වැස්සක් නැතිව අසංවර වූ පොළොව අසංවර වැස්ස ගැන කතාවක්

පෙබරවාරි 4, 2021

වියළි කලාපීය ගම්මානවල ජනතාව දුක්ඛදෝමනස්සයන් බොහෝමයකට මැදිව ජීවත් වෙති. ගස්වැල් විනාශ කිරීමෙන්, ජලය නොමැති වීම එම දුක්ඛදෝමනස්සයන්ට මුලික වී ඇත. ඒ හේතුවෙන් එම මිනිසුන්ගේ මානසික තත්ත්වය පවා බිඳ වැටී තිබේ. කෙදිනක හෝ ඉරි තලා ගිය පොළව මැකී යන ආකාරයට වර්ෂාව ඇඳ හැලේ යැයි සිතමින් එක්තරා වියළි කලාපීය ජනතාවක් ජීවත් වෙති. මෙම ජනයා මුහුණ දෙන කටුකත්වය, ස්වාධීන රූපවාහිනියේ සෙනසුරාදා සහ ඉරිදා දිනවල රාත්‍රී 7.30 ට විකාශනය වන “අසංවර වැස්සක්” ටෙලිනාට්‍ය තුළින් දැක ගත හැකි ය. මේ එම නාට්‍යයේ අධ්‍යක්ෂක, දේශමාන්‍ය තිස්ස විජේකෝන් මහතා සමඟ සිදු කළ කථා බහකි.

ඇත්තටම මොකක් ද මේ අසංවර වැස්සක් කියලා කියන්නේ ?

මේ ටෙලිනාට්‍යට පාදක වන ගම්මානය වියළි කලාපයක් බවට පත් වෙලා තියනවා. ඒ ගම්මානයේ මිනිසුන්ට ගොවිතැන් කරන්න විදිහක් නැති වෙලා තියනවා. කන්න බොන්න නැහැ. සෑහෙන්න දරිද්‍රතාවයකට පත් වෙලා ඉන්නවා. ඒ නිසා ගමේ ජීවත්වන මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ ඉරිතලා ගිය පොළව නැති වෙලා යන තරමටම ලොකු වැස්සක්. වැස්ස නැති නිසා මිනිසුන් පත් වෙලා ඉන්න දරිද්‍රතාවය නිසාම ඔවුන්ගේ මානසික මට්ටම පවා අසංවර වෙලා තියනවා. මේ දේවල් නිසා තමයි අසංවර වැස්සක් කියලා මේ ටෙලිනාට්‍යට නම දැම්මේ.

මේ නාට්‍ය තුළින් ග්‍රාමීය ජනතාව අත් විඳීන දුක් පීඩා ඉතා සියුම් මනෝභාවයන් ඔස්සේ නිරූපණය කරලා පෙන්වනවා. ඔබ ඊට අනුගත වුණේ කොහොම ද? 

 මේ ටෙලිනාට්‍ය නිර්මාණය කරලා තියෙන්නේ සත්‍ය සිද්ධියක් ඇසුරු කර ගෙන. සත්‍ය චරිත බොහොමයක් කතාවට අනතර්ගත කරලා තියනවා. හේරත් හාමි නමැති පුද්ගලයෙක් අනුරාධපුරයේ ඉඳලා තියනවා. අපි රූපවාහිනි පුවත් මඟින් ඇහැටුවැව, ගල්ගමුව වගේ වියළි කලාපයට අයත් ගම්මානවල මිනිස්සු වතුර නැතුව වළවල් හාරලා වතුර ගන්න ආකාරය දකිනවා. ඒ මිනිසුන්ට ජල ගැටලුව වාගේම අලින්ගෙන් කරදරත් තියනවා. කොළඹ ඉන්න මිනිසුන්ට වියළි කලාපයේ ගම්මානවල මිනිසුන් මුහුණ දෙන කටුක සිදුවීම් ගැන අවබෝධයක් නැහැ. ඔවුන්ගේ කටුක ජීවිතවල ස්වාභාවය නොදන්න අයට ඒත්තු ගැන්වීමටත් අපිට අවශ්‍ය වුණා. වතුර නැති වෙන්නේ ගස් කපන නිසා. ගස් කැපීම කියන්නේ මිනිස් ක්‍රියාකාරකමක්. වැරදි මිනිස් ක්‍රියාකාරකම්වලින් මිනිසුන්ට අත්විඳීමට සිදු වන දුක්ඛදායී තත්ත්වයන් අපි නාට්‍ය තුළින් පෙන්වලා , මිනිසුන් කරන වැරදි වැළැක්වීමට අනුබල දීමක් කරනවා. අපි ඒකකාරී ටෙලිනාට්‍යවලින් මිදිලා මේ වගේ නාට්‍යක් කළේ, ගස් කැපීම වැනි වැරදි මිනිස් ක්‍රියාකාරකම් කරන්න එපා කියන දේ වටහා දෙන්න .

වර්තමානයේ බොහෝ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරුන්, ග්‍රාමීය ජනතාවගේ ගැටලු ප්‍රස්තූත කර ගනිමින් නාට්‍ය නිර්මාණය කරනවා. එවැනි අධ්‍යක්වරුන් අතරින් ඔබ වෙනස් වෙන්නේ කොහොම ද?

ගහ කොළ විනාශ කළොත් අමිහිරි අත්දැකීම් විඳින්න වෙනවා. අනගාතයේ දී අපේ දරුවන්ට බොන්න වතුර නැති වෙනවා. කියන දේ අපි ටෙලි නාට්‍යක් තුළින් මිනිස් මනසට කාවද්දන හිතුවා.

මේ නාට්‍ය බැලුවට පස්සේ කොළඹ මිනිසුන්ට පවා ගස් කැපීමෙන් වෙන දේවල් ගැන අවබෝධයක් ලැබිලා තියනවා. “පුදුම තරම් වේදනාවක් ආවා. ඇයි අපි මේ තරම් පාපතර වැඩක් කරන්නේ කියලා “මේ ටෙලි නාට්‍ය බලපු ගස් කපලා විකුණන පුද්ගලයෙක් මාත් සමඟ කිව්වා. ඔහු ඉදිරි පරම්පරාව ගැන හිතලා ගස් කපන එක නතර කරනවා කියලා. මේ ටෙලි නාට්‍යය බලන ප්‍රේක්ෂකයෝ තමන්ගේ ජීවිත පවා වෙනස් කර ගන්න අධිෂ්ඨාන කර ගන්න එක ගැන අපිට ගොඩාක් සතුටුයි.

ග්‍රාම්‍ය සමාජයක් පුංචි තිරයක් මතට ගෙන ඒම ලෙහෙසි දෙයක් නෙමෙයි. ඒ නිසා ඔබ දර්ශන තල සහ නළු නිළියන් තෝරා ගැනීමේදී යම් යම් කාරණා සලකා බලන්න ඇති?

ඇත්තටම සලකා බැලුවා. අපි පසුගිය මාර්තු මාසයේ දී තමයි රූගත කිරීම් කළේ. පොළොව ඉරි තලා ගිය, අති දුෂ්කර පළාත් ලංකාවේ හැම තැනම නැහැ. නියමිත ස්ථානම සොයා ගන්න අපි ලොකු පරිශ්‍රමයක් දැරුවා. අපේ කලා අධ්‍යක්ෂක චාමින්ද වාස් සහ මම අතුරු පාරවල්වල ගිහිල්ලා නියමිත දුෂ්කර පළාත්වල දර්ශන තල සොයා ගන්න සෑහෙන්න වෙහෙසුණා. කැපවීම් කළා. අපි ගොඩාක්ම රූගත කිරිම් කළේ සඳගල, ඉබ්බාගමුව, උහුමිය වැනි ප්‍රදේශවල.

මේ නාට්‍යට අවශ්‍ය නළු නිළියන් තෝරා ගැනීමේදී ඇත්තටම යම් යම් කාරණා සාධක සලකා බැලුවා. පිටපත සකස් කිරීමෙන් අනතුරුව තමයි අපි ඒ ඒ චරිත නළු නිළියන්ට ලබා දුන්නේ. මහීපාල චරිතය නිරූපණය කරන්නේ සංජය ලීලා රත්න. ඔහු මේ වගේ චරිතයක් මීට පෙර කරලා තිබුණේ නැහැ. ඔහු ඒ චරිතයට සුදුසුයි කියලා මට හිතුණා. ඔහුගේ චරිතය ගොඩාක් දෙනා කථා බහට ලක් කරනවා. ඔහු තමන්ගේ දරුවන් දුක් විදිද්දී , දරුවන් ගැන සිතන්නේ නැතුව , තමන්ගේ බිරිඳ ගැන සිතමින් ජීවත් වෙනවා. ඒ විදිහට ඔහු නිර්මාණාත්මකව රංගනයක යෙදෙනවා. ඒ වගේම පිටපත කියවන කොට මම හේරත් හාමි කියන චරිතයට පෞරුෂසම්පන්න කෙනෙක් තෝරා ගන්න ඕන කියලා හිතුවා. ඒ නිසා මම පාලිත සිල්වාව ඒ චරිතයට තෝරා ගත්තා. ඔහු ඒ චරිතයට උපරිම සාධාරණයක් ඉටු කරලා තියනවා.

නූතනයේදී විශේෂ තාක්ෂණික ප්‍රයෝග භාවිතා කරමින් ආකර්ෂණීය වාණිජමය ටෙලි නාට්‍ය විකාශනය කිරීමේ ප්‍රවණතාවයක් පවතිනවා. ඒ වගේ ටෙලිනාට්‍ය ඔබට අභියෝගයක් කියලා හිතෙන්නේ නැද්ද?

අපේ මුල් යුගයේ ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයෝ ආසාවෙන් නැරඹුවා. උදාහරණ විදිහට යශෝරාවය, කඩුල්ල පෙන්වා දෙන්න පුළුවන්. සෝමවීර සේනානායකගේ තිර රචනයෙන් නිර්මාණය වුණු නාට්‍ය මිනිසුන් අදටත් කතා කරනවා. වාණිජමය නාට්‍ය බලලා එපා වෙලා, ඒකාකාරී බවින් මිදුණු නාට්‍ය නරඹන්න කැමතියි කියලා අපිව මුණගැසුනාම ප්‍රේක්ෂකයෝ බොහෝ දෙනෙක් කියනවා. දරුවොත් එක්ක එකට එකතු වෙලා බලන්න පුළුවන් නාට්‍යවලට ප්‍රේක්ෂකයෝ කැමත්තක් දක්වන බව අපිට අවබෝධ වෙලා තියනවා. ඒ දේවල් ගැන හිතලා ස්වභාව සෞන්දර්යයේ සිත් ඇදගන්නාසුළු ස්ථාන භාවිතා කරමින් මිනිසුන්ගේ ජීවිතවලට ආදර්ශයක් ලබා දෙන්න අපි මේ නාට්‍යය නිර්මාණය කරලා තියනවා.

ගුණාත්මක බවින් යුක්ත ටෙලි නාට්‍යක් නිර්මාණය කරන්න විශාල මුදලක් වැය කරන්න සිදු වෙන නිසා අද බෝහෝ ටෙලි නාට්‍ය නිර්මාණකරුවන් ලැබෙන මුදලින් කුමක් හෝ කරලා ටෙලි නාට්‍ය නිර්මාණය කරන්න හුරු වෙලා ඉන්නවා. ඒ නිසා තමයි ඒකාකාරී ටෙලි නාට්‍ය බලන්න මිනිස්සු අකමැති. අපේ නාට්‍යයේ නිෂ්පාදන කණ්ඩායම නාට්‍යයෙන් ලැබෙන ලාභයට ගැන හිතනවාට වඩා සමාජයට යම් පණිවිඩයක් ලබා දෙන්න උත්සාහ කරලා තියනවා. මේ ටෙලිනාට්‍යට සම්බන්ධ සෑම දෙනෙක්ම දම්වැලක් වගේ එකට එකතු වී ඉතාමත් කැපවීමෙන් කටයුතු කරනවා.

ඔබගේ ඉදිරි නිර්මාණ කටයුතු ගැන මතක් කළොත් ?

මම මේ වෙන කොට චිත්‍රපට දෙකක් නිර්මාණය කරලා තියනවා. එකක් ධවලක් චක්‍රය කියලා ළමා චිත්‍රපටයක්. මේ චිත්‍රපටය ඉදිරියේදී ප්‍රේක්ෂකයින්ට නරඹන්න පුළුවන්කම ලැබෙනවා. ඉදිරියේදී මෙවැනි නාට්‍යයක් නිර්මාණය කරන්න සැලසුම් සකස් කරගෙන ඉන්නවා.

අසංවර වැස්සක් ටෙලි වෘත්තාන්තයේ  නිර්මාණ දායකත්වය 

 
කථාව, දෙබස් සහ රචනය- 
සංජය ලීලාරත්න 
අධ්‍යක්ෂණය- තිස්ස විජේකෝන්
නිෂ්පාදනය- පියුමාල් අබේසිරි සහ ඩයනා ගමගේ 
කැමරා අධ්‍යක්ෂණය- සංජීව කුමාර
කලා අධ්‍යක්ෂණය- අශෝක් චාමින්ද වාස්
අංග රචනය- සෑම් පෙරේරා
සංස්කරණය- චාමර මෝදරගමගේ 
තේමා ගී සංගීතය- නවරත්න ගමගේ 
 
රංගන දායකත්වය
පාලිත සිල්වා, කුමාර තිරිමාදුර, සංජය ලීලාරත්න, මාධනී මල්වත්තගේ, රිචඩ් වීරක්කොඩි, කුසුම් පෙරේරා, ශිරෝමිකා ප්‍රනාන්දු, පූජනී භාග්‍යා, ගයාන් ගුණවර්ධන, පවිත්‍රා වික්‍රමසිංහ, බර්ටි නිහාල් සුසිරිපාල, ෆර්නි රෝෂණී, රිචඩ් අබේවර්ධන, රාජසිංහ ලෝලුවාගොඩ, චූලා මෙන්ඩිස්, ඇන්ටන් කුරේ, අතුල ජයසූරිය