ගණ වැරදිලා විපත් වෙලා

හදවිල අරණ අධ්‍යක්ෂ ලක්ෂ්මන් පුෂ්පකුමාර
මාර්තු 25, 2021

1982 වර්ෂයේදී ඔහුගේ පළමු වේදීකා නාට්‍යය වේදීකාගත වීමත් සමඟ නාට්‍ය කරණයට පිවිසෙන ඔහු ඒ වන විට වයස අවුරුදු දහ අටක තරුණයෙකි. වේදීකාව තුළ රංගනයෙන් දස්කම් පෑ මේ තරුණයා 1996 දී ස්වාධීන රූපවාහිනී නාළිකාවේ විකාශය වූ ' කප්රුක සෙවන ' තුළින් ටෙලිනාට්‍යකරණයට පිවිසෙයි. 'සුදු හාමිනේ', 'සරා සහ සුබා', ' රන් බැඳී මිනිස්සු', ' හඳපානා ගල', ' නිසළ නිම්තෙර', ' පිණි මුතු වැස්ස', ' හිරු සොයා', ' අපේ ආදරේ' ආදී අතිශය ජනාදරයට පත් වූ ටෙලිනාට්‍ය සමඟ එදා මෙදා තුර ටෙලිවෘතාන්ත පනස්පහකට ආසන්න සංඛ්‍යාවක් නිර්මාණය කර ඇත. මේ පැමිණි අවුරුදු විසි පහක කාලය තුළ කලා ලොවට ඔහු හඳුන්වාදුන් පිරිසද ඉමහත්‍ ය. මේ දිනවල ස්වාධීන රූපවාහිනී නාළිකාව ඔස්සේ සතියේ දිනවල (බදාදා හැර) රාත්‍රී 7.00 ට විකාශය වන ' හදවිල අරණ' ටෙලිනාට්‍යයේ අයිතිකරුවාද ඔහුයි. ඔහු නමින් ලක්ෂ්මන් පුෂ්පකුමාර.

'දුර්ලබ ජන ගීතය සොයාගෙන යන කතිකාචාර්යවරයෙක් ඒ පිළිබඳ පර්යේෂණ කෘතියක් කිරීමට සීගීරී ගමට යයි. ඔහු ඉන්දියාවේ භාත්කණ්ඩ විශ්වවිද්‍යාලයෙන් ගායනය හා වාදනය ඉගෙනගත් සංගීත් නිපුන් කෙනෙකි. එහිදී ඔහුට රාජගුරු කලායතනය හමුවේ. ඒ කලායතනයේ දරුවන්ට උගන්වන ගුරුවරියකි. ඇය නදී. නදී ඉතාම දුප්පත්, අහිංසක, වළං හදන ගෙයක ජීවත්වන ගැහැණු ළමයෙකි. මේ තරුණියට සහජයින්ම ගායනයට හොඳ හැකියාවක් තිබේ. මේ හැකියාව දැක ඇයව විශාරදවරියක් දක්වා ඉදිරියට ගේන්න මේ සංගීත කතිකාචාර්යවරයා උත්සාහ කරයි. ඒ උත්සාහයේදී ඔහුගේ පොත එළිදක්වන දවසේ ජන ගී ආශ්‍රිතව නිර්මාණය වූ ගීතයක් ඒ උත්සවයට එකතු කරයි. මෙය ප්‍රවෘත්තිවලට පෙන්වයි. ඒ තුළ නදීගේ ගායන හැකියාව බොහෝ දෙනා දැනගනී. පසුව වර්තමානයේ ඇති හරසුන් ගීත නිර්මාණය කරන සී ඩී නිෂ්පාදකවරුන් නදීව සොයා යයි. ඒ තුළ ඇයව ගායිකාවක් කිරීමට ගන්නා උත්සාහය, ශ්‍රමය හා හැකියාව සූරා කෑම, බොළඳ නවරැල්ලේ ගීත ගායනයට පොළඹවා ගැනීම යන කාරණා මතු වෙද්දී පසන්ගේ උත්සාහය මේ රැල්ලෙන් නදීව බේරාගන්නයි. බේරගෙන ඇයව විශාරදවරියක් කිරීමට මේ සමාජයට මුදා හැරීමටයි. ඇගේ සහජ හැකියාවෙන් මුදල් උපයන්න වෙර දරන කණ්ඩායමක් හා ඇයව යහපත් තැනකට ඔසවා තබන්නට උත්සාහ දරණ කණ්ඩායමක් අතර ඇති වන මත ගැටුම, මත භේදය මේ නාට්‍ය පුරා දිගහැරේ. තවත් අතකට කිවහොත් ව්‍යපාරිකයා හා ප්‍රබුද්ධ ගණයේ සංගීත කතිකාචාර්යවරයෙකුගේ ප්‍රයත්නය අතර ඇති ඝට්ටනය ' හදවිල අරණ' ටෙලි සිත්තමෙන් කියැවේ.

මෙවන් වූ ටෙලිනාට්‍යකට ජීවය සපයන මෙහි අධ්‍යක්ෂ ලක්ෂ්මන් පුෂ්පකුමාර හා එක්ව සරසවිය අප කළ කතාබහකි මේ...

 

මේ සෑම දර්ශන තලයකම ඈතින් සීගීරි පර්වතය දිස් වෙනවා. මේකට විශේෂ හේතුවක් තිබුණද?

හේතුව තමයි මේ නාට්‍යයට මම මුලින්ම නම දාලා තිබුණේ '' සීගීරී ගීතය '' කියලා. එයින් මම අදහස් කළේ සීගීරියේ ජීවත්වන මිනිසුන්ගේ කතාව යන්නයි. ඒ නිසා සීගිරිය ආශ්‍රිතව මේ හැම දර්ශන ඉසව්වකින්ම සීගීරිය පේන ආකාරයට රූ ගත කිරීම් සිදු කිරීමට මට අවශ්‍ය වුණා. තවත් අතකට මේ කතාවේ සත්‍යයතාවය පේන්නේ සීගිරි ගල ඈත පසුබිමේ පෙනෙන විටයි. අපේ නාට්‍යවල බොහෝ විට වෙන්නේ පළවෙනි දර්ශන වාරවල පමණක් සීගිරි ගල පෙන්නලා ඉතිරි ඒවා ඔක්කෝම කොළඹට ළඟ ප්‍රදේශවල රූ ගත කරනවා. මට ඕන වුණා මුළු නාට්‍යය පුරාම සීගිරිය පෙන්නන්න. සීගිරි ගල දුටුවිට ඇතිවන හැඟීම කියලා නිම කරන්න බෑ

 

'සීගීරි ගීතය ' ' හදවිල අරණ ' බවට පත්වෙන්නේ ඇයි?

සීගීරි ගීතය මම කරන්න පටන් ගන්නේ 2014 වර්ෂයේ. ඒ කාලේ තමයි මම සීගීරිය පීරලා මේ ලොකේෂන් හෙව්වේ. හොයනවිට මට සීගීරි ගල ගෙයක් හම්බුණේ නෑ. ඉතින් මට සිදුවුණා ඉඩ්ම් කෑල්ලක් අරගෙන ගෙයක් හදන්න. කටුමැටිවලිනි මම ගෙයක් හැදුවා. ඒ ගේ හදන අතරතුර එය හදන්න ගිය කලා අධ්‍යක්ෂ අනතුරකට ලක් වුණා. සහාය අධ්‍යක්ෂ අනතුරකට ලක් වුණා. මෙහි නිෂ්පාදක ලෙස හිටපු ජගත් විජේනායක නැතිවුණා. මෙහි ප්‍රධාන චරිතය නිරූපණයට සිටි ශිල්පිනියට පෞද්ගලික කාරණාවක් නිසා සහභාගී වෙන්න බැරි වුණා. මහ ගංවතුරක් ඇවිත් අර හදපු ගෙවල් ඔක්කොම කැඩුණා. අන්තිමට දයා තෙන්නකෝන් නැති වුණා. මේ වගේ මේ වැඩේට බධා වෙන පුදුම සහගත දේවල් රැසක් එකක් ඉවරවෙනකොට එකක් සිදුවුණා. ඒ හැම දේම එක්ක මම කල්පනා කළා මේකේ මොකක් හරි අවුලක් තියෙනවා කියලා. නමුත් මට තේරුණේ නෑ. මම ඊට පසුව ඝණ බැලෙව්වා. එහිදී කිව්වා මේ නමේ ඝණ ප්‍රබලයි කියලා. ප්‍රබල වුණාම මේ වගේ දේවල් වෙනවා කියලා. මට ඒ කතාවට අවනත වෙන්න සිදු වුණා. මොකද මේ අනුන්ගේ ජීවිත. පසුව මම ' හදවිල අරණ' කියලා නම වෙනස් කළා. ඊට පසුව තමයි මේ කාරණා සියල්ල යහපත් අතට හැරුණේ.

 

මේ නාට්‍ය තුළ බාහිර ක්‍රියාකාරකම් වැඩියි. වළං හදන්න සකපෝරුව ක්‍රියා කරවීම, ගීත ගායනා කරන්න, රාග කියන්න, සංගීත භාණ්ඩ වාදනය කරන්න ආදී වශයෙන්. ඒ සඳහා කොහොමද නළු නිළියන් තේරීම කළේ? මොනවගේ උපක්‍රමද භාවිත කළේ?

සාමාන්‍යයෙන් මම නාට්‍යක් ලියනවිට නළු නිළියන් පිළිබඳ හිතලා ලියන්නේ නෑ. එහෙම චරිත ගැන හිතලා ලියන්න තරම් නළු නිළියෝ ලංකාවේ නෑ. හැමදේම පුළුවන් අය හිටියත් ඉන්නේ අතලොස්සක්. එහෙම වුණත් ඊළඟට පෙනුම පිළිබඳ ප්‍රශ්න. නාට්‍යයට අවශ්‍ය චරිත ලිව්වා. ඊට පසුව ආසන්නතම ගැළපෙන පුද්ගලයව සොයාගෙන ගියා. එහෙමයි කළේ. ඒ කෙනාට සමහරවිට චරිතයේ තිබෙන යමක් කරන්න නොහැකි නම් අපි කරන්නෙ ඒ අදාළ කාර්යයේ නිපුණත්වයක් ඇති අයව ඒ අවස්ථාවට ගෙනල්ලා ඔවුන්ගේ උපදෙස් අනූව තමයි කටයුතු කරන්නේ. ඒ අනූව මේ නාට්‍යය තුළත් තියෙනවා වළං හදන්න. එහිදී අපි කළේ සකපෝරුවේ වැඩ කළ හැකි කාර්මික ශිල්පියෙක් මාතලෙන් සීගිරියට ගෙනල්ලා එයා ළඟ තියාගෙන නළු නිළියන්ට උපදෙස් දී ඒ රංගනය කළා.

 

මේ නිර්මාණයට පසුබිම් වූ කාරණා පිළිබඳ කතා කළොත්?

මට සංගීතයට විශාල ආදරයක් බැඳීමක් තියෙනවා. මගේ බිරිඳ විශාරද නන්දා මාලිනීගේ මල්ලිගේ දුව. ඇයත් විශාරද වන තෙක් සංගීතය ඉගෙනගත් අයෙක්. මගේ බොහෝ නාට්‍යවල මම දේශපාලනය කතා කළා. ආදරකතා බොහොමයක් ලියලා තියෙනවා. මේ තේමාව වෙනස්. මේ රටේ ගායකයෙකුට ගායීකාවකට ඉදිරියට යන්න නොදී ඔවුන්ව විකුණගෙන කන මුදලාලිලාට පිළිබඳ ජනතාවට පෙන්විය යුතුයි කියලා හිතුවා. මගේ අරමුණත් ඒකමයි.

 

ඔබ සඳහන් කළා ඔබේ ආදරණීය බිරිඳත් සංගීතය පිළිබඳ දැනුමක් ඇති අයෙක් බව. එහෙනම් මේ නිර්මාණයට ඇයගෙන් ලොකු දායකත්වයක් ලැබෙන්න ඇති?

ඔව් ඔව්. මේ කතාවේ එන රාග පිළිබඳව මම ඇය එක්ක තමයි කතා කරන්නේ. රාගවල නම් එහෙම මම දැන ගන්නේ ඇයගෙන්. ඇය මට ගායනා කරලා පෙන්නනවා. මේ රාගය මෙතැනට ගන්න මේ රාගය ලස්සනයි වගේ දේවල් කියලා ඇයත් හරි උනන්දුවෙන් මට සහයෝගය ලබා දෙනවා. එවිට මට හරි ආස හිතෙනවා.

 

මෙහි අධ්‍යක්ෂණය වගේම පිටපතත් ඔබේ. මේ කතාව තුළ ඔබේ ඇස් තෙත් කළ සංවේදී වූ අවස්ථා මොනවද?

මේ නාට්‍යයේ කුඹල් ගෙදර ප්‍රධානියා වූ දයා තෙන්නකෝන් (නදීගේ තාත්තා) එක් අවස්ථාවකදී පපුවේ අමාරුවක් හැදිලා අසාධ්‍යය වෙලා ඔහුව රෝහලට ගෙනියනවා. ඒ අවස්ථාවේ ඇත්තටම අපි වාහනේකින් අරන් ගියා. ඒ දර්ශනය අවසානයේ නිම වුණේ එහෙමයි. ඊළගට රූ ගත කිරීම් පටන් ගත්තේ ටික කාලයකට පසුව. ඒ පටන් ගන්නවිට දයා තෙන්නකෝන් අප අතරින් සමුගෙන. ඉතින් මගේ පිටපත පොඩ්ඩක් වෙනස් කරලා අර එදා මම ඉස්පිරිතාලෙට අරන් ගිය එකම ඔහුගේ අවසාන ගමන විදිහට රූ ගත කරන්න සිදු වුණා. එය මගේ හදවත කම්පා කළා.

ඒ වගේම තව දර්ශනයක් තිබුණා ඔහුගේ දේහය ආදාහනය කරලා ඒ අළු අරගෙන ගඟක පා කරලා යවන දර්ශනයක්. එය කරන්න සිදුවුණේ මේ කතාවෙත් ඔහුගේ බිරිඳගේ චරිතය නිරූපණය කළ ග්‍රේස් ආරියවිමල්ටමයි. මේ නාට්‍ය පුරා මට දැනුණ සංවේදීම කාරණා තමයි මේ.

 

නාට්‍ය පුරා ගීත කොපමණ තියෙනවද?

මෙහි ජනගීත නැතුව සාමාන්‍ය ගීත 10 කට අධික ප්‍රමාණයක් තියෙනවා. විශේෂයෙන් සඳහන් කරන්න ඕන මෙහි ගී පද රචක හා සංගීත අධ්‍යක්ෂ. චමින්ද උඩවෙල තමයි මෙහි ගී පද රචනා කරන්නේ. ඔහු හා හා පුරා කියලා ගී පද රචනයට ප්‍රවිෂ්ට වෙන්නේ මේ නිර්මාණය හරහා. ඒ වගේම සංගීත අධ්‍යක්ෂ ආශා ලක්මිණ රාජපක්ෂ. ඔහුගෙන් දැවැන්ත මෙහෙවරක් ඉටු වෙනවා මේ නාට්‍යය නිර්මාණයට. මෙහි තියෙනවා ජන ගීත, ඒ ආශ්‍රයෙන් නිර්මාණය වුණ ගීත රාගධාරී සංගීතය, නව පරපුරේ ගීත, ස්වභාවිත ගීත, ආදී වශයෙන්. නාට්‍යය බලන ප්‍රේක්ෂකයා මෙහි සංගීතය පිළිබඳ ඉතා ඉහළින් කතා කරනවා. විවිධ වූ සංගීත රටා ඒ තුළ තියෙනවා. පසුබිම් සංගීතය සැපයීමත් ලෙහෙසි පහසු නෑ. මේ කාරණා සියල්ලම ආශා ඉතා හොඳින් ඉටු කරනවා.