මේ කතාවම නොව එක් පරිච්ජේදයක් පමණයි

ඉලන්දාරියෝ ගැන එරංග සේනාරත්න
අප්‍රේල් 8, 2021

 

1994 වර්ෂයේ දී 'පළමු පත්වීම' නම් ටෙලි වෘත්තාන්තය නිර්මාණය කරමින් ටෙලිනාට්‍යකරණයට පිවිසෙන ඔහු 'ඉර හඳ යට', 'ආදරවන්තයෝ', ' පූජා', 'දෙපත්නයි' ආදී වශයෙන් එදා මෙදා තුර ටෙලි නාට්‍ය 34 ක සංඛ්‍යාවක් විවිධ නාළිකා ඔස්සේ ප්‍රේක්ෂකයාට ගෙන එමින් ශ්‍රී ලංකාවේ ටෙලි නාට්‍ය වංශ කතාවේ පරිච්ඡේදයක් වෙන් කරගත් ඔහු නමින් එරංග සේනාරත්න වේ. සිය නිර්මාණ දිවියේ වසර 8කට පසු කළ නිර්මාණය මේ දිනවල සියත නාළිකාව ඔස්සේ ප්‍රේක්ෂකයාට ගෙන ආවේය. තවත් නොබෝ දිනකින් සමාප්තිය සනිටුහන් කරන්න බලාපොරොත්තු වන මේ නාට්‍යය පිළිබඳ කතා කරන්න අපේ ටෙලි කතාවේ ඉඩ වෙන් කළෙමු.

 

ලංකාවේ විවිධ ප්‍රදේශවල ජීවත් වූ තරුණයෝ හතර දෙනෙක් එකම බෝඩිමකදි මුණ ගැසෙනවා. කොළඹ නගරයට සංක්‍රමණයවෙලා ඔවුන් ජීවත් වෙන්න විවිධ වෘත්තීන්වල නියැළේ. ඒත් සමඟම මේ අය හැමෝම එක්තරා ආකාරයට මුදල් සොයා ගැනීමේ නො එසේනම් ජීවත් වීමේ ලොකු අරගලයක යෙදී සිටී. මේ තරුණයන්ගේ වෑයම මොන ආකාරයකින් හෝ තමුන්ට ආර්ථික ශක්තියක් ඇති කරගෙන ජීවිතේ ගෙවන්නටයි.

 

එරංග සේනාරත්න

දිගු නිහැඩියාවකට පසු ඇයි මේ වගේ නාට්‍යයක් කරන්න හිතුවේ?

රටේ තිබුණ ටෙලි නාට්‍යවල එක්තරා සාම්ප්‍රදායික ‍රාමුවක් තිබුණා. ඒකාකාරී බවක් තිබුණා. ඒ නිසාම වෙනස් තේමාවකට යන්න මට අවශ්‍ය වුණා. මෙහි තිර රචක සුනන්ද සිල්වා සහ මම සාකච්ඡා වට කිහිපයක් කර එහි ප්‍රතිඵලයක් ලෙසයි මෙහි එන කතා වස්තුව අප තෝරා ගත්තේ. එය එක්තරා විදිහක අභියෝගයක් වුණා. මා මෙහි ප්‍රධාන චරිත නිරූපණයන් සඳහා යොදාගත් තරුණයන් හතරදෙනාම ( සංගීත් ප්‍රභූ, හර්ෂන බෙත්මගේ, රජිත හිරාන් චාමිකර, ශශිරංග වික්‍රමසේකර ) ක්ෂේත්‍රය තුළ ඉතාම කාර්යබහුලයි. ඔවුන් එකතු පහදු කරගෙන මේ වැඩේ කරනවා කියන්නෙම එය ලොකු අභියෝගයක්. නමුත් නළු නිළියන්ගෙන් මට ලොකු සගයෝගයක් ලැබුණා. මේ ගෙවුණ කාලය තුළ කිසිම වෙලාවක කිසිම ප්‍රශ්නයකට ගැටලුවකට මුහුණ දෙන්න සිදු වුණේ නෑ. ඉතාම සහයෝගයෙන් මිත්‍රත්වයෙන් විශ්වාසයෙන් කටයුතු කළා.

 

ඔබ මේ නිර්මාණයෙන් අලුත් මුහුණු බොහොමයක් කරළියට ගේනවා?

ඔව්. මේ ටෙලිනාට්‍යය හරහා විවිධ දක්ෂතා තියෙන කිහිප දෙනෙක්ටම මට අවස්ථාව ලබා දෙන්න හැකියාව ලැබුණා. මීට කලින් කල නිර්මාණවල වුණත් මම හැමවෙලේම උත්සහා කළේ හැකියාව තියෙන අයට අවස්ථාව ලබා දීමට. මේ නිර්මාණය තුළ එන අරලියා (නිලූෂි පවන්‍යා)ගේ ප්‍රථම ටෙලිනාට්‍යය මෙයයි.ඒ වගේම ගායනයෙන් ප්‍රනීත් ශිවන්ත, සම්පත් රංගන, අසංක මෙන්ඩිස් වගේ අයව මට හඳුන්වා දෙන්න පුළුවන් වුණා. මේ වන විට සමාජ මාධ්‍ය හරහා ලැබෙන ප්‍රතිචාර එක්ක බැලුවම පේනවා මේ ආකාරයෙන් අලුත් මුහුණු නිර්මාණයට සම්බන්ධ කරගැනීම කොයිතරම් යහපත්ද කියන වග.

 

ටෙලි නාට්‍යය නිර්මාණය කරලා ඔබ කාලයක් ඉන්නවා මෙහි විකාශයට. මොකද්ද හේතුව?

ඔව්. 2018 වසරේ දී රූ ගත කිරීම් ආරම්භ කළත් වසර දෙකක පමණ කාලයක් මෙහි විකාශය ලබා ගන්නට මට අරගලයක යෙදෙන්න සිදුවුණා. නාළිකා කිහිපයකින්ම අනුමැතිය ලැබිලා 2020 අවුරුද්දෙ අප්‍රේල් මාසේ තමයි මෙහි විකාශය ආරම්භ කිරීමට තිබුණේ. නමුත් කෝවිඩ් වසංගත තත්ත්ව හමුවේ මෙහි විකාශන කටයුතු නතර වුණා. ඇත්තටම මේ වෙලාවෙදි මම සියත නාළිකාව මතක් කළ යුතුයි. පවතින වසංගත තත්ත්වය හමුවේ වුවත් ඔවුන් මේ නිර්මාණය භාර ගත්තා. ඒ ලැබුණු අවස්ථාව මා ඉතාම හොඳීන් ප්‍රයෝජනයට ගෙන හොඳ නිර්මාණයක් ප්‍රේක්ෂකයාට ලබා දුන්නා යන්නයි මගේ හැඟීම.

 

ප්‍රවීණ රංගන ශිල්පිනී මියුරි සමරසිංහගේ අවසාන රඟපෑම දක්නට ලැබෙන්නේ ඔබේ නාට්‍යයේ?

මියුරි සමරසිංහගේ අවසාන රූ ගත කිරීම් තිබුණේ ඇය මිය යන්න සති දෙකකට ප්‍රථමව. ඇගේ දියණියක් මට ඇගේ අවමංගල්‍යය අවස්ථාවෙදි මුණ ගැසුණම ඇය කිව්වේ ඔය අවසාන රූ ගත කිරීම්වලට සම්බන්ධ වනවා කියන එක අපිට කියලා නෙවෙයි ගියේ. ලියුමක් ලියලා තමයි ගිහින් තුබුණේ කියලා. ඒ ඇගේ වෘත්තීය මට්ටම. මේ වැඩේට මම යා යුතුමයි කියන හැඟීම. ඇයට විවේකීව ඉන්න කියලා වෛද්‍ය උපදෙස් ලැබී තියෙද්දිත් රූ ගත කිරීම්වලට සම්බන්ධ වුණා. මේ විදිහේ දැඩි කැපවීමක් ඇය අවසාන කාලයේ දී පවා සිදු කළා. ඒ කැපවීම අගය කළ යුතුයි.

රූ ගත කිරීම් වලදී අඟේ ලේ වතුර වුණ අවස්ථා ඇති?

අපෝ ඔව්. මෙහි ගීතය රූ ගත කිරීමේදී එක් අවස්ථාවක රූස්ස ගහකට නඟින්න වෙනවා. ඒ ගොඩ වෙද්දි ඉලන්දාරීන්ට වගේම ඔවුන්ගේ පෙම්වතියන් වන මේ තරුණියන්ද ඒ ගහට නඟින්න ඕන. මේ ජවනිකාව අප රූ ගත කළේ එක්තරා හෝටලයක. ඉතින් මට අවශ්‍ය වුණා මේ කණ්ඩායම කොහොමහරි ගහට ගොඩ කරන්න. නොසිතු ලෙස නිලූෂි පවන්‍යා( කතාවේ අරලියා) මේ ගහේ මුදුණටම නැංඟා. අර තරුණයෝ සියල්ල පරයා නිලූෂි ගහ මුදුණේ. රූ ගත කිරීමෙන් අනතුරුව මම අහුවා ඔයා මාර ළමයෙක්නේ මම කීයටවත් බලාපොරොත්තු වුණේ නෑ ඔයා මේ තරම් උඩට නඟියි කියලා කොහොමද එහෙම කළේ කියල. ඇය කිසි ගාණක් නැතුව කිව්වා මට මේවා ගෙදර ඉන්න කාළේ හොඳට පුරුදුයි. ඒ නිසා මට ප්‍රශ්නයක් වුණේ නෑ කියලා. ඒ අවස්ථාව දැන් මතක් කරද්දිත් මට බය හිතෙනවා.

 

මේතාක් හාස්‍යයජනක චරිත නිරූපණය කළ රජිතව (පිංපොං) ඔබ වෙනස්ම තැනක තියලා?

ඔබ කිව්වාක්මෙන් රජිත හිරාන් අපිට බොහෝ වෙලාවට මුණ ගැහෙන්නේ හාස්‍යජනක චරිත තුළින්. නමුත් මේ නාට්‍යයේ සම්පූර්ණ වෙනස් චරිතයක් ඔහු නිරූපණය කරන්නේ. රජිත කියන්නේ සාමාන්‍ය ජීවීතය තුළ සරල සැහැල්ලු කටකාර කොල්ලෙක් වුණත් චරිතයක් භාර දුන්නම ඉතාම කැපවීමෙන් හා වගකීමෙන් මැනවින් කරන ශිල්පියෙක්. මාගේ නිර්මාණ බොහොමයකදි රජිත මා සමඟ වැඩ කරලා තියෙනවා. ඉතින් මේ සදේශ් කියන චරිතයේ චරිත ස්වාභාවය මම රජිත තුළින් දුටුවා. අපිට තිරය තුළ පේන රජිතට වඩා වෙනස් ඇත්ත ජීවිතයේ රජිත. ඔහුට විශේෂ කුසලතාවයක් තියෙනවා චරිතයක ඇති හැඩයන් වර්ණයන් හඳුනා ගැනීමට. එය තමයි මූලිකවම හේතු වූයේ ඔහුව සම්බන්ධ කර ගැනීමට. ඔහු චරිතයට උපරිම සාධාරණයක් කළා. මගේ විශ්වාසය තහවුරු කළා.

තේමා ගීතය හරි ජනප්‍රියයි නේද?

මෙහි සංගීත අධ්‍යක්ෂවරයා ලක්ෂණ ජයසේකර. ඔහු ඉතා විශිෂ්ට ලෙස මෙහි පසුබිම් සංගීතය හා නිර්මාණයට අවශ්‍ය තේමා ගීතය නිර්මාණය කළා. තේමා ගීතය නිර්මාණය පුරාම මා යොදා ගත්තා. ඔබ සඳහන් කළා වගේම 'ඉලන්දාරියෝ ඉලන්දාරියෝ අපි' කියන මේ ගීතය බොහෝ සෙයින් ජනප්‍රියයි. මේ ගීතය ගායනා කළේ නව පරපුරේ ගායක ප්‍රනීත් ශිවංක. මටත් අවශ්‍ය වුණේ ප්‍රවීණයන් වෙනුවට නවකයන්ට අවස්ථාව ලබා දීමට. ප්‍රනීත්ගේ හඩත් ගීතයට හොඳටම ගැළපුණා. ඒ වගේම මෙහි පද රචනය දීපාලී රොෂාන්ති සේනාරත්නගේ. ඇය මගේ නිර්මාණ බොහොමයකට ගී පද රචනා කර දී තිබෙනවා. ඇගේ පද රචනා ඉතා ඉක්මනින් ප්‍රේක්ෂකයා අතරය යනවා. මේ ගීතය ජනප්‍රිය වෙන්නත් රචනය බොහෝ සෙයින් බලපෑවා.

 

රූ ගත කිරීම් කළේ?

රූ ගත කිරීම් සියල්ලම කොළඹ සහ කොළඹ අවටයි සිදු කළේ. විශේෂයෙන්ම මොරටුව, පානදුර, වාද්දූව,කළුතර, හොරණ වගේ ප්‍රදේශ වල රූ ගත කිරීම් කළා.

මේ ටෙලි නාට්‍යය තවත් දීර්ඝ වෙයිද?

ඇත්තෙන්ම මේ තරම් කාලයක් ප්‍රේක්ෂකයා වැලඳගත් මේ නාට්‍යය තුළ ප්‍රේක්ෂකයාගේ ප්‍රශ්න ගණනාවකටම යම් ආකාරයක පිළිතුරක් ලැබෙයි. මෙහි එන සිදුවීම් ඉදිරියටත් සමාජය තුළ සිදුවේවී. ඒ නිසා මෙය සමස්ත කතාවේ අවසානය නොවේ එක් පරිච්ඡේදයක් පමණයි. කොටස් 65 කින් සමන්විත වූ ඉලන්දාරියෝ පළමු කොටසේ නිමාවයි මේ. නමුත් අපගේ බලාපොරොත්තුව යළි දෙවෙනි කොටසකින් හමුවෙන්නයි.