අලි කරදරය ගැන ශි‍්‍රයානිගෙන් ටෙලි නාට්‍යයක්

මාර්තු 11, 2021

අඩසිය වසකට වඩා වැඩි කාලයක් ලාංකේය කලා කෙත අස්වද්දන්නට ඇය රංගනයෙන්පමණක් නොව, නිෂ්පාදනයෙන් හා අධ්‍යක්ෂණයෙන්ද දායක වූවාය. 2018 වසරේ සරසවියසම්මාන උලෙළේ දී ජීවීතයේ එක්වරක් පමණක් ලැබෙන රණතිසර සම්මානය ඇතුළු සරසවියසම්මාන පමණක් පහකින් ඇය පිදුම් ලබා ඇත. එපමණක් නොව ඇගේ නිර්මාණ ස්වදේශීයව මෙන්ම ජාත්‍යන්තරයේ ඇගයුමටද ලක් විය.

නරි බෑනා හි ගම දුව වෙමින් වේදීකාවත්, මහගෙදර අනුලා, කුලගෙය එඩ්නා, දෑස නිසා සුන්දරී, අහසින් පොළොවට විජිතා ආදී වශයෙන්එතෙක් මෙතෙක් ඈ දායක වූ නිර්මාණ දෙස නැවත හැරී බලන්නේ නම් ඒ ගැන ලියන්නට බොහෝ දේ ඇතත් මේ පිළිසඳර වෙන්වන්නේ ඒ වෙනුවෙන් නොව ඇගේ නවතම නිර්මාණය පිළිබඳ කතා කිරීමටයි. ඇයගේ නිෂ්පාදන සම්බන්ධීකරණයෙන් හා රංගන දායකත්වයෙන්නිමැවෙන ' කුන්චනාද' ටෙලි නිර්මාණය, සමාජීය ප්‍රශ්න ගැටලු දෙස නිර්මාණාත්මක ඇසකින්බලා ඒවා විසඳුම් සහිතව නිර්මාණය ප්‍රේක්ෂකයාට ලබා දීමට ගන්තා වූ ප්‍රයත්නයක් ලෙසයි ඇය මේ නිර්මාණය හඳුන්වන්නේ. ලාංකේය සිනමාවේ ස්වර්ණමය යුගය ඔප දැමූ අහිංසකාවිය ශ්‍රියාණීඅමසේන සරසවියට ඇගේ නිර්මාණය පිළිබඳ අදහස් දැක්වූයේ මේ ආකාරයටය.

 

නිර්මාණයක් බිහි කරන්නට අදහසක් තිබිය යුතුයි. මේ නිර්මාණයට පසුබිම් වූ අදහස මොකද්ද?

මං පුංචි කාලේ ඉදලම අලින්ට හරි ආදරෙයි. ස්භාවධර්මයට, පරිසරයට ආදරෙයි. මේ පරිසරය එක්කයි සතුන් එකතු වෙන්නේ. එතැනදි විශේෂයෙන්ම අලියා දැක්කම අපේ රට ගැන ආඩම්බරයක් ඇති වෙනවා. ඇමරිකාව වගේ යුරෝපීය රටවල කැළෑවල අලි නෑ. ඒ රටවල අලියෙක් හිටියත් උන් ඉන්නේ සත්ත්ව උද්‍යාන වල. ඒ රටවල ඉන්න අය හරි කැමතියි අලි බලන්න. ඒ වාසනාව අපිට තියෙනවා. එහෙම තියෙද්දි අපේ රටට ආභරණයක් වන මේ කැලෑ සතුන් එක්ක ඇයි අපි අලි මිනිස් ගැටුමක් ඇති කරන් තියෙන්නේ, දිනෙන් දින මේ ගැටුම උග්‍ර වනවිට මට හිතුණා කලාව තුළින් මේ කාලීන ප්‍රශ්නය උපයෝගී කරගෙන මිනිසාට යම් කිසි පණිවුඩයක් ලබා දිය යුතුයි කියලා ඒ ඔස්සේ තමයි මෙය ගොඩනැඟෙන්නේ.

 

ඒ අදහස පිටපතට පෙරළන්නෙත් ඔබමද?

නෑ. පිටපත රචනා කරන්නේ අරුණ ප්‍රේමරත්න. අධ්‍යක්ෂණය ක්‍රිෂ්ටි ශෙල්ටන් ප්‍රනාන්දු.මේ දෙදෙනා සමඟ මාස තුනක් පමණගැටෙමින් කතාබහ කරමින් සිදුවීම් විශ්ලේෂණය කරමින් රූපගත කිරීම් සිදුකිරීමට බලාපොරොත්තු වන ස්ථාන කරා යමින් ඒ තුළනිර්මාණයට මූලීක පදනම සකසා ගත්තා.

 

මොකද්ද මේ කතාව?

ඇමරිකාවේ සිට ලංකාවට එනවා තරුණ ගැහැණු ළමයෙක්. ලංකාවේ වන අලි පිළිබඳ පර්යේෂණයකට. ඇය අශාන්ති. අශාන්ති ගමට එද්දී ගම්මු ඇයට බනිණවා මේ ඇවිත් තියෙන්නේ අපි ගැන හිතන්න නෙවෙයි අලි ගැන හිතන්න කියලා. නමුත් අවසානයේ ඒ අදහස වෙනස් වෙනවා. ඒ තුළින් තමයි මුළු කතාවම කියැවෙන්නේ. අලින් ගැමියන්ගේ ගෙවල් කඩා විනාශ කිරීම ගම්වැදීම ඒ තුළගැමියන්ගේ අඳෙීනාව, අලින්ටවන අකරතැබ්බ, බෞද්ධයාගේ මුදුන් මල්කඩ බඳු දළදා කරඩුව ගෙනියන මේ හස්තියාගේ නොපෙනෙණ වේදනාව, මනුෂ්‍යත්වය ඉක්මවා ගොස් අලින්ගෙන් වැඩ ගැනීම, මේ අතර අලින්ට මිනිසුන්ගෙන් ලැබෙන ආදරය සහ ඔවුන්ගේ ආරක්ෂාව උදෙසා කටයුතු කිරීම, අලින්ට අයිති කැලේ මිනිසුන් අයිතිකරගෙන ඒ කැලේ වෙනත් සුඛෝපභෝගී හෝටල්මන්දිර සෑදීම, මේ සෑම කාරණාවක්ම එකතු කරගෙන තමයි මෙය නිර්මාණය වෙන්නේ. මිනිසා විසින්ම සිදුකරන ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් ලෙසයි ඒ තිරිසන් සතුන් එතරම් ප්‍රචණ්ඩ වන්නේ. මේ නිර්මාණයේ කොටස් හතළිහක් පුරා දිගහැරෙන්නේ ඒඛේදවාචකයයි.

 

මෙහි එන ඔබේ චරිතය කුමක්ද?

ඇය ගැමි ගැහැනියක්. ඇය 'යසෝමා'. ඇයට ඉන්නවා එකම පුතෙක්. ඔහු වසන්ත. යසෝමාගේ සැමියා මියයන්නේ අලියෙකුගේ පහරදීමෙන්. තමන්ගේ සැමියා, තමන්ගේ පවුල් සංස්ථාව සම්පූර්ණයෙන්ම විනාශ කරපු අලි එක්ක ඇය ලොකු තරහකින් පසුවනවා. ඇය කියන්නේ මේ අලි කැලයට පන්නා දමන්න කියලා. ගමේ ඉන්න ග්‍රාම සේවක, ඉස්කෝලේ මහත්තයා වගේ ගමේ ප්‍රභූන්එක්ක ඇය නිතරම ගැටෙනවා. ඇයට ඇගේ සැමියාගේ වියෝව දරා ගත නොහැකියි. මගේ අභිප්‍රාය අලින්ට පිහිටවීම වුණත් මගේචරිතය අලි එක්ක වෛරබඳීන චරිතයක් ( සිනාසෙමින්)

 

ටෙලි නාට්‍ය නිෂ්පාදිකාවක් අධ්‍යක්ෂවරියක් වන ඔබ මේ නිර්මාණයෙන් ඒ දෙකෙන්ම ඈත් වෙලා?

ඇමරිකාවේ විශේෂඥ වෛද්‍යවරයෙක් වන ලක්ෂ්මන් මාකඳුර ලංකාවේ ප්‍රශ්න ගැටලු පිළිබඳ නිතර කතාබහ කරනවා. ඔහු එහෙ ජීවත් වුණාට ලංකාවට හරි ආදරෙයි. හොඳ කලාකාමියෙක්. ඔහු සතුන්ට හරි ආදරෙයි. වෛද්‍යවරයෙක් නිසා ඔහුගේ අනුකම්පාවවැඩියි. ඔහු සමඟ මේ ගැන කතා කරනවිට ඔහු කැමැති වුණා නිෂ්පාදනයෙන් මෙයට දායක වෙන්න. ඔහු ඇමරිකාවේ ජීවත් වනනිසා මම මෙහි සිට නිෂ්පදන සම්බන්ධීකරණය සිදු කළා. මෙහි ප්‍රධාන චරිතයක් මා හොබවන නිසා අධ්‍යක්ෂණයෙන් ඈත් වුණා. ක්‍රිෂ්ටි ශෙල්ටන් ප්‍රනාන්දුයි මෙහි අධ්‍යක්ෂ. නිර්මාණය කැලෑව සහ ග්‍රාමීය පරිසරය තුළ යුතු නිසා එයට ඒ දුෂ්කරතා විඳදරා ගැනීමටහැකි පිරිසක් නිර්මාණයට දායක කරගැනීමයි මට අවශ්‍ය වුණේ. මොකද ඒ තුළයි නිර්මාණය සාර්ථක කරගත හැකි වන්නේ.

ඉතින් ඔබ තොරාගත් පිරිසගෙන් ඔබේ බලාපොරොත්තුව ඉටුවුණාද?

මගේ නිර්මාණයේ ප්‍රවීණ අය වගේම නව පරපුරේ අයත් ඉන්නවා. තරුණ පරපුරේ අයගෙන් නිර්මාණයට හොඳ සහයෝගයක්ලැබුණා. ඒ වගේම කැමරා ශිල්පියා එයාටත් ලොකු කාර්යභාරයක් තියෙනවා. මේ නිර්මාණය තුළ අලි එළවගෙන එන දර්ශන, අලි මැරිලා ඉන්න දර්ශන, අලි කුලප්පුවෙලා දඟලන දර්ශන, තියෙනවා. මේ සැමදේම රූ ගත කළ යුතුයි. මේවා අවදානම් වැඩ. නළුනිළියන් වගේම කාර්මික ශිල්පීන්ගෙනුත් ලොකු දායකත්වයක් ලැබුණා.ඒ අයත් හරිම ආසවෙන් වගේම සහයෝගයෙන් මෙහි වැඩකටයුතු කළා.

 

මේ වගේ නිර්මාණයකදි අමතක නොවෙන සිදුවීම නම් බොහෝ ඇති?

ඔව් ඔව් ඒවා නම් ඕන තරම්. (සිනාසෙමින්) එක ගැමි ගෙදරක රෑ මිදුලෙ රූපගත කිරීම් සිදුකරමින් ඉද්දි අපි ළඟින් කලුපාට දිගසර්පයෙක් ඇදුණා. අපි හිතුවා අහිංසක සතෙක් වෙන්න ඇති කියලා. දිග නිසා ගැරඬියෙක් වෙන්න ඇති කියලත් හිතුණා. ඒ ගෙදර අයිති ගෘහණිය හීන් මැණිකා. ඇය ටික වෙලාවකින් ලොකු කැත්තක් උස්සගෙන එනවා ' කෝ කෝ කෝ මූ' කියාගෙන. අපි අහුවාඇයි මොකද කියලා. ' නෑ නෑ මම දැක්කා. මම මේ කැත්ත ගේන්න ගෙට ගියේ. ඔය හබරලියා. හබරලියා කියන්නේ අන්තිම විෂසතෙක් කෑවම එතනමයි මැරෙන්නේ. දැක්ක තැන මරන්න ඕන කියලා ඌ හොයනකොට ඌ එතැන නෑ.

කතාව තුළ ඇත්ගොව්වන් දෙදෙනෙක් ඉන්නවා. ඒ අයගේ චරිත ප්‍රධාන භූමීකාවක් උසුලන නිසා මේ චරිත සඳහා රඟපාන්න අපේ ප්‍රවීණ නළුවන් දෙදෙනෙකු වන ක්ලීටස් මෙන්ඩිස් හා අජිත් ලොකුගේ ගත්තා.එක අවස්ථාවක අලියා නනා ඉඳලා එකපාරටවැවෙන් ගොඩට ඇවිත් ඉස්සරහට එනවා. තව ටිකකින් ප්‍රධාන පාරට ළඟයි. අපේ අය කෑ ගහනවා නතර වෙන්න කියලා. අලියානෙවෙයි නතර වුණේ. අපිට ඒ අය ඇත්ගොව්වෝ වුණාට නිර්මාණයට, අලියා අඳුරන්නේ එයාගේ ඇත්ගොව්වගේ කටහඩ. ඉතින්අවසානේ ඇත්තම ඇත් ගොව්වා යවලා නතර කරගත්තා.

තව දවසක ගෙදරක රූ ගත කිරීම් තිබුණා. ඒ ගෙදර ඩිංගිරි බණ්ඩගේ. ඩිංගිරි බණ්ඩා අලිගැන කතා කියනවා. පායන කාලෙටකන්න නැති වෙනකොට අලි ගමට එනවලු. ඩිංගිරි බණ්ඩගේ ගෙට එහා පැත්තේ ලොකු කොස් ගහක අතු බර වෙන්න කොස්පිරිලාලු. ඩිංගිරි බණ්ඩා පිළේ නිදාගෙන ඉන්නකොට අලියෙක් කොස් ගහ ළග රෑ දොළහට විතර ඉන්නවලු. පාන්දර එළිවෙන්නත් ළඟයිලු. යන්නෙම නැතිතැන අලිවෙඩි දැම්මලු. ඒත් ගිහින් නෑ. පස්සේ ඇඟටම දැම්මම කෑ ගහගෙන දිව්වලු. ඔහුටඅමතක නොවෙන ඒ කතාව හිනාවෙලා හරි සංතෝසෙන් විස්තර කරත්, මගේ හිතට මහලොකු දුකක් ඇති වුණා.

ඇයි අපේ ක්ලීටස් මෙන්ඩිස් වැටිලා කොන්දත් ඇමිනිලා හිටියා ටික දවසක් මේ නිර්මාණය රූ ගත කරද්දි.

ලක්ෂ්මන් මාකඳුර

රූගත කිරීම් කළේ?

ගල්ගමුව, මහව, පාලුකුඹුර වැව, රාජාංගනය, රඹුක්කන පින්නවල උඩවලව ආදී ප්‍රදේශවල ග්‍රාමීය පරිසරය හා කැලෑව තුළයි මේරූගත කිරීම් සිදු කළේ.

 

කවද්ද මේ ටෙලිනාට්‍යය ප්‍රේක්ෂකයාට දකින්න ලැබෙන්නේ?

රූගත කිරීම් සියල්ල අවසානයි. මේ දිනවල සංස්කරණ කටයුතු සිදු කෙරෙනවා. මේ වගේ නිර්මාණයක් ජනතාව අතරට යවන්න රූපවාහිනී නාළිකාවල සහය ලැබෙනවා නම් එය ලොකු දෙයක්. පිලිණු නොවී ඉක්මන් විකාශයක් තුළින් ප්‍රේක්ෂකයා අතරට ගෙනයාමයි අපේක්ෂාව.