Home » අයියා කුණු කූඩයට දැමූ ඉල්ලුම්පතකින් නිවේදක‍ෙයක් වූ සුජීව

අයියා කුණු කූඩයට දැමූ ඉල්ලුම්පතකින් නිවේදක‍ෙයක් වූ සුජීව

by Thanushika
April 3, 2025 10:36 am 0 comment

ඔහු සහසක් දෙනා අතර අතිශය සම්භාවනාවට පාත්‍රවන්නට තරමට ගුවන් විදුලියේ කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිවේදකයකු ලෙසින් විසල් කුසලතාවකින් පිරිපුන් රසවතෙකි…ඔහුට ම අනන්‍ය වූ රමණීය පද සිරිතකින් අසන්නන් අමතන සිරිත නිසාම ඒ හඬ සිරිතට පෙම් කරන්නෝ ද අදටත් අප අතර වෙති…

ගුවන් විදුලියේ ප්‍රවෘත්ති …වෙළඳ දැන්වීම් …වෙළඳ වැඩසටහන්…හා ප්‍රාසංගික නිවේදන ශිල්පියකු ලෙසින්ද නොයෙක්වර ලද සම්මාන අතර රාජ්‍ය සම්මානයෙන්ද සම්මානිත සැබැවින්ම අමතක නොවන චරිතයක්ම බවට පත්වූයේ තමා සතුව තිබූ උතුම් මනුස්සකමේ ගුණාංගයන් නිසාවෙනි…

ඔහු අන්කවරකු හෝ නොව ගුවන් විදුලියේ සම්මානිත නිවේදක…සුජීව හරිස්චන්ද්‍රයන්ය…

” ගුවන් විදුලියේ ස්වර්ණමය යුගයකට පුරෝගාමී වූ කරුණාරත්න අබේසේකර..ලලිත් එස්. මෛත්‍රීපාල …ප්‍රේමකීර්තිද අල්විස් ආදී ප්‍රතාපවත් නිවේදක ශිල්පීන් රැගත් ඒ පෙළගැස්මේ අපේ සුජීව හරිශ්චන්ද්‍ර එහි අවසන් පුරුකයි කියා මට හිතෙන්නේ…”

ඒ ටික කීවේ මා සමීපයේ අසුනකට බරදී මා හා ආදරණිය පිළිසඳරක යෙදෙන සුජීවගේ ආදරණිය බිරිඳ නිශාන්ති රණතුංග මහත්මියය..

ඈ සන්සුන් වදනින්…තැන්පත් ස්වරයෙන් තවත් දේ කියන්නීය…

සිරිලක ප්‍රථම වරට සපත්තු නිෂ්පාදන ව්‍යාපාරයකට අත තබා එවක කීර්තිමත් ව්‍යාපාරිකයකු ලෙසින් නමක් දිනූ මාතර…උයන්වත්තේ.. ආතර් ද සිල්වා සහ කුසුම් ද සිල්වා දම්පතීනට සිටියේ දූ පුතුන්ම නවදෙනෙකි…

ඉන් පවුලේ වැඩිමහල් දැරිවිය වූයේ ශ්‍රියා ද සිල්වා හරිස්චන්ද්‍ර ය…..දෙවැන්නා නොයෙල් ය.. තෙවැන්නා සුනිල් වූ අතර සිව්වැන්නිය තිලක්ෂණීය.. පස් වැන්නා වූයේ තිලක් ය..සයවැන්නා උපුල් ද සිල්වා හරිස්චන්ද්‍ර ය. සත් වැන්නා වූයේ ශ්‍යාමලී ය… අට වැන්නා…මහේන්ද්‍රය…

පවුලේ බඩපිස්සා ලෙසින් 1964ක්වූ දෙසැම්බර් මස 25 වනදා මෙලොව එළිය දුටු ඔහු පවුලේ නවවැන්නා වන සායක්කාරගේ සුජීව රුවන්ත හරිස්චන්ද්‍ර ද සිල්වා ය..

මාතර…ශාන්ත තෝමස් විද්‍යාලයට පිවිසෙමින් අධ්‍යාපනය හොඳීන් ලද හෙතෙම කථිකත්වයෙහි උපන් සපන්කම් පෑ නිසාම ගුරු භවතුන්ගේ ආදරයටද බඳුන් වීය…පාසලේ උත්සව අවස්ථාවලදී එය මෙහෙයවීම පවරනු ලැබුවේද ඔහුටම ය…කුඩාවියෙහි දී දඟකාර දඩබ්බරයෙකු ලෙසින්ද ප්‍රකට වුවද මවුපියන්ගේ ආදරණිය සෙවුම් ⁣බැලුම් ආදියෙහිදී වඩාත් හිමිකාරයා වූයේ ඔහුය..

ඔහුගේ දෙටු සොහොයුරු මහේන්ද්‍ර කඩදාසියක යමක් ලියමින් සිටියේය… එය ලියා අවසන නැවත කියවා හිස මඳක් සොලවා එය දෑතින් ගුලිකර කුණු කූඩයට දමන සැටි දුටුවේ මෙතුවක් මහේන්ද්‍ර අයියා දෙසම බලාහුන් අපේ ආදරණීය සුජීවය…මහේන්ද්‍ර අසුනින් නැගිට ගියේය.. වහා එතැනට දිවැවිත් ඒ අසුනටම බර දුන් සුජීව කුණුකූඩය අවුස්සා අයියා ගුලිකර දමාගිය කඩදාසිය ගෙන කියවා බැලුවේය…ඔහු දෙතොල මත සිනාවක සේයා රැඳී තිබිණි..

එය ඉල්ලුම් පතකි…එහි අපේක්ෂිත තනතුර ලෙසින් ලියා තිබුණේ රුහුණු සේවයේ සහන නිවේදක” යනුවෙනි..

මදෙස කල්පනාවක නිමග්නව මෙන් බලා හිඳීනා ආදරණිය නිශාන්ති මහත්මිය..සිය කටහඬ අවදි කරන්නී ය..

” එයාගෙ මහේන්ද්‍ර අයියා ලියල තිබ්බ ඒ ඉල්ලුම් පතට එයාගෙ නම දමලා රුහුණු ගුවන් විදුලි සේවයට තැපැල් කළා..දවස් කිහිපයකින් අපේ සුජීවට ඒකට පිළිතුරක් විදිහට ලිපියක් ලැබුණා..”

ඔහු නමින් එවන ලද ලිපිය කඩා බැලූ හේ පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියේය…එහි සඳහන්ව තිබුණේ ඉල්ලුම් කරන ලද සහන නිවේදක තනතුර සඳහා මූලික පරීක්ෂණයට පැමිණෙන ලෙසටය..

රුහුණු ගුවන් විදුලි සේවයේ සහන නිවේදකයකු ලෙසින් තේරී පත්වූ සුජීවට එහි ඉන්නට ලැබුණේ දින කිහිපයකි..රට නොසන්සුන්ය ..භීෂණය රටපුරා ඇවිළී ගොසිනි…තැන තැන ගිනිදැල්ය..අඳෝනාය…මේ අතරේදීය රුහුණු ගුවන් විදුලි මධ්‍යස්ථානයට ගිනි ඇවිළී ගියේ..ඉන්පසුව සුජීවට සිදුවූයේ එහි කාර්ය මණ්ඩලය සමඟින් කොළඹ ගුවන් විදුලි සංස්ථාවට එන්නටය…

සිත තිබූ අදහස අතහැර දමා කුණු කූඩයට දැමූ තමන්ගේ ඉල්ලුම් පතට තමන්ගේ නම යොදා යැවූ පසුව තම බාල සොහොයුරා සුජීව ලද පත්වීම ගැන අයියා මහේන්ද්‍ර මහත් සතුටට පත්වූයේය…

” එදා එහෙම ඒ අවස්ථාව මහේන්ද්‍ර අයියාට නොලැබී ගියාට…පසුකලෙකදී මහේන්ද්‍ර අයියාත් සහන නිවේදකයකු බවට පත්වුණා..”

මුවගට සිනාවක් නඟාගත් නිශාන්ති එසේ කියන්නීය..

කථිකත්වයෙහි ළගන්නා සුලු සුරුවිරුකම් පානා අපේ ආදරණිය සුජීව හරිස්චන්ද්‍රයන් සිය නිසග ගී පද සිරිත සිරිමත් කරමින් අපූර්ව ගී පදවැල් ලියූහ…සීතල වැහි පිණි…මවුගුණ ගී..පාසල් වය පිළිබඳ ගී..සමඟින් ගුවන් විදුලියට පෙනෙනා මාවියේ පිහිටි “හැටේ වත්ත..” පිළිබඳ අපූර්වතම ගීතයක් ද ලියුවේය..අදටත් මිහිර දනවන එම ගීතය ගයන්නේ වෝල්ටර් ප්‍රනාන්දු ගායන ශිල්පියාය..නවක ගායක ගායිකාවනටද ගී පද රචනා රැසක්ම ඔහු අතින් ලියැවිණ..

” මට මතක හැටියට සුජීව මහත්තයා ගීත විසිපහක් විතර ලියුවා…ඒ වුණාට මහත්තයා ගයන්නෙ නැහැ. ඒත් එයාගෙ ළඟම යහළුවන් එකතු වුණාම නම් එයා ගීත ගයනවා..”

නිශාන්තිගේ මුහුණ සතුටටම හැරී තිබෙනු පෙනේ ..

” සුජිව මහත්තයාගෙ කටහඬට කවුරුත් ආදරය කළා..අපේ ගුවන් විදුලියෙ ප්‍රතාපවත් අමතකව නොයන නිවේදකයන් පිරිසක්ම ඉන්නවානෙ..මේ දෙසැම්බර් මාසෙ 10 දාට ගුවන් විදුලියට වසර සියයක්…පිරෙනවා ..කරුණාරත්න අබේසේකර ..ලලිත් එස්. මෛත්‍රීපාල ..ප්‍රේමකීර්ති ද අල්විස්…ආදී මහත්වරුන් තවත් කලෙකට රසිකයාට අමතකව යන්නේ නැහැ. ඒ විශිෂ්ටයන්ගේ පෙළගැස්මේ තවත් එක් පුරුකක් විදිහටයි සුජීව හරිස්චන්ද්‍ර මහත්මයාවත් මම දකින්නේ..”

ඕ කියන්නීය…

අපේ ප්‍රේමනීය සුජීව හරිස්චන්ද්‍රයන් ප්‍රවෘත්ති නිවේදකයකු ලෙසින් කටයුතු කරමින් හොඳ නමක් දිනාගන්නට සමත් වූයේය…රසාලිප්ත වාග් ආමන්ත්‍රණයේදී මිහිර රසිකයාට වඩාත් දැනුණේ ප්‍රාසංගික නිවේදන කලාවේදී ය…එය අපූර්වතම ඔහුගේ සහජ කුසලතාවක්ම යැයි හැඟේ.

වෙළඳ දැන්විම් නිවේදක කාර්යයෙහි දී ද ඔහු පෑ සමත්කම් නිසාම වෙළඳ දැන්වීම් කලාවෙහි නිවේදකයකුට හිමිවිය යුතු ගෞරවයද පැසසුමද නොඅඩුව ම හිමිවිණි…

” අපේ මහත්තයා වෙළඳ වැඩ සටහන්වලට ආවෙ 80 දශකයේ අගභාගයෙදි විතර…මට මතක හැටියට..ඇත්තෙන්ම වෙළඳ ප්‍රචාරණ දැන්වීම් නිවේදන කලාවට පතාක යෝධයන් වගෙ දක්ෂයන් සිටියත්…අපේ සුජිවගෙ හැකියාවන් නිසාම අවස්ථාව ලැබුණා…”

” සුජීව සේවා ස්ථානයෙදි වගේම ගෙදර සිටියෙත් හරිම සතුටකින්..හැම වෙලාවෙම විනෝදයෙන්..සතුටින්…”

” සාමාන්‍යයෙන් වෙළඳ දැන්වීම් සේවයෙදි කලින් කලට නිවේදකයන් වරින් වර වෙනස් කෙරෙනවා..ඒත්..ඒත් …….එතුමා නික්ම යනතුරුම වෙළඳ වැඩ සටහන්වලදි නැතිවම බැරි කෙනෙක් වුණා…එයාගෙ හඬින් කියපු වෙළඳ දැන්වීම් තවමත් එහෙමම ඇහෙනවා…”

අපේ නිශාන්ති රණතුංග මහත්මිය බිමබලාගත්වනමය…ඈ හිස එසවූ විට ඈ දෑස රත්පැහැගැන්වී නැග ආ කඳුළු පිටතට එන්නට ඔන්න මෙන්න යැයි සිතුණු මම කතාව වෙනතකට ගන්නට වෑයම් කළද…සමාවන්න…..නෑ කමක් නෑ …අපි කතා කරමු” යැයි කියන්නී…

ඒ බිඳුණු ස්වරයෙනි…

” එතුමා හරීම ආදරණිය චරිතයක්…”

ඇයගේ හඬ මලානිකය..

අපේ සොඳුරු සුජීවයන් තම පවුලට ඉහළින්ම ආදරය කළේය..තමන් යුතුකම් හා වගකීම් මැනවින් හඳුනන පියෙකු බව ක්‍රියාවෙන්ම පෙන්වා දුන්නේය..තම හිතමිතුරු සේවනය හෘදයාංගම බව හිතමිතුරනට චර්යාවෙන් ප්‍රකට කළේය..ඒ නිසාම ඔහුට බොහෝ මිතුරෝද වූහ…

” අනේ නැහැ…එයා කේන්ති යන කෙනෙක් නම් නෙවි..කේන්ති නොයන චරිතයක්…හැබැයි එයාගෙ ගෝලයන් හරි වෙලාවට මැදිරියට නාවොතින් නම් කේන්තියෙන් කතා කරනවා…ඒ කේන්ති ක්ෂණිකවම නිවිලා යනවා.. පස්සෙ එයාගෙ දරුවන්ට වගේ ගෝලයන්ට ආදරෙන් කතා කරන්නෙ..”

රාජකාරිය අකුරට..නූලට සලකා කටයුතු කරපු කෙනෙක් සුජීව හරිස්චන්ද්‍ර කියල කියන්නෙ…තමන්ගෙ රාජකාරිය අකුරටම කළ කෙනෙක්…”

අපේ සුජීව නිවේදන කලාවට මගපෙන්වූ ඔහුගේ ගෝල පිරිස සියයකට අධිකය..

තමන්ද දෙවන පෙළ නිවේදකයකු ලෙසින් කටයුතු කළ සමයේදී දැවැන්තයන් මැදිරියකට වී වැඩ සටහන් මෙහෙයවන ආකාරය මැදිරියේ දොරටුව ළඟට වී බලාහුන් අයුරු පසුකලෙක තම බිරිඳට කීවේ ” ඒ දෙස බලා තමන්ද යමක් ඉන් ඉගෙනගත් බව කියමිනි..

එකල ඔහු සමඟ දොරටුව සමීපයේ සිට බලා සිටි අය අතර තිලකා රණසිංහ…චන්දන තිලකරත්න…ස්වර්ණ ගුණවර්ධන …ආදීහු පසුකලෙක කීර්තිමත් නිවේදක ශිල්පී හා ශිල්පිනියන් බවට පත්වූහ..

පසුකලෙක හෙතෙම ගුවන් විදුලියේ අභ්‍යාස ආයතනය හරහා අතුල රන්සිරිලාල් වැනි දැවැන්තයන්ගේ රූපවාහිනී සහ රේඩියෝ ඇකඩමියේ දේශකයකු ලෙසින්ද සහභාගි වූයේය..

එපමණක්ද නොව අපේ ආදරණිය සුජීව හරිස්චන්ද්‍රයන් පාසල් පද්ධතියේ මාධ්‍ය පාඨමාලා වලදී උපදේශකවරයකුද වූයේය..

මේ වනවිට ඔහු වෙතින් ගුරුහරුකම් ලද ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ද පුද්ගලික ගුවන් විදුලි නාලිකාවල කටයුතු කරති…

ආගම දහමටද භක්තිවන්තයකු වූ හේ තමන් හැදූ වැඩූ මවට දැක්වූ නොතිත් ප්‍රේමනීය බව අසමසමය…

” අනේ ඔව්..එයා එයාගෙ අම්මාට මහපුදුම ආදරයක් තිබුණේ..චුට්ටක් ඇත්නම් එයාගෙ හිත උණුවෙනවා..හරීම සංවේදී කෙනෙක්…එයා යන යන තැන මිතුරු ඇසුර නම් පිරිල තිබුණා…හරියට උදව් කරනවා..ඕනම කෙනකුට…”

බොහෝ කලාකරුවන් තුළ තිබුණාක් මෙන් ඔහුද දුම්වැටිය මත්වතුර ප්‍රියකළද හැමවිට ම තම පවුලේ සතුට සමගිය මුල්කොට සලකා සිටියේය..

දැන් අපේ සොඳුරු සුජීව හරිස්චන්ද්‍රයනට තමන් හදබැඳී ජීවන සහකාරිය මුණගැසී ඇත්තේය…ඔහුගේ ජීවන අත්වැල හමුවූයේද ගුවන් විදුලියේ සේවයෙහි නියුතු සෙවණේදීම ය..

මහනුවර…ලෙස්ලි රණතුංග සහ අයිරින් පෙරේරා දම්පතීන්ගේ ආදරණිය දියණියක වන පන්නිලගේ නිශාන්ති රණතුංග මෙනවිය ඔහුගේ දිවිසිරිතේ ප්‍රේමනීය පහන් කණුව හා සමාන වී…

ඒ 1999ක්වූ අගෝස්තු මස 12 වැනිදාය…

එම ආදරණිය විවාහයෙන් එම දෙපළට තිළිණ වූ දියණිය චාතූර්යා ජයශ්‍රීනී ය…ඕ උපාධියද සමත්ව දැනට ගෘහ නිර්මාණ ශිල්පිනියක ලෙසින් කටයුතු කරන්නීය…

ආදරණිය පුතු තරණ රුවන්ත හරිස්චන්ද්‍ර අන්තර්ජාතික වෙළඳ ව්‍යාපාර කළමනාකරණය හදාරමින් සිටී..පුතු ක්‍රිකට් ක්‍රීඩාවෙහි නිපුණය..ඉංග්‍රීසි මාධ්‍යයෙන් දැනට නිවෙිදක කටයුතු කෙරෙහි යොමු වී ඇති තම පුතණුවන් ගැන මව් නිශාන්ති කියන්නී…

“තාත්තාගෙ හඬ පුතාටත්..මම හිතන්නෙ පුතා පසුකලෙක මේ ක්ෂේත්‍රයට ඒවි…

නිශාන්ති යමක් කියන්නට මෙනි…

” දරුවන්ට හැමදේම දුන්නා.. කවදාවත් දරුවන් ට කිසිම දෙයකදි බලපෑම් කරන්නෙ නැහැ..දරුවන් කැමැති මඟක යන්නට එයා දරුවන් ට නිදහස දුන්නා. ”

නිවේදකයකු ලෙසින් පියෙන් පිය පෙරට එමින් මහත් පැසසුමට බඳුන් වූ ඔහු හොඳම ප්‍රවෘත්ති නිවේදක ලෙසින් තෙවරක්ම සම්මානිත විය.. ජනාධිපති සම්මාන…ඵතඪථ දඥතඵධද ස්වර්ණ සම්මානයෙන්ද රාජ්‍ය සම්මානයෙන්ද පිදුමට බඳුන් වූයේය…

දැන් අපේ සුජීව හරිස්චන්ද්‍රයන් ගුවන් විදුලියේ වෙළඳ සේවා අංශයේ ප්‍රධානියාය..එහි තරුණ පිරිසද සිටිති..සුජීවගේ ක්‍රමෝපායයන් ඔවුහුද අනුගමනය ක⁣රති…තරුණ පිරිස සමගද අපේ කතා නායකයා ඇසුරට වැටී සිටියේ සමවයසේ අය විලසිනි..

” සුජීව අයියා..”

ප්‍රේමනීය බව ඔවුනොවුන්ගේ යුගදිවියේ එකම මාවතය.. ඇයගේ ඇමතුම ඔහුට හුරුවූයේ එලෙසිනි.. ඔහුට ඈ නිශාන්ති ම විණි…

දිනෙක හෙතෙම තම දෑතින් මුහුණ වසාගෙනම කුඩා දරුවකු මෙන් හඬන්නට වූයේය. ඒ දෑස දු⁣ටු ඇයගේ දෑසද කඳුළටම නතු වන්නීය…ඈ ඔහු අස්වසාලන්නට වෑයම් කරන්නී…මවක මෙනි..

” සුජීව එයාගෙ අම්මා නැතිවුණු දවසේ ගොඩාක් දුක්වුණා..ඒ තරම් එයා දුක් වුණු දවසක් මං දැකලාම නැහැ…”

ඒ ටික කීවේ නිශාන්ති දෑස පිරි කඳුළිනි…

ඈ නිහඩවම පසුවී…දිගු සුසුමකින් ලය සැහැල්ලු කරගන්නට වෑයම් කරන්නීය..

දැන්..දැන් අපේ සොඳුරු සුජීවයන් තෙමේ වරින් වර රෝගාතුර වෙයි..හුස්ම ගැනීමේ බරපතළ අපහසුවකින් මෙනි…ඔහු දෑස තමන්ට බොහෝ දේ කියන්නේ යැයි ඇයට සිතුණිද…ඕ නිහඩවම හිඳීන්නීය…රෝහලට ඇතුළත් කෙරිණි..වහා ඔහුට ප්‍රතිකාර ලබාදුනි…අසනීප තත්ත්වය කෙමෙන් සුවවෙමින් යහපත් අතට හැරෙද්දී ප්‍රිය බිරිඳ නිශාන්ති සැනසුම් සුසුම් හෙළන්නීය..

දැන් අපේ සුජීව හරිස්චන්ද්‍රයන් පෙර පරිද්දෙන් සුවසේය..සුපුරුදු කවට කතා එහෙමමය..ඔහු ජීවිතයම සතුටක ගිලී ඇත්තේය…මේ අතරේදීය. දරු පවුලම පිටින් අඹේපුස්ස ප්‍රිය සාදයකට යන්නට සූදානම් වූයේ…

” එදා ගෙට් ටු ගෙදර් එකක්..එයා හරිම සතුටින් හැමෝම එක්ක විනෝද වුණා…සතුටින්ම හිටියා..නටලා..සින්දු කියලා එහෙම හොඳට විනෝදයෙන් උන්නා..එදා අපි රෑ අට වෙද්දි ගෙදරටත් ආවා…”

දවසේ වෙහෙස නොදැනුණා නම් නොවේ..එහෙත් ඒ බවක් නොපෙන්වා හේ සුවපහසු අසුනකට වී රූපවාහිනීය නැරඹුවේය..

” අනේ නිශාන්ති …මගෙ ඇඟට පණක් නැහැනේ..මට..මට..ඇවිදගන්නත් අමාරුයි වගේ…”

හේ ⁣සෙමින් වචන ගළපන්නට වූයේය..ඔහු සහයට අම්මා සමඟ පුතුද එක්ව වත්තම් කර ගියද ඔහු කෙඳීරිලි නඟන්නේය..

ඇය පුතුද සමඟින් වහා තම ස්වාමියා ජයවර්ධනපුර රෝහලට රැගෙන ආයේ දෑසේ පිරි කඳුළිනි..

ආදරණිය නිශාන්ති මහත්මිය.. බිමබලාගත්වනමය…

ඔහු බඩගිනියි යැයි කෙඳීරිලි හඬකින් ඇය දෙස බලා කීයේය…යෝගට් කෑවේය..

මේ කිසිවක් අදහාගත නොහී නිශාන්ති සිය හිමි වෙනුවෙන් කිසිවක් සිතාගත නොහී…හිටිහැටියේම සිහි විසඥව ඇද වැටුණාය…

ඇයට යළි ප්‍රකෘති තත්ත්වයට එනවිට…ඇසූ පුවතින් මහහඬින් හඬන්නට වන්නීය..

තම සුජීව පිළිවෙළට ඇඳ පැලැඳ ගමන් කරන සැටි..ඔහුට සරිලන ඇඳුම් තෝරන්නට තමන්ගේ සහය ලැබගන්නට කතා කළ සැටි…වැඩ කටයුතු පිළිවෙළට කළ සැටි ඇයට යළි යළි සිහිපත් වීමෙන් හඬා වැලපෙන්නට වන්නීය…

තම ආදරණිය සුජීව හරිස්චන්ද්‍රයන් ඒ වනවිට කිසිවකුට හෝ නොකියා නොදන්වා නික්ම ගිය බව දැනගත් ඕ තවත් හඬන්නට වන්නීය…

කීර්තිමත් සම්මානිත සුජීව හරිස්චන්ද්‍රයන්ගේ දේහය ගුවන් විදුලියට අවසන් ගෞරව පිණිස රැගෙන ආහ…වැඩිම කලාකරුවන් පිරිසකගේ අවසන් බුහුමනට පාත්‍ර වූ අපේ ආදරණීය සුජීව පෙරදා මෙන් දොඩමලු නොවී.. නිහඬවම දෑස්පියාගත්වනම සිටියේය.. හැම දෑසකම කියැවුණේ ඔහු වෙත පෑ ආදරයමය…

ගුවන් විදුලියේ අමතක නොවන ආදරණිය චරිතයක් ලෙසින් මතු මතුත් කතාබහට ලක්වන අපේ සොඳුරු සුජීව හරිස්චන්ද්‍රයන් නික්ම යන්නට වූයේ 2024ක්වූ සැප්තැම්බර් මස 08 වැනිදාය..

 

[email protected]

අමල් යශෝමන් ජයසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT