ඉලන්දාරියෝ හතර දෙනෙක් සියතට එති

දිගු කලකට පසු එරංග සේනාරත්නගෙන් ටෙලි නාට්‍යයක්...
දෙසැම්බර් 31, 2020

පූජා, සපිරිවරා, දෙපත් නයි, කුරුලු පිහාටු, සුදු සේල, ඉර හඳ යට, ආදරවන්තයෝ, නිල් නෙතු, මයුමි, සයුරි ආදී වූ ටෙලි සිතුවම් රැසක් පුංචිතිරයට ගෙන ආ එරංග සේනාරත්න ඉතා දිගු කලකින් ටෙලි නාට්‍යයක් නිර්මාණය කොට නැත. පසුගිය කාල වකවානුවේ දී ඔහු සිනමා නිර්මාණ කෙරෙහි වැඩි අවධානයක් යොමු කොට ඇති වග ඔහුගේ නිර්මාණ දිවිය පිරික්සා බැලීමේදී අපට හෙළිවේ. ටෙලි නාට්‍යය කෙරෙහි එරංග තබා ඇති ඒ විරාමයේ නිමා කරමින් මේ දිනවල දී ඔහු ටෙලි නාට්‍යයක් නිර්මාණය කරමින් සිටියි. එයට නම තබා ඇත්තේ ඉලන්දාරියෝ යනුවෙනි. ලබන එළඹෙත්ම ඔබට එය නැරඹිය දීමට අවස්ථාව උදා වනු ඇත. එය විකාශට වන දිනය, වෙලාව සහ රූපවාහිනී නාලිකාව ගැන සඳහන් කළොත්, 2021 ජනවාරි මස 04 වැනිදා සිට සතියේ දිනවල රාත්‍රී 8.30 ට සියත නාලිකාවේය. ඉලන්දාරියෝ එලෙස ඔබ ආලින්දයට පැමිණෙන්නට සූදානමින් සිටියදී එහි නිර්මාණකරුවා වන එරංග සේනාරත්න අප හා මෙසේ සංවාදයකට එකතු විය.

 

 

එරංග, මේ ඔබේ කීවැනි ටෙලි නාට්‍යද?

මේක තිස් එක් වැනි එක.

 

ඉලන්දාරියෝ කතා තේමාව ගැන කතා කළොත්?

එක් එක් ගම්මානයන් වල සිට නගරයට පැමිණෙන තරුණයන් හතරදෙනකු ඉන්නවා. ඔවුන් එක බෝඩිමක තමයි නවාතැන් ගන්නේ. හර්ෂණ බෙත්මගේ, සංගීත ප්‍රභූ, ශෂිරංග වික්‍රමසේකර සහ රජිත හිරාන් තමයි ඒ චරිත හතර රඟපාන්නේ. මෙහි එක් තරුණයෙක් ටුවරිස්ට් ගයිඩ් කෙනෙක්. කැලිප්සෝ ගායකයෙක් විදිහට කටයුතු කරන තරුණොයෙක් ඉන්නවා. ත්‍රී රෝද රථ ධාවනය සහ ජංගම දුරකථන අලුත්වැඩියාව

තමයි පිළිවළින් අනෙක් දෙදෙනා කරන්නේ. මේ හතර හතර දෙනා නගරයට ඇවිත් ඔවුන් කරන්නා වූ ජීවන අරගලය ඔස්සේ ඉලන්දාරියෝ කතාව ගොඩනැගී තියෙනවා. මේ තරුණයෝ හතරදෙනා දියුණු වෙන්න උත්සාහ කරනවා. නමුත් ඔවුන්ට විවිධ අකරතැබ්බවලට මුහුණ දෙන්නටද සිදුවෙනවා. ඒ ඔස්සේ ඔවුන් යම් යම් ප්‍රශ්න වලට මැදි වෙනවා මේ වගේ කථා පුවතක් තමයි ඉලන්දාරියෝ නාට්‍ය සඳහා ඇතුළත් වෙන්නේ.

 

මෙහි රූපවාහිනී රචනය කාගෙද?

අපට සිටින පළපුරුදු රූපවාහිනී රචකයෙකු වන සුනන්ද සිල්වා තමයි මෙහි තිර නාටකය සැකසුවේ.

 

ඔබ ඉතා දිගු කලක් ටෙලි නාට්‍යය කළේ නැහැ, මොකක්ද හේතුව?

ඒ ගැන කතා කරන්නට වෙනම ආටිකල් එකක් අපි කරමු. ඒකට මේ සුදුසු වෙලාව නෙමෙයි.

 

මා දන්නා පරිදි මෙම ටෙලි නාට්‍යය මීට කලකට ඉහත දී විකාශය වන්නට තිබුණු එකක්?

ඔවු. මේක රාජ්‍ය නාලිකාවක විකාශය වීම සඳහා අනුමැතියත් ලැබිලා තිබුණේ. මම දන්නෙ මොන අහේතුවකටද කියලා නාට්‍යය විකාශය වුණේ නම් නැහැ. ඔහොම කාලයත් සමඟ බලාගෙන ඉද්දි තමයි සියත නාළිකාවෙන් මේ සඳහා ඇරයුමක් ලැබුණේ. මම හිතුවා ඒ අවස්ථාව අරගෙන ඉලන්දාරියෝ විකාශය කරන්න. අනික මම මේ ටෙලි නාට්‍යය විකාශය වෙනකම් තව ටෙලි නාට්‍යයක් කරන්නේ නෑ කියන මතයේ හිටියා. ටෙලි නාට්‍යය කර කර ගොඩ ගහගෙන ඉඳලා තෙරුමකුත් නැහැනේ. මේ ටෙලි නාට්‍යය විකාශය කරන්නට ගියාම මම විඳ අත්දැකීම් ටික ගැන තමයි අපි අර වෙනමම ආර්ටිකල් එකක් කරමු කියලා මම කිව්වේ.

 

ඉලන්දාරියෝ නාට්‍යයේ කොටස් කීයද?

කොටස් 50කින් නිම වෙන්න තමයි අපි දැනට ප්ලෑන් කරගෙන ඉන්නේ. එනමුත් ඇතැම් විට කොටස් හැටක් හැටපහක් විතර විකාශය වෙන්නත් ඉඩ තියෙනවා.

 

මේ ටෙලි නාට්‍ය ඔස්සේ ඔබ නවකයන් කිහිපදෙනෙකු පුංචි තිරයට හඳුන්වා දෙනවා නේද?

රඟපාන නිලූෂි පවන්‍යාගේ පළමුවැනි ටෙලි නාට්‍ය. මේක ඒ වගේම මෙහි ගීතය ගායනා කළේ ප්‍රනීත් ශිවන්ක කියලා අලුත් ළමයෙක්. ඔහුත් ඉතා හොඳීන් තමන්ගේ රාජකාරිය කරලා තිබුණා.

 

ඉලන්දාරියෝ නළු නිළි පිරිවර මතක් කළොත්?

ජනක කුඹුකගේ, වසන්ති චතුරාණි, ජයනාත් බණ්ඩාර, ධනංජි තාරුකා, ලාල් කුලරත්න, අයෝධ්‍යා දක්ෂිකා, උපතිස්ස බාලසූරිය, කුසුම් පෙරේරා ප්‍රින්සි ප්‍රනාන්දු වගේ අය තමයි රඟපාන්නේ.

 

නිෂ්පාදන කණ්ඩායමේ පිරිස ගැනයි ඊළඟට මම අහන්නේ?

නිෂ්පාදනය ශෙහාරා ජයවීර, කැමරා අධ්‍යක්ෂණය නිශාන්ත ප්‍රනාන්දු සහ උපුල් ප්‍රියාන්ගේ, සංගීතය ලස්සන ජයසේකර. අංග රචනය අජිත් දිසානායකගෙන්. සහාය අධ්‍යක්ෂණය ගයාන් මහගලගේ සහ මහේෂ් ඉන්දික විසින් සිදු කළා. සංස්කරණය අනූෂ සංජීව ජයවර්ධන කරලා දුන්නා, කලා අධ්‍යක්ෂණය ප්‍රසාද් වීරප්පෙරුමගේ. නිෂ්පාදන කළමනාකරණය රෝලන්ඩ් ද සිල්වා දායක වුණා.