එදා එළිවෙනකම් අපි නාට්‍ය ගැන කතා කළා

ධරණි ලියන නිදුක් මධුෂික
මාර්තු 4, 2021

මේ දිනවල දෙරණ නාලිකාවේ විකාශය වන ධරණී ටෙලි සිතුවම ඔහුගේ රචනයකි. වෘත්තියෙන් මාධ්‍යවේදියෙකු මෙන්ම රෑපවාහිනි සහ ගුවන් විදුලි නාට්‍ය පිටපත් රචකයෙකු ලෙස කටයුතු කරන ඔහු නිදුක් මදුෂිකය. ඒ තරුණ රචකයා සමඟ කළ කතාබහකි මේ.

 

වෘත්තීයමය වශයෙන් ලියන්න පටන් ගත්ත හැටි ගැන මුලින්ම කතා කළොත්?

පාසල් කාලේ ඉදන්ම මට දැනෙන හැම හැඟීමක්ම ලියන්න මම ගොඩක් ආස කළා.. ඒ නිසාම මම මගේ කැත අකුරුවලින් දැනෙන හැමදේම ලියව්වා. එහෙම ලියලා ඒ දේවල් පැත්තකට දාලා තිබ්බා.මම එහෙම ලිය ලිය ඉන්න වෙලාවට මගේ තාත්තා මට කියනවා “උඹට නං හරියන්නේ ලියන එකම “තමයි කියලා. ඒක කියන්නේ ටිකක් කේන්තියෙන්. ඒත් එදා එහෙම ටිකක් කේන්තියෙන් කිව්ව දේ අද මට ආශිර්වාදයක් වෙලා කියලා මට හිතෙනවා. පුවත්පත් ලිපි, කවි කතා ලියන්නත් යොමුවුණා. මම ලියන දේවල් මුලින්ම දැක්කේ මගේ පෙම්වතිය. ඇය මම ලියන දේවල් මටත් හොරෙන් පුවත්පත් වලට යොමුකරලා තිබුණා. ඊට පස්සේ මම ලියු සෑම ලිපියක්ම පුවත්පත්වල පළ වෙන්න ගත්තා. ඒක තමයි ඇරඔුම. ලිවීම වෘත්තිය කරගන්න පුළුවන් වෙයි කියලා මම ඒ වෙද්දිත් හිතලා තිබුණේ නෑ. ඒත් කාලයත් එක්ක මම වෘත්තිය ආරම්භ කරන්නේ පුවත්පත් වලින්. 2013 වසරේදී. ඒ ගමන් මග ඇතුළේ 2015 අග භාගය වෙද්දි මට සිරස ගුවන් විදුලි නාට්‍යය ලියන්න අවස්ථාවක් ලැබෙනවා. ඊට පස්සේ ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නාළිකාවල ගුවන් විදුලි නාට්‍ය රචනා කරන්න හැකියාව ලැබුණා. මේ වන විටත් හිරු එෆ් එම් නාලිකාවේ දවල් ප්‍රචාරය වන ගුවන් විදුලි නාට්‍යය රචනා කරනවා. ඒක තමයි සිහින සිත්තරාවි. ඒක සමීක්ෂණ වාර්තා අනුව ඒක ඉහළින්ම තියෙනවා. ඒ ගුවන් විදුලි රචනයෙන් පස්සේ තමයි රූපවාහිනි රචකයෙකු බවට පත්වෙන්න පුළුවන් වුණේ...

 

ධරණි නාට්‍යට සම්බන්ධවීම ගැන කතා කළොත්?

මම ගුවන් විදුලි නාළිකාවල නාට්‍යය රචනා කරමින් ඉන්න කාලේ දෙරණ එෆ් එම් නාළිකාවෙනුත් මට ගුවන් විදුලි නාට්‍යයක් ලියන්න ආරාධනා කරනවා. ඒක තමයි දෙරණින් ලැබුණ මුල්ම ආරාධනය. ඒ කාලෙම දෙරණ නාළිකාවේ සහකාර සාමාන්‍යාධිකාරි (ටෙලිනාට්‍යය) චරිත් කොතලාවල අයියා මාව දෙරණ නාලිකාවේ උපසභාපති ලක්සිරි වික්‍රමගේ සර්ට සම්බන්ධ කරනවා. එහිදී ටෙලිචිත්‍රපටයක් ලියන්න අවස්ථාව ලැබෙනවා. ඒ ගමන් මඟ තුළ තවත් රූපවාහිනි නාලිකාවල ටෙලි චිත්‍රපට 15ක් පමණ ලියන්න මට අවස්ථාව ලැබෙනවා. ඒකාංගික නාට්‍ය 7ක් රචනා කරන්න පුළුවන් වුණා. ඉන් පසුව මට ලැබුණ ආරාධනාව තමයි ධරණි ටෙලිනාට්‍යය රචනය.

 

එහෙම රචනා කළ ධරණි ටෙලිනාට්‍යයට ලැබෙන ප්‍රතිචාර ගැන සදහන් කළොත්?

ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේ ටෙලිනාට්‍යය විකාශනය වන කාලය තුළ අපිට ඉදිරියටම එන්න හැකියාව ලැබුණා. මේක කණ්ඩායමක් එක්ක කරන වැඩක්, ලැබෙන ප්‍රතිචාර එක්ක බැලුවම, මේ නිර්මාණයේ සාර්ථකත්වයේ මේ කණ්ඩායමේ හැම සාමාජිකයෙක්ම කොටස් කරුවෙක්. විශේෂයෙන් දෙරණ නාලිකාවේ උපසභාපති ලක්සිරි වික්‍රමගේ මහත්මයා, මේ නිර්මාණයේ කතා සංකල්පයේ සිට විකාශනය දක්වාම අපිත් එක්ක ඉන්නවා. ඒ වගේම දෙරණ නාළිකාවේ සහකාර සාමාන්‍යාධිකාරි චරිත් කොතලාවල අයියා, නාට්‍යය අංශයේ අධ්‍යක්ෂක ශ්‍රියන්ත ප්‍රසාද් රත්නායක, නිෂ්පාදක ජානක සිරිවර්ධන, සහය අධ්‍යක්ෂක ප්‍රදීප් මානවඩුගේ ඇතුළු පිරිස මතක් කළ යුතුයි. ඒ ප්‍රතිචාර භුක්තිවිදින ගමන්, මේ දායක වෙලා ඉන්න කණ්ඩායමටත් මම ස්තූතිවන්ත වියයුතුයි කියලා මම හිතනවා...

 

ධරණි ටෙලිනාට්‍යයේ වැඩ කරද්දි ලැබූ අමතක නොවන රසවත් අත්දැකීමක් එහෙම තියනවද?

එකක් කියන්නම්. ඒක අමතක වෙන්නේ නැහැ. නාට්‍යය අධ්‍යක්ෂ ශ්‍රියන්ත ප්‍රසාද් සමග පාටියකට ගියා. ඒ වෙද්දි ටෙලිනාට්‍යය විකාශය වෙන්න පටන් අරගෙන තිබුණේ නැහැ. පාර්ටියේ ඉදන් එද්දි එක විතර ඇති. ඒ වගේ රෑ වුණාම ඒ බෝඩිමට යන එක හරි කරදර වැඩක්. කලින් කෝල් කරන්නත් බැරිවුණා. එදා අපි දෙන්නම කළේ කාර් එකේ ඉදන් එළිවෙනකම් නාට්‍ය ගැන කතා කරපු එක. පහුවෙනිදා උදේ රූගත කිරිම් තිබුණා. කතා කරද්දි උදේ වුණා නිදාගන්නැතුව ෂුටින් ගියා. ඒක අමතක වෙන්නේ නෑ

 

ඉදිරි නිර්මාණ කටයුතු?

හැමවිටම මම උත්සාහ කරන්නේ රහක් ඇතුව ලියන්න.මම ලියන දෙයින් මට වින්දනයක් ලබන්න බැරි නම්, ඒක බලන කෙනෙක්ට, අහන කෙනෙක්ට ඒ වින්දනය ලැබෙන්නෙත් නෑ කියලා මම හිතනවා. එහෙම දවසට මම ලිවීම නවත්තනවා. මම කරන කාර්යයට උපරිම කැපවීමක් කරන්න මම නිතරම උත්සහ කරනවා. වසර තුනකට පමණ පෙර ලියන්නට ආරම්භ කළ නවකතාවක් වගේම චිතපට පිටපතකුත් තියනවා අවස්ථාව ලද විට ඒ නිර්මාණ දෙක අවසන් කිරීම තමයි එකම බලාපොරොත්තුව...