Home » උස නිසා නළුවකු වූ පැතුම් පියසිංහ

උස නිසා නළුවකු වූ පැතුම් පියසිංහ

by Thanushika
May 22, 2025 12:04 pm 0 comment

” අපේ හෙළ පරපුර කලා සංසදයේ සිරිලක ඓතිහාසික පුවත් රැගත් ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණ තුළින් සිරිලංකාවේ ශ්‍රී විභූතිය ගැන විදේශිකයන් දැනුම්වත් වී සිටිනවා..”

මවුබිමෙන් එංගලන්තයේ පදිංචියට ගොස් කලා කුසලතා පිරිපුන් ලාංකිකයන් එක්ව වසර ගණනාවකට ඉහතදී පිහිටුවාගත් හෙළ පරපුර කලා සංසදය විසින් ලාංකේය අතීත ශ්‍රී විභූතිය කියැවෙන වේදිකා නාට්‍ය ඉදිරිපත් කිරීමෙන් එතෙර වැසියන්ගේ ගෞරවයට…සතුටට අප ලාංකේය ප්‍රෞඪ ඉතිහාසය පත්ව ඇතැයි එංගලන්තයේ හෙළ පරපුර කලා සංසදයේ රංගන ශිල්පී පැතුම් පියසිංහ සරසවිය සමග එක්වෙමින් එසේ පවසන්නේය.

හෙළ පරපුර කලා සංසදය මීට වසර ගණනාවකට ඉහතදී එරට පිහිටුවමින් කුසලතා පිරිපුන් ලාංකිකයන් ඒකරාශි කරගනිමින් අදටත් එහි සභාපතිධුරය හොබවන්නේ ප්‍රකට සිනමා අධ්‍යක්ෂකවරයකු සේම රංගන ශිල්පියකු වන ගාමිණී අබේසිංහය.

ලාංකේය සිනමා වංශ කතාවේ 70 දශකයේදී ජනප්‍රිය සිනමා නිර්මාණ රැසක ප්‍රධාන හා උප ප්‍රධාන චරිතාංග නළුවකු ලෙසින්ද රසික ආදරයට පාත්‍ර වූ ගාමිණි අබේසිංහයන් එදා කිංස්ලි රාජපක්ෂගේ ‘ඉඳුනිල’ චිත්‍රපටයෙන් සිනමාවට එක්ව මේ දෑස කුමටද, සුහද පැතුම, සුදු පරෙවියෝ, සිනාවයි ඉනාවයි හා තිමති වීරරත්නයන් ගෙන ආ විජය හා මාලනී රඟපෑ සංගීතා චිත්‍රපටයේ ඩෝල්ටන් නම් දුෂ්ටයාගේ භූමිකාවට ජීවය දුන්නේ ගාමිණී අබේසිංහයන් ය..

විජය හා පෙමින් වෙළුණු මාලිනියට මවුපියන් විසින් ගෙන ආ මංගල යෝජනාවට අකමැති වුවද ඇයට විවාහවන්නට සිදුවූයේ තමන් අකමැති තැනැත්තා ඩෝල්ටන් සමඟය..මධුසමය රාත්‍රියේදී ද මනාලයා තරයේ ප්‍රතික්ෂේප කරමින් ඕ කඳුළු වගුරද්දී බීමත්ව පසුවන හේ මෙසේ ඇයට කෑ ගසන්නේය.

” උඹ බීපන් කඳුළු. මං බොන්නම් විස්කි ” ඒ අපේ ගාමිණී අබේසිංහයන් ය.

මේ වනවිට ඔහු එංගලන්තයේ පදිංචියට ගොස් වසර 50 කට අධිකය..ඔහු විසින් එරට බිහිකරන ලද හෙළ පරපුර කලා සංසදය මඟින් ඉදිරිපත් කරන ලද නාට්‍ය නිර්මාණ රැසකි…එම නිර්මාණ ශ්‍රී ලංකාවේ අතීත සිදුවීම් රැගත් කථා වස්තූන් සේම මෙරට ප්‍රේක්ෂකයා අදරින් වැලඳගත් ජනප්‍රිය නාට්‍යයන්ද වේ..

එරට කුසලතා පිරිපුන් ලාංකිකයන් එකතු කරගනිමින් ඔහු විසින් අධ්‍යක්ෂණය කළ ” වැලපුණේ ඔබ නිසයි කුමරියේ ” සිනමා සිත්තම තවත් නොබෝ දිනකින් එරට සිනමාශාලාහීදී ප්‍රදර්ශනය වීමට නියමිත අතර එම චිත්‍රපටයේ බ්‍රයන් නමැති සෙල්ලක්කාර තරුණයාගේ ප්‍රධාන චරිතයට ජිවය දෙන්නේ පැතුම් පියසිංහය..

ඔහු තම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට තෝරා ගන්නට ඔහුගේ දක්ෂතාව වගේම ඔහුගේ අසාමාන්‍ය උසද මා සිත්ගත්තේ යැයි අධ්‍යක්ෂක ගාමිණී අබේසිංහයන් සරසවිය ට කීයේය.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ මා සමඟ සංලාපයක යෙදෙන පැතුම් පියසිංහ තම කටහඬ අවදි කළේ මෙසේය.

” ලංකාවේ සිටියදී විවිධ කලා නිර්මාණවලට මම සම්බන්ධ වී තියෙනවා. මගේ අයියාත් ලංකාවේ ජනප්‍රිය නාට්‍යකරුවෙක්..පාසල් වේදිකාවෙන් රංගනයට පිවිසුණේ..ඉන්පසුව සිනමා නිර්මාණවල වගේම ටෙලි හා වේදිකා නිර්මාණවලටත් දායක වුණා..”

වැලපුණේ ඔබ නිසයි කුමරියේ චිත්‍රපටයේ චපල සිතකින් හෙබි සෙල්ලකාර ධනවත් තරුණයකු ලෙසින් ප්‍රධාන චරිතයට පණ පොවන අපේ කතා නායකයා උපන්නේ මාතලේ..ගුරු බැවිල ග්‍රාමයේය..

ගමේ පාසලින් පහ වසර දක්වා ඉගෙනුම ලද හේ පසුව කයිකාවල මධ්‍ය මහා විදුහලට ගියේය..

පාසල් වේදිකාවේ ඔහු රඟපෑ වෙස්සන්තර රජුගේ චරිතය පිළිබඳව බොහෝ දෙනකුගේ පැසසුමට බඳුන් විණි.

” මම පුංචි කාලෙ පටන්ම රංගනයටයි කැමති. පසුකාලෙ මම කාන්ති ලංකා අබේවික්‍රම මහත්මිය යටතේ සිනමා විෂය පිළිබඳව පාඨමාලාවක් කළා..එච්.ජී.ටී.සී සිනමා පාඨමාලාවත් හැදෑරුවා..සිනමා ටෙලි හා වේදිකා නිර්මාණ රාශියක මම විවිධ චරිත නිරූපණය කළා..

” දුටු සතුටු මල” කියා සමන්ති ලැනරෝල්, ලීනාද සිල්වා, සමග ටෙලි නාට්‍යයක්ද කළා..මට ඉතින් ඉහළම ප්‍රතිචාර ලැබුණා..”

පැතුම් පියසිංහ සිනාසෙයි.

ඔහු එංගලන්තයට පැමිණියේ 2008 වසරේදී. මේ වනවිට හෙතෙම එහි රෝහල් සේවයේ පසුවන අතරේදී හෙළ පරපුර කලා සංසදයේ නිර්මාණ හා එක්ව කටයුතු කරමින් සිටී.

මා ඇසූ පැනයකට සිනාසී පිළිතුරු දුන් පැතුම් කීවේ ” ඔව්..මගේ උස අඩි 6ක්..ඒ අසාමාන්‍ය උස නිසාමයි ගාමිණී මහත්තයා එතුමා ගෙ සිනමා නිර්මාණයට මාව තෝරා ගත්තේ..එතුමා අධ්‍යක්ෂක හැටියට අවශය සාරය උපරිමයෙන් ගන්නවා..ගොඩාක් තරහත් යනවා..හරි බයයි එතුමා සමඟ වැඩ කරන්නට..පොඩ්ඩ එහා මෙහා වුණොත් බණිනවා. ඒ වගේමයි අපට හරිම ආදරෙයි..ඒ වෙලාවට ළමයෙක් වගේ..එතුමා පරිණතයි..දක්ෂයි..ඒ නිසා කියාදෙන දේ අපට පහසුවෙන් ග්‍රහණය කරගන්න පුළුවන්. එතුමාගෙ සිනමා නිර්මාණයක එතුමාත් සමඟ රඟපාන්නට ලැබිමත් මගෙ වාසනාවක්. මට ගාමිණී මහත්මයා හඳුනාගන්න ලැබුණේ රෝහිත මාන්නගේ මහත්මයා හරහා..”

ගාමිණී අබේසිංහයන්⁣ එංගලන්තයේ තැනූ පළමු චිත්‍රපටය ‘සසර වසන තුරු’ චිත්‍රපටයය…මේ ඔහුගේ දෙවන සිනමා නිර්මාණයයි. ඔහු විසින් ලියා අධ්‍යක්ෂණය කළ ‘ වැලපුණේ ඔබ නිසයි කුමරියේ ‘ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය ප්‍රියන්ත විජේසේනගෙනි.

මේ දිනවල එංගලන්තයේ මෝඩරින් සහ එප්සන් ආදී ප්‍රදේශවල මෙම චිත්‍රපටයේ රූපගතකිරීම් සිදු කෙරෙයි.

” අපේ ලංකාවේ නිර්මාණ වලට මෙහෙ ඉන්න සුදු නෝනලා සුදු මහත්තුරු හරිම කැමතියි. විශේෂයෙන් හෙළ පරපුර කලා සංසදය ඉදිරිපත් කරන කලා නිර්මාණ නරඹන්නට රංග ශාලාව පවා ඉඩකඩ මදිවන අවස්ථා තියෙනවා.

ඔහුගේ වැලපුණේ ඔබ නිසයි කුමරියේ ප්‍රධාන චරිතයට ජීවය දෙන පැතුම් පියසිංහ කියන්නේය..

” ගාමිණි මහත්තයා එක්ක වැඩ කරද්දි බොහොම පරිස්සමින් කරන්නෙ..හැමදේම හරියටම කෙරෙන්න ඕනා..ලංකාවේ සිනමා ටෙලි හා වේදිකා නිර්මාණවල අත්දෑකීම් පවා මේ සිනමා නිර්මාණයේදි මට බොහොම වැදගත් වුණා..මගෙ උස හයයි පහයි…මගෙ උස නිසා මට මේ චිත්‍රපටයේ රඟපාන්න අවස්ථාව ලැබුණේ..”

පැතුම් කියන්නේය.

අප හා කතාබහ කළ එහි අධ්‍යක්ෂ ගාමිණි අබේසිංහයන් කීයේ තමන්ගේ දෙවැනි සිනමා නිර්මාණය වන වැලපුණේ ඔබ නිසයි කුමරියේ ප්‍රධාන චරිතයට අවශ්‍යව සිටි උසින් හා කුසලතාවෙන් පිරි සුදුසුම නළුවා තමන්ට හමුවිම ගැන සතුටට පත්වන බවය..

මේ වනවිට එංගලන්තයේ හෙළ කලා පරපුර සංසදය හා එක්වූ ලාංකික පිරිස අතරින් කුසලතා පූර්ණ අයවලුන් තෝරාගෙන ඉදිරිපත් කළ වේදිකා නාට්‍යය එරට පුරවැසියන්ගේ උනන්දුවට හා සතුටට හේතුවී ඇති බවද කීයේය.

2025 වසරේ මැද භාගයේදි මෙම චිත්‍රපටය තිරගත වීමට නියමිතය.

හෙළ කලා පරපුර සංසදයේ කුසලතාවෙන් පිරි නිර්මාණකරුවන් අතර ලාංකේය ඓතිහාසික සිදුවීම් පාදක කරගනිමින් රචනා කරමින් අධ්‍යක්ෂණයේහි සමත් කුමර වික්‍රමසිංහ මහතා නිපද වූ ගොන්ගාලේගොඩ බණ්ඩා වේදිකා නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑ කුමර වික්‍රමසිංහයන්ද මෙහිදි අගයකින් අපි සිහිපත් කරමු..

ලාංකේය කලාකරුවන් රැසක් එක්ව එංගලන්තයේ පිහිටුවාගත් හෙළ කලා පරපුර සංසදය වරින්වර ඉදිරිපත් කරන කලා නිර්මාණ පිළිබඳව එරට පුරවැසියන්ගේ අගැයුමටද පාත්‍ර වී ඇත්තේය..

[email protected]

අමල් යශෝමන් ජයසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT