල අභියෝගයක් වුණත් එය නිර්මාණයට හානියක් නොවන ලෙස කළමනාකරණය කරගන්න මම කටයුතු කරනවා. මොකද මට ඕන මේක ප්‍රේක්ෂකයන්ට සිනමාත්මක අත්දැකීමක් විදියටත් ලබා දෙන්න. ඇත්තෙන්ම මේ සඳහා අපට අනුග්‍රහය දැක්වූ පිරිසක් හිටියා. ඇත්තෙන්ම මම ඔවුන් හැමදෙනාටම ගරු කරනවා. මොකද අපව, අපේ මේ නිර්මාණය කෙරේ ඔවුන් තැබූ විශ්වාසය වෙනුවෙන්. මොකද මේ වගෙ නිර්මාණ අපටත් වඩා වටින්නෙ අපේ දරුවන්ට. මොකද ඉතිහාසයේ සිටම අපේ කොඳු කඩා දාල කියලයි මට හිතෙන්නෙ. මොකද කුවේණි පිළිබඳ ඉතිහාසය ඈට යහපත් ලෙස නොවෙයි බොහෝ විට ලියවී තියෙන්නෙ. ඇගෙන් ආරම්භ කර මුළු කාන්තා පෞරුෂයම බිඳ දා තිබෙන බවක් අපට යම් තොරතුරු නිරීක්ෂණය කරද්දි වැටහෙනවා. ඈට අපේ සාහිත්‍යය තුළ ධනාත්මක ඉඩක් වෙන්වී නෑ කියා නිරීක්ෂණය වෙනවා.

නමුත් ඈ මහා කාන්තා පෞරුෂයක් ලෙසයි මට දැනෙන්නෙ. මගෙ පර්‍යේෂණ හා නිරීක්ෂණයන් ඔස්සේ ඒ මූලාශ්‍ර තොරතුරු බැලු විට. ඉතින් ඒ ගැන කියන්න තමයි මම මේ වෙනස් ම වේදිකා නිර්මාණය ඔස්සේ උත්සාහ කරන්නෙ.

 

සේයාරූ – නිශ්ශංක විජේරත්න

[email protected]

සමුද්‍රිකා වර්ණකුල

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT