එක් අයෙකුට පුද්ගලයන් ගණනාවකගේ හඬ ඒ අයුරින්ම අනුකරණය කළ හැකි නම් එය අසාමාන්‍ය හැකියාවකි. එවන් අසාමාන්‍ය හැකියාවකින් යුතු අයකු පසුගියදා අපට හමුවිය. ඔහු නමින් ඇන්ටන් බටේපොලය. මෙරට සංගීත ක්ෂේත්‍රයේ ඉතාම ජනප්‍රිය හඬ පෞරුෂයන් රැසක් ඔහු ඒ අයුරින්ම අනුකරණය කිරීම ඔහු සතු වූ මෙම අසාමාන්‍ය දක්ෂතාවයයි. මේ නිසාම ඔහුගේ තොරතුරු පිළිබඳ විමසීමට අපේ පිළිසඳරට පසුගිය දිනක අප ඔහු කැඳවා ගත්තා.
ඇන්ටන් කොහොමද මුලින්ම කලාව පැත්තට යොමුවුණේ?
මම පුංචි කාලේ ඉඳන්ම කලාවට හරි ආසයි. මම දන්නේ නෑ ඒ පුරුද්ද කොහොමද මට ඇතිවුණේ කියලා. මගේ පවුලේ කිසිම කෙනෙක් කලාවට සම්බන්ධ නෑ. නමුත් මම පුංචි කාලේ ඉඳන්ම කලාවට කැමති වුණා. ඒ නිසා මම ඉස්කෝලෙදිත් විවිධ කලා කටයුතු සඳහා දායක වුණා.
ඔබ අධ්‍යාපනය ලැබුවේ කොහෙන්ද?
මුලින්ම මම තාත්තාගේ ගම වුණු බෝපිටියේ රෝමානු කතෝලික විද්‍යාලයට ගියා. ප්‍රාථමික අධ්‍යාපනය එතනින් ලැබුවට පස්සේ මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයට ඇතුළත් වුණා. අ.පො.ස. උසස් පෙළ දක්වා මම ඉගෙන ගත්තේ මේ මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ. ඒ කාලේ මම කලාවට වගේම ක්‍රීඩාවටත් දක්ෂයි. සාහිත්‍ය තරගවලදී ගීත ගායනය මෙන්ම කවි ගායනයෙනුත් මම ප්‍රථම ස්ථාන ලබල තිබෙනවා. ඒ කාලයේ සාහිත්‍ය සමිතියටත් මාව නැතිවම බැරි චරිතයක් වුණා. සමස්ත ලංකා ගායන තරඟ වලදිත් මම තමයි පළවෙනියා වුණේ.
ඔබ සංගීතය විෂයක් විදිහට ඉගෙන ගත්තද?
ඔව්. මම ශාස්ත්‍රීය සංගීතය ඉගෙන ගත්තා. ඒ වගේම මම නිරන්තරයෙන් ගායනය පුහුණු වෙනවා. මහාචාර්ය සනත් නන්දසිරි යටතේ සහ විශාරද ෂර්ලි වෛජයන්ත යටතේ මම සංගීතය කාලයක් තිස්සේ හැදෑරුවා. ඉන්දියානු භාත්ඛණ්ඩේ විභාගයෙන් ප්‍රථම සහ මධ්‍යමා විභාග කරල තිබෙනවා. ඉදිරියේදී විශාරද විභාගය කරන්න සූදානමින් ඉන්නවා. නමුත් මම පාසලේදී සංගීතය විෂයක් විදියට ඉගෙන ගත්තේ නෑ. මම උසස් පෙළ ඉගෙන ගත්තේ ගණිත අංශයෙන් ඒ කාලයේ මාරිස්ටෙලා විද්‍යාලයේ සෞන්දර්ය අංශයක් තිබුණේ නෑ. උසස් පෙළ විභාගය සමත් වුණාට මට විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙන්න නොහැකි වුණා. ඒ නිසා මම ගායනය ප්‍රගුණ කරන්න පටන් ගත්තා.
ඔබ රැකියාවක නියුතු වුණේ නැතිද?
උසස් පෙළ හැදෑරුවට පස්සේ රැකියාවක නියත වුණා. මම පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වසර 2ක් විතර වැඩ කළා. නමුත් මගේ හිතේ තිබුණේම කලාව පැත්තට යොමු වෙන්න ඒ නිසා කලාව පැත්තට යොමු වුණා.
වෙනත් පුද්ගලයින්ගේ හඬින් ගායනය කිරීමේ හැකියාව ඔබ ප්‍රගුණ කළේ කොහොමද?
මම ඒක අලුතෙන් පුහුණු වුණු දෙයක් නොවෙයි. ඒක මගේ ඇගේම තිබුණා. විවිධ අයගේ ගීත ගායනය කරද්දී මගේ හඬ ඔවුන්ගේ හඬට සමාන වෙනවා. ඒක ඉබේම සිද්ධවුණු දෙයක්. සමහර අය බාහිරින් විවිධ ක්‍රියාකාරකම් කරලා ඒ හඬ අනුකරණය කරන්න උත්සාහ දරනවා මම දැකලා තියෙනවා. නමුත් මට එහෙම ආයාසයක් දරන්න අවශ්‍ය නෑ. ඉබේම හඬවල් ඒ අයුරින්ම එනවා.
කාගේ හඬවල්ද ඔබට ඒ අයුරින්ම අනුකරණය කරන්න පුළුවන්?
විශේෂයෙන්ම මම ගායනා කරන්නේ අපේ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පීන්ගේ ගීත. උදාහරණවලට කිවුවොත් පණ්ඩිත් ඩබ්ලිව් ඩී. අමරදේවයන්, සුනිල් සාන්ත, සී.ටී ප්‍රනාන්දු, එච්.ආර්. ජෝතිපාල, විජය කුමාරතුංග, සංගීත් නිපුන් සනත් නන්දසිරි වැන්නන් ඒ අතර ඉන්නවා. ඔවුන්ගේ හඬට සමානවම ගීත ගැයීමේ හැකියාව මට තිබෙනවා. ඇත්තටම ඒක මිරැකල් එකක් විදිහට තමයි මටත් හිතෙන්නේ. මමත් දන්නේ නෑ කොහොමද ඒ හඬවල් මට පිහිටලා තියෙන්නේ කියලා. ඉතින් මම විශ්වාස කරනවා මේ හැකියාව මට දෙවියන් වහන්සේගෙන් ලැබුණු වරප්‍රසාදයක් කියල.
ඔබට නව පරපුරේ ගායකයන්ගේ හඬින් ගීත ගයන්න බැරිද?
මට ඒ හැකියාව තිබෙනවා. විශේෂයෙන් චාමර වීරසිංහ වැනි කෙනෙකුගේ හඬින් වුවත්. නමුත් මම මෙහිදී මගේ වැඩි අවධානය යොමු කරන්නේ අපේ ප්‍රවීණයන්ගේ හඬවල් කෙරෙහියි. ඔවුන්ගේ හඬවල් තමයි අපි යළි යළිත් ජීවමාන කළ යුතු වන්නේ.
ඔබේම නිර්මාණ කරන්න අදහසක් නැතිද?
අනිවාර්යයෙන්ම තිබෙනවා. මගේම ගීත තුනක් විතර මේ වෙනකොට නිර්මාණය කරලත් තිබෙනවා. ඉදිරියේදී තවත් නිර්මාණ කිහිපයක්ම කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම අලුත් ගීතයක් නිර්මාණය කරන විට ආවාට ගියාට කරන්න මගේ කිසිම කැමැත්තක් නෑ හොඳ ප්‍රමිතියකින් යුතුව ගීතයක් කරලා ඒක රසික ජනතාව අතරට යන්නත් ඕනනේ.
ඔබ රංගනය පැත්තටත් යොමු වෙලා ඉන්නවද?
ඔව්. පසුගිය කාලයේ උදයකාන්ත වර්ණසූරියගේ චිත්‍රපටවල කුඩා කුඩා චරිත නිරූපණයන්ට එකතු වුණා. සිරිතුංග පෙරේරාගේ චිත්‍රපටවලටත් ඒ කාලයේ එකතු වුණා. ‘මදර් තෙරේසා’ චිත්‍රපටයේත් මම කුඩා චරිතයක් රඟපාලා තිබෙනවා. ඉදිරියේදී හොඳ චරිත නිරූපණයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
දැන් ඔබ රැකියාවක නියුක්ත වෙන්නේ නැත්ද?
නැහැ. මම පුංචි ව්‍යාපාරයක නියුක්ත වෙනවා. ඊට අමතරව පවුලෙන් හිමිවුණ ආදායම් මාර්ගයකුත් තිබෙනවා. මම අවිවාහක ජීවිතයක් ගත කරන නිසා ඒ ආදායම මට කළමනාකරණය කරගත හැකියි. ස්ථිර රැකියාවක නියුතු වුණොත් කලා කටයුතු වලට නිදහසේ කාලය කැප කරන්න නොහැකි වෙනවා.
ඔබේ පවුලේ තොරතුරු?
මගේ අම්මයි තාත්තයි ජීවතුන් අතර නෑ. අම්මා වයස අවුරුදු 90ක් විතර වෙනකම් ජීවත් වුණා. මම තමයි අම්මව බලා ගත්තේ සමහර විට මට විවාහයක් සිදුනොවෙන්නත් ඒක හේතුවක් වෙන්න ඇති. ඒ කාලේ මගේ එකම බලාපොරොත්තුව වුණේ අම්මව බලා ගැනීම. මට අයිය කෙනෙකුයි නංගි කෙනෙකුයි ඉන්නවා. ඒ අය විවාහ වෙලා වෙනම ජීවත් වෙනවා. මම වෙනම ජීවත් වෙනවා. මගේ කලා ගමන දැක්ක නම් අම්මයි තාත්තයි ගොඩක් සතුටු වෙයි. කොහොම වුණත් දැන් මගේ එකම බලාපොරොත්තුව කලාව පැත්තෙන් මගේ රටට වැඩක් කිරීමයි.
හේමාලි විජේරත්න
