වර්ෂ 2017 ක්වූ ඔක්තෝබර් 17 වැනිදා අඟහරුවාදා




එකම පවුලක් ලෙස පෙළ ගැසී රූ ගැන්වෙන “සල් සපු නා”
මේ මමයි
‘සිරකාරි’ එක්ක හත් අවුරුද්දක්
මංගල තෑග්ගේ දෙවෙනි ගමන
මැණිකේ මම ආයේ ගෙදර එනවා
‘පත්තිනි’ හි සංගීතය භාරතීය හැඩතල සඳහා අපේ නාද රටා මුසු කළ පර්යේෂණාත්මක නිර්මාණයකි
ශාන්ත සොයිසාගේ ‘නෙතු’ රූගැන්වෙන ගොතටුව දර්ශන තලයට යමු
හාරකෝටිය තවම ඉවර නැහැ
The Good Karma Hospital අමරසූරිය වලව්වේ රූගැන්වූ
බහුජාතික සමාගම්වල ග්‍රහණයට යටවුණු ගමක් ගැන කියන වැහි බිත්තර
කෝපි කඩේට තිස් වසරයි
තුන්වැනි පරම්පරාවේ වංශවත් අරගලය
ෆ යනු වැලක් සහ ඩබල්, ඩබල් කෝච්චියක් එක්වූ ෆේස් ටු ෆේස්
මම ලකී ඩයස් ගෙනුත් ප්‍රයෝජනයක් ගන්න ඕනෑ
හිරු නාළිකාවේ ‘සෙවණැලි’ තනද්දී බියකරු සිදුවීමක්
ජනතාවට හොඳ සම්මාන උලෙළක් දීලා බැනුම් අහන්න මම බය නැහැ
තුෂාරි අබේසේකරගේ නවතම ටෙලි නාට්‍යය
ඤාව්වෙක් නළුවෙක් කළ එදිරි
සමනලුන්ට එන්න කියන්න අපි මහඉලුප්පල්ලමට ගියෙමු
එයාගේ වචන සිංහලත් නෙවේ ඉංග්‍රීසිත් නෙවේ
යුදකාමී රැජනකගේ වීර කාව්‍යය
ප්‍රේක්ෂක හදවත් උණුසුම් කරනා අපූර්ව ටෙලි සිත්තමක්
ජයලාල් රෝහණගේ අලුත් ම නැටුම
ටෙලි නිෂ්පාදනය ගැහැනු අපිට කොහොමද?
ආදරය ගින්දරක් 1 දා සිට
ජාතික රූපවාහිනියේ අලුත්ම විදේශීය ටෙලි නාට්‍යයක් ‘සූරිය දියණි’
බහුජාතික සමාගම්වල ග්‍රහණයට යටවුණු ගමක් ගැන කියන වැහි බිත්තර

බහුජාතික සමාගම්වල ග්‍රහණයට යටවුණු ගමක් ගැන කියන වැහි බිත්තර

තෝර පැළ යාය වැව ඉස්මත්තේ ඉඳගෙන තාලයකට නැටුවා. ගිනිගහන මද්දහනට සිසිලසත් අරගෙන මන්ද මාරුතය තාලයට හමාගෙන ගියේ ඒ නැටුමට තාල තියන්න වගේ. එක් පැත්තකට විහිද ගිය වැවත්, අනෙක් පසට විහිද යන කුඹුරු යායත් හද්ද පිටිසර සොඳුරු ග්‍රාමයක අපූර්වත්වයකුයි අපට ගෙනාවේ. ඈතින් පේන කඳු පෙළ වසා ගත් නිල් පැහැති අහස් කුස පැවසුවේ කුඹුරු වැඩ කරන්නට අද වරය දෙනවා කියන අදහස ඇතිව.

වැවත්, කුඹුරත් වෙන් කරන බන්ට් එක දිගේ ඇවිදගෙන යන අපගේ දෙනෙතට හසුවුණේ දණක් තෙක් වැටී තිබෙන තණකොළ ගොල්ල. තණකොළ ගොල්ල මත වැවුණු තුත්තිරි අපගේ ගමන ප්‍රමාද කරන්නට වගේ තරගයට ඇඳුමේ එල්ලුණා. වෙල්යායේ ලියැදි කිහිපයකින් ම මතුවුණු රටකජු පැළවල දලු හිරු කිරණ බදා වැලඳ ගත්තා. තවත් ලියැද්දක අව්වට අඳුරු පැහැ ගැනුණු මුහුණු සහිත ලියන් කිහිපදෙනෙක් එකසීරූවට වැඩ. යල කන්නයේ ගොයම් කපා පාගා තිබුණු කුඹුරේ දැම්ම රාබු වගාව උගුල්ලන ඔවුන් ලියැදි උඩ ඒවා ගොඩ ගැසුවේ එකිනෙකා පරයන අදහසින්.

ඒ අතරින් තිබුණු ලියැද්දක් කැපිලා පෙනුණේ පොළොව සකසලා නිසා. ඒ ළඟ ම තිබුණු පිදුරු ගොඩක් අසල උන්නේ යුවතියක්. චීත්ත ගවුමකින් ගත සරසා ගත් ඈ අත වෙලා ගත්තේ පිදුරු මිටියක්. ඒ යෝධ පිදුරු මිටියේ තරම කොයිතරම් ද කිව්වොත් එහි බරට එක්වරම ඈ ඇදගෙන වැටුණා.

කුරුණෑගලින් සැතපුම් තිස්පහක දුර ගිය තැන පිහිටි උතුරු වැල්ල හද්දා පිටිසර ගම්මානයේ රූගත කෙරුණේ ‘වැහි බිත්තර’ නවකතාවෙන් ටෙලිනාට්‍යය පිටපතක් බවට පත්වුණු ‘වැහි බිත්තර’ ටෙලි නාට්‍යය. එය අධ්‍යක්ෂණය කරන්නේ ආදරණීය කරුණාරත්න අයියා. මේ දවස්වල රූපවාහිනියෙන් විකාශය වන සාම්ප්‍රදායික ආදර කතාවලට වඩා වෙනස් වුණු කතාවකුයි ‘වැහි බිත්තර’ ටෙලි නාට්‍යයෙන් කියැවුණේ. ඒ කියන්නේ මීට වසර ගණනකට පෙර ආරම්භ වුණු කතාවක් ගැන.

ඒ කාලයේ කුඹුරු අස්වැද්දුවේ ගෙරිකටුවලින්. එහෙමත් නැත්නම් දේශීය අමුද්‍රව්‍ය කුඹුරට දමලා. ඒ නිසා ම එදා තිබ්බ මාවී, සුවඳැල් වීවල අස්වැන්න ගෙවිලියෝ ගෙට ගත්තේ බොහොම ආඩම්බරයෙන්. ඒත් කාලයක් යද්දි අපේ ම කෙම් ක්‍රම, අස්වැද්දුම් අපෙන් ගිලිහුණේ ඉබේට ම. ඒ වෙනුවට අපේ කුඹුරට ආවේ නොයෙක් කෘමිනාශක වර්ග. විවිධ නම්වලින් ඇවිත් ගොවි මහත්වරුන්ට විවිධ මාදිලියේ රැඟුම් පෑ මේ බහුජාතික සමාගම්වල අණසකට ලක්වුණු ග්‍රාමයක කතාවයි ‘වැහි බිත්තර’ නමින් ටෙලි නාට්‍යයට නැඟෙන්නේ.

අතීතයේදි බහුජාතික සමාගම්වල අණසකට ලක්වුණු ඒ සොඳුරු ග්‍රාමයෙත් එක් නියෝජිතයකු සිටියා. ඒ මංගල මුදලාලි. නාගරික ලක්ෂණ ගමට අරගෙන එන මංගල මුදලාලි ව්‍යාපාර කළේ බහුජාතික සමාගම් එක්ක. ඒ කියන්නේ විෂ පොහොර. කෘමිනාශක සමඟ. ඔහු එක් එක් ගොවියාව තමන්ගේ අණසකට නතුකර ගන්නේ කුඹුරු කිරීමට පහසු ක්‍රමයක් ගැන ඔවුන්ට පවසමින්. ඒ පහසු ක්‍රමය එකින් එක පහදද්දි ග්‍රාමයේ ගොවියෝ මංගල මුදලාලි දෙස බලාගෙන ඉන්නේ විශ්ව කර්මයා දෙස බලන්නා වගේ.

මේ ගමේ හැම වැඩකට ම මුල්තැන ගන්න වැඩිහිටියා වුණු මුදියන්සේ මාමාත් ඒ කතා ඒ විදියට ම අහගෙන සිටියා. මේ කතා අහන විටයි ඔහුට සිතුණේ මුදියන්සේගේ අප්පච්චි කුඹුරු කරන්න කොයිතරම් නැහුණ ද කියලා.

“අපරාදේ”

ඔහුට සිතුණා. සාම්ප්‍රදායික ගොවියකු වුණු මුදියන්සේගේ අප්පච්චි කිව්ව දේවල් තඹයකට මායිම් නොකළ මුදියන්සේ මංගල මුදලාලිට කිට්ටු වුණේ දෙවියකු කියලා සිතාගෙන. කාලයක් යද්දියි මුදියන්සේට යමක් වැටහෙන්නේ. මුළු ගමට ම එක එක ලෙඩ. වෙනදා බොහොම අපූරුවට තිබුණු වතුර ටික බොන්න බැහැ. මේ තරම් කාලයකට නොතිබුණු වකුගඩු අසනීපයක් මුළු ගමේ ම හිස ඔසවලා. වසංගතයක් වගේ.

“හැමෝම වගේ ගමදාලා යනවා.”

මුදියන්සේ කිව්වේ බොහොම දුකෙන්. හැම තත්පරයකදි ම ඔහුට මතක් වුණේ තමන්ගේ අප්පච්චිව. ඔහු දුන්නු අවවාද. ඔහුටත් වඩා මේ සිදුවීමෙන් අකම්පාලු වුණේ මුදියන්සේගේ දෝණියන් දෑ. සුනේත්‍රා. ඈ ඒකට කිව්වේ අපූරු කතාවක්.

“ගම දාලා ගිහින් හරියන්නේ නැහැ. මේ ක්‍රමයයි වෙනස් කරන්න ඕන.”

ගමෙන් ඈතට යන්න තතනන තමන්ගේ දොස්තර සහෝදරයට ඈ කියන දේවල් අහන්න ඉන්න වෙලාවක් නැහැ. ඇරත් එයාට වෙන අයගේ ප්‍රශ්න අහන්න වෙලාවක් නැහැ. කියන දේ නාහන නංගිත්, තාත්තාත් ගමේ දමලා ඔහු පිටත් වුණා. හැමෝගෙන් ම වෙන්වෙලා වසන අදහසින් වෙනත් ගමකට.

ක්‍රමය වෙනස් කිරීමේ වෙනස ගැන කතා කළ සටන ගෙන යන්න සුනේත්‍රාට උදවු කරන්න කෙනෙක් ළංවුණා. ලාල් නම් තරුණයා. මංගල මුදලාලිගේ පැත්තේ සිටි ඔහුව වෙනස් කළෙත් සුනේත්‍රාමයි. ඈ ඔහුත් එක්ක සාම්ප්‍රදායික විදියට ගොවිතැනට යළිත් පණ දෙනවා. ඒ ටිකෙන් ටික.

කාලය ගත වෙලා යනවා නොදැනීම. සුනේත්‍රා මංගල මුදලාලිව පරාජය කරනවා. විනාශ වුණු ඒ අපූරු අතීතයක් තිබුණු බව යළිත් ගමට ම මතක් කරලා දෙන්නේ සුනේත්‍රා. වැලළුණු අතීතයක ශ්‍රී විභූතිය අපගේ මතකයට නඟන්නේ ඈ. ඒ ඔස්සේ ඈ කතා කරන්නේ රූපවාහිනි නරඹන්නන්ට. වස කකා ජීවත් වන ඔවුන්ටයි ඈ කතා කරන්නේ.

සුනේත්‍රාගේ චරිතයට පණ පොවන්නේ ටෙලි සිත්තම්වලට අලුත් මුහුණක්. ඈ පෝෂිනී දිසානායක. සුනේත්‍රාගේ අප්පච්චි ප්‍රවීණ නළු ඩග්ලස් රණසිංහ. කාලයකට පස්සේ වෙනස් ම චරිතයකට පණ පොවනවා. ලාල් ඔබට දැකලා පුරුදු මුහුණක්. ඒ කලණ ගුණසේකර. ඔහු වගේ ම රිචඩ් අබේවර්ධන, චන්ද්‍රසේන බිංදුහේවා, උපුල් සංජීව, දිලාන් අසංක, නිරෝෂා මෛත්‍රී, බර්ටි සුසිරිපාල, මිහිරි තක්ෂිලා, ඉමාෂා ද සිල්වා, අමිල චින්තක ‘වැහි බිත්තර’ හැඩ කරනවා. කැමරා අධ්‍යක්ෂණය සුනෙත් හෙට්ටිආරච්චිගේ. සහය අධ්‍යක්ෂණයෙන් සහය වන්නේ ඉන්ද්‍රජිත් චන්ද්‍ර කුමාර හා විශ්ව. ඇඳුම් නිර්මාණය සුමති මුදලිගම. වේශ නිරූපණය සරත් රණවීර හා රොඩ්නි. නිෂ්පාදන කළමනාකරු රන්ජන් ප්‍රේමතිලක. කලා අධ්‍යක්ෂණය සුමති කුඩලිගම. නිෂ්පාදන සම්බන්ධීකරණයෙන් කීර්ති රත්නායකත්, ප්‍රවාහන කළමනාකාරිත්වයෙන් සමීර මධුශංකත් ‘වැහි බිත්තර’ සඳහා සහය වනවා. නිෂ්පාදක රවිචන්ද්‍ර ග්‍රීන් විලේජ් වෙනුවෙන් රවීන්ද්‍ර ගෝමස්. හේ පරිසරවේදියෙක්. තමන් අවට සිටින පරිසරයට ආදරය කරන්නෙක්.

කතාව හා පිටපත අපේ මාධ්‍ය සඟයකු වුණු ගාමිණී කන්දේපොළගේ. ඒ අපූරු අදහසක් ගත්ත නවකතාව ටෙලි සිත්තමක් බවට පත් කරන්නේ ඒ.එච්. කරුණාරත්න. ඔහු ගහකොළට, සතාසිවුපාවාට, මහපොළොවට, අපේ කමට ආදරය කරන අපූරු අධ්‍යක්ෂවරයෙක්. ප්‍රේමය ගැන පමණක් කතා කරන හෝරා කිහිපයකට, නරඹන්නන්ගේ සිතේ වෙනස් ම හැඟීමක් ජනිත කිරීමට දරන උත්සාහයක්. ඒ උත්සාහය වඩාත් අර්ථවත් විදියට ගීත කිහිපයකින් නරඹන්නන්ට දන වන්නේ අනාගතයේ බලාපොරොත්තු තබාගත හැකි සුජිත් ප්‍රසංගගේ ගේයපද රචනයෙන්. එය දැන්වීමේ වැඩේ හවුල්කාරයන් විදියට දායක වන ප්‍රවීණ ගායන ශිල්පිනියක වන නිරෝෂා විරාජිනිත්, සංගීතඥ සමන් පනාපිටිය ඇතුළු පිරිසත් මතකයට නැඟිය යුතුමයි. නම් කී නොකී මේ සියල්ලන්ගේ ම එකමුතුවෙන් ළඟදී ම ‘වැහි බිත්තර’ ඔබ හමුවට ඒවී. විමසිල්ලෙන් ඉන්න. අප ඔබගෙන් ඉල්ලන්නේ සුහද සිතින්.