හිතාගන්න බැරි විදිහට ඉවර කරනවා

ශර්මිලා ධර්මරාසා ෆොන්සේකා
දෙසැම්බර් 10, 2020

ප්‍රේක්ෂකයන්ගෙන් නොඉවසිලිවන්ත ප්‍රතිචාර ලැබෙනවා

පොඩි කාලේ ඉඳන්ම සිනමාව ගැන පිස්සුවක් තිබුණා

තවමත් මම රජිනි කාන්ත්ගේ හැම චිත්‍රපටයකම

පළවෙනි දවසේ පළවෙනි දර්ශනය බලන්න යනවා

හැමෝම මුහුණ දෙන යථාර්ථය නැවතත් තිරයකින් දකින්න කවුරුත් කැමති නැහැ

කතාව හරි නැත්නම් චැනල් එක මාරු කරන්න

කොරෝනා වසංගතය හේතුවෙන් සිනමාශාලාවලට රොක් වී සිනමා අත්දැකීම ලැබීමට නොහැකි සියල්ලන්ම පාහේ දැන් දැන් සුපුරුදු ටෙලිවිෂන් තිරයට හුරු වෙමින් පවතිනවා. එවැනි කාලයක සියලුම නාළිකාවල පාහේ නවමු ටෙලිවිෂන් අත්දැකීම් ප්‍රේක්ෂකයන්ට ලබාදෙන්නට පටන්ගෙන හමාරයි. "පොදු" කියන්නේ මේ දිනවල බොහෝදෙනා අතර ජනප්‍රිය එවැනි නවමු ටෙලි අත්දැකීමක්. ටීවී දෙරණෙන් පළමු වතාවට ප්‍රේක්ෂකයන් හමුවට ගෙන එන කෙටි ටෙලිනාට්‍ය (Mini Series) අත්දැකීම වන "පොදු" ගැන කතාබහකට එහි අධ්‍යක්ෂ, දෙරණ මාධ්‍ය ජාලයේ වැඩසටහන් අධ්‍යක්ෂිකා ශර්මිලා ධර්මරාසා ෆොන්සේකා එකතු කරගත්තා.

 

පොදු, නමත් අමුතුයි. වැඩෙත් අමුතුයි වගෙයි.

මේක අපි වෙනසක් කරන්න ඕනේ කියලා හිතලා කරපු වැඩක්. දෙරණ මාධ්‍ය ජාලය කොහොමත් හැමදාම වෙනස් දේවල් කරන්නේ. අපේ නාළිකාවේ දීර්ඝ නාට්‍ය තියෙනවා. ඒවා හරි ජනප්‍රියයි. ඉතින් අපිට ඕන වුණා වෙනස් ආකාරයකට ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කරන්න. පොදු කියන්නේ එහෙම හිතල කරපු වෙනස් වැඩක්. මේකේ රූගත කිරීමේ ශෛලිය, නළු නිළියන් තෝරා ගැනීම, සංගීතය, නර්තන වින්‍යාස වෙනස් ආකාරයකට කරන්න ඕනේ කියලා අදහසක් තිබුණා.

 

කොහොමද ලැබෙන ප්‍රතිචාර?

ඉතාම ඉහළයි. මම ඇත්තටම හිතුවේ නෑ මේ තරම් හොඳ ප්‍රතිචාර ලැබෙයි කියලා. අන්තර්ජාලයෙන් පවා විශාල සංඛ්‍යාවක් ටෙලිනාට්‍යය නරඹල තියෙනවා. ටෙලි නාට්‍යයේ එක ගීතයක් යූටියුබ් ට්‍රෙන්ඩින්ග් 01 වුණා. ප්‍රේක්ෂකයන්ගෙන් නොඉවසිලිවන්ත ප්‍රතිචාර ලැබෙනවා. ඊළඟ කොටසෙ මොනවද වෙන්නේ කියලා හැමෝම අහනවා. ඒක ඉතාමත්ම හොඳයි. මම හිතනවා අපි මහන්සි වෙලා වැඩ කළොත් ඒ මහන්සියේ තරමට ප්‍රතිඵල ලැබෙනවා කියලා.

 

පොදු කියන්නේ කාගේ අදහසක්ද?

මේක මගේ අදහසක්. මම තමයි හිතුවේ මේ වැඩේ මෙහෙම කරන්න ඕනේ කියලා. මම දෙරණ මාධ්‍ය ජාලයේ අවුරුදු පහළොවක් වැඩසටහන් අධ්‍යක්ෂ ලෙස කටයුතු කරනවා. වැඩසටහන් අංශයේ ප්‍රබන්ධ සහ ප්‍රබන්ධ නොවන කියලා දෙවර්ගයක් තියෙනවා. මට කාලයක් තිබුණේ නෑ ප්‍රබන්ධයක්, එහෙමත් නැති නම් ටෙලිනාට්‍යයක් කරන්න. කොරෝනා කාලයේ මට නාට්‍යයක් ලියන්න වෙලාවක් ලැබුණා. මම මෙහෙම වැඩක් කරමුද කියලා උප සභාපති ලක්සිරි වික්‍රමගේ මහත්මයාට සහ විධායක අධ්‍යක්ෂ මාධව මඩවල මහත්මයාට යෝජනාවක් කළා. මම, ධම්මික විජේවික්‍රම සහ සුදේශ් උදය කුමාර, අපි තුන්දෙනා එකතුවෙලා මේ "පොදු" පිටපත ලිව්වේ.

 

වැඩසටහන් අධ්‍යක්ෂණය එපා වුණු නිසා ද ටෙලිනාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්න පටන් ගත්තේ?

එහෙමත් කියන්න පුළුවන්. මම ඉගෙනගත්තේ ටෙලිවිෂන් සහ සිනමාව ගැන. අවුරුදු පහළොවක් තිස්සේ මට ටෙලිනාට්‍යයක් කරන්න බැරි වුණා. කවදාහරි ටෙලිනාට්‍යයක් සහ සිනමාපටයක් කරන එක තමයි මගේ හීනය වුණේ. දැන් ඒ හීන හැබෑවෙනවා කියලා මට දැනෙනවා. මෙතනින් මම නතර වෙන්නේ නෑ. ඉස්සරහට තව වැඩ ගොඩක් බලාගන්න පුළුවන් වෙයි. ටෙලිවිෂන් මට ඇති වෙලා නැහැ. මම දෙරණ නාළිකාව ඇතුළේ වෙනස් අලුත් වැඩසටහන් ගොඩක් කළා. මේකත් වෙනස් දෙයක්. මේකෙන් මට වෙනස් විදිහක තෘප්තිමත්බවක් ලැබෙනවා.

 

ලංකාවේ ටෙලි, සිනමා අධ්‍යක්ෂිකාවන් ගොන්නට ඔබත් දැන් එකතු වෙනවා.

ලංකාවේ අධ්‍යක්ෂවරුන් හිටියට අධ්‍යක්ෂිකාවන් ඉන්නේ අතළොස්සයි. සුමිත්‍රා පීරිස් මහත්මියගේ සිට ඉතා අවම ගාණක් ඉන්නේ. මට ලොකු සතුටක් ඒ අයගේ නියෝජනයක් වෙන්න ලැබුණ එක ගැන. මම හිතනවා කාන්තාවන්‍ට කලා ක්ෂේත්‍රයේ මීට වඩා දේවල් ගොඩක් කරන්න පුළුවන් කියලා. තමන්ට සුදුසුකම් තියෙනවා නම්, තමන්ගේ දක්ෂතාවය තියනවා නම්, තමන්ට ඉලක්කයක් තියෙනවා නම් එතැනට යන්න ගැහැනුද පිරිමිද කියන එක අදාළ නැහැ. මට හැමදාම ඉලක්කයක් තිබුණා. ඒ ඉලක්කයට තමයි මම වැඩ කළේ. ඒ වගේම ඉලක්කෙට යන්න මට ගොඩක් අය උදවු කළා.

 

අපි අතීතෙට යමු? ඔබ පටන් ගත්ත තැනට?

මගේ වෘත්තීය ජීවිතය පටන් ගන්නෙ ටෙලිසීනේ ඒ ආයතනයේ ඩී.බී. නිහාල්සිංහ මහත්මයා සහ ඩී.බී. සුරනිමල මහත්මයා සමඟ වැඩ කරන්න මට අවස්ථාව ලැබෙනවා. ඊටපස්සේ Young Asia නාළිකාවේ වැඩ කළා. පසුව මම ඉන්දියාවට ගිහින් වැඩ කරනවා. 2005දී තමයි ලංකාවට එන්නේ. ආව ගමන්ම මට දෙරණ නාළිකාවේ වැඩ කරන්න හම්බෙනවා. මම හිතුවේ නෑ නාළිකාවේ මේ තරම් ලොකු තැනක් මට හම්බෙවෙයි කියලා. එතනින් ආයෙමත් මගේ ටෙලිවිෂන් ජීවිතය ආරම්භ වෙනවා.

 

ක්ෂේත්‍රය ගැන කරපු හැදෑරීම් ගැන කිව්වොත්?

මම උපාධිය කරන්නේ Visual Communication වලින්. (දෘෂ්‍ය සන්නිවේදනය) මම විශේෂවේදී උපාධිය හැදෑරුවේ Television Production ගැන. ඉන්දියාවේ චෙන්නායිවල ලොයෝලා විශ්වවිද්‍යාලයෙන් ඉගෙනගන්නේ. මට පොඩි කාලේ ඉඳන්ම සිනමාව ගැන පිස්සුවක් තිබුණා. හැම චිත්‍රපටයකම පළවෙනි දවසේ පළවැනි දර්ශනය බලන්න යන පිස්සුවක් තිබුණා. මම දෙමළ ජාතිකයෙක්. මගේ පවුල් පසුබිමත් එක්ක දෙමළ චිත්‍රපට හැම එකක්ම වගේ බලනවා. තවමත් මම රජිනි කාන්ත්ගේ හැම චිත්‍රපටයකම පළවෙනි දවසේ පළවෙනි දර්ශනය බලන්න යනවා. මේ දේවල් මගේ වෘත්තිය ජීවිතය හරිගස්සගන්න ගොඩක් බලපෑවා. මගේ ජීවිතයේ අවසානය සිනමාවෙන් ඉවර වෙන්න ඕනේ කියලා බලාපොරොත්තුවක් තිබුණා ඉගෙන ගන්න කාලේ. ඒත් ඒක එහෙම වුණේ නෑ. මම නතර වුණේ ටෙලිවිෂන් එකෙන්. දැන්වත් ඒ හීනයට හෙමින් සීරුවේ යන්න ඕනේ.

 

ඒ නිසාද "පොදු"ත් සිනමාත්මක වුණේ?

එහෙම වෙන්නත් පුළුවන්. අපි නිර්මාණය කරන කතාව ප්‍රේක්ෂකයන් වැලඳගන්න නම් වෘත්තාන්තමය කතාවක් වෙන්න ඕනෑ. වීරයෙක් ඉන්න ඕනේ, ආදරය ලස්සන වෙන්න ඕනේ. සටන් ජවනිකා ලස්සන වෙන්න ඕනේ. සිනමාවෙන් අපි විශාල දේවල් ගොඩක් පෙන්වනවා. ඒ වගේම ටෙලිනාට්‍යවලිනුත් පෙන්වන්න ඕනෙ කියන තැන තමයි මම ඉන්නේ. එක් එක් අධ්‍යක්ෂකවරුන්ට විවිධ ශෛලීන් තියෙනවා. ඉතින් මේක තමයි මගේ විදිහ. ඒ කියන්නේ ශර්මිලා ධර්මරාසා ස්ටයිල් එක. මම ඉගෙනගත්ත දේවල් මම දැකපු සිනමාව මේ ඔක්කොම එකතු වෙලා තමයි මේක හැදුණේ.

 

"පොදු" ටෙලිනාට්‍යත් එක්ක අලුත් මුහුණු ගොඩක් ඔබ ප්‍රේක්ෂකයා හමුවට ගෙන එනවා. අවදානමක් ගන්න බය හිතුණේ නැද්ද?

දෙරණේ අපි අභියෝගවලට ඉතා සාර්ථකව මුහුණ දුන්නා. "පොදු" ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය කළේ රන්දික ගුණතිලක. එයා ක්ෂේත්‍රයට අලුත් කෙනෙක් නෙමෙයි. එයා දෘශ්‍ය කලාව ගැන ඉගෙන ගත්ත කෙනෙක්. ඒ වගේම නැඟී එන නළුවා විදිහට සම්මාන ලබපු කෙනෙක්. ඒ දේවල් එක්ක තමයි මම රන්දිකව ප්‍රධාන චරිතයට තෝරා ගත්තේ. මේ ටෙලි නාට්‍යය නළුවරණය කළේ ගයත්‍රි හීනටිගල. ඇයට මම ස්තූතිවන්ත වෙනවා ටෙලිතිරයට නුහුරු නුපුරුදු නමුත් දක්ෂ රංගන ශිල්පීන් තෝරලා දුන්නට. පොදු කියන්නේ ලොකු කතාවක් නෙමෙයි. ඒත් මට ඕන වුණේ වුණේ කතාවේ වීරයාට මිනිස්සු පිස්සුවෙන් වගේ ආදරේ කරනවා දකින්න. ගෑනු ළමයාට පිරිමි ළමයි ආදරය කරනවා දකින්න. ඒ වගේම තමයි ප්‍රධාන චරිතය කරන නිළිය අලුත් මුහුණක් වෙන්න ඕනේ කියන මතයේ මම හිටියා. ඒ නිසා ළහිරුණී සල්වතුරව තෝරගත්තා. අද ආදි, නිලූ, කෞෂි කියන චරිත ගැන මිනිස්සු කතාබහ කරනවා.

 

මේ ගීත ගොන්නක එකතුවකින් හැදුණු ටෙලිනාට්‍යයක්. ඒ ගැනත් කියමු?

ටෙලිනාට්‍යයේ ගීත සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම ස්තූතිය පළ කරන්න ඕනේ නිමේෂ් ගුණසිංහට. එයා තමයි සම්පූර්ණයෙන් කැපවෙලා ඒ වැඩේ කළේ. කතාවට ගැළපෙන විදිහේ ගීත කීපයක් කතාවේ විශේෂ සිදුවීම් අතරට දාමු කියලා අපි එකඟ වෙලා තමයි ගීත ටික හැදුවේ. ශෙහාන් ගලහිටියාව ඇතුළු දෙදෙනෙක් ගීත ලිව්වා. මගේ මව් භාෂාව සිංහල නෙමෙයි. මම කියන දේවල් අහගෙන මගේ ඔළුවේ තියෙන අදහස අනුව ලියනවා කියන්නෙම ලොකු අභියෝගයක් ඒ අයට. හැමෝම ඒ අභියෝගය සාර්ථකව කළා කියලා මට හිතෙනවා. ඒ වගේම චිත්‍රපටිවල තිබුණට ලංකාවේ ටෙලිනාට්‍යවල පසුබිම් සංගීතය ගැන එතරම් අවධානය යොමු කරන්නේ නැහැ. ඒත් පොදු ටෙලිනාට්‍යයට අපි විශේෂයෙන් පසුබිම් සංගීතය ගැන අවධානය යොමු කළා. නිමේෂ් ගුණසිංහ සංගීත අධ්‍යක්ෂ හැටියට ඉතාම හොඳ දායකත්වයක් මේ ටෙලිනාට්‍යයට ලබාදුන්නා. මට ඒ අයට මේක මෙහෙම වෙන්න ඕනේ කියලා කියන්න විතරයි පුළුවන්. මට කරලා පෙන්නන්න බැහැ. මගේ අදහස අනුව ඒ දේ හරියටම කළ ඔවුන්ව ඇත්තටම පැසසිය යුතුයි.

 

ටෙලිනාට්‍ය කලාවට නුහුරු නුපුරුදු නර්තනයත් මේකට එකතු වෙලා?

"පොදු" ටෙලිනාට්‍යයේ නර්තන වින්‍යාසය ගයාන් ශ්‍රීමාල්ගේ. ගයාන් ඉතාම දක්ෂ ගුරුවරයෙක්. ඔහු එක දිගටම දෙරණ වැඩවලට සම්බන්ධ වුණා. කාලෙකට කලින් මම අධ්‍යක්ෂණය කරපු ගීත රූප රචනාවලට නර්තන වින්‍යාසය ගයාන් ශ්‍රීමාල්ගෙන්. එයා මාව තේරුම් අරගත්ත, මට අවශ්‍ය මොකක්ද කියලා වටහා ගත්ත කෙනෙක්. ඒ නිසා මට ලේසි වුණා මේ වැඩේ කරන්න.

 

ඔබේ කාර්ය මණ්ඩලය ගැන මතක් කළොත්?

වැඩක් ලස්සන වෙන්න ඕනේ නම් කණ්ඩායමක් ඉන්න ඕනේ. මගේ කණ්ඩායම ආදරයෙන් මතක් කරන්න ඕනේ. පොදු ටෙලිනාට්‍යයේ කැමරා අධ්‍යක්ෂ නිලන්ත කුමාර. නිලන්ත දැන් අවුරුදු පහළොවක් විතර මං එක්ක වැඩ කරලා තියෙනවා. එයා මගේ අදහස් හොඳට දන්නවා. මම කියන දේවල් වගේම එයාගේ ඔළුවේ තියෙන දේවලුත් දාලා නිලන්ත මේ වැඩේ හොඳටම කළා. සංස්කරණය රඛිතගෙන්. අපි මොන දේ කළත් අන්තිමට ඒක ලස්සනට හැදෙන්නේ සංස්කරණයෙන්. රඛිත තමන්ගේ කාර්යය විශිෂ්ටව කරලා තියෙනවා. සටන් අධ්‍යක්ෂ ඔෂද සමන්වත් මතක් කරන්න ඕනේ. ඔෂදට සටන් ජවනිකා වෙනස් විදිහකට කරන්න ඕනේ කියලා අදහසක් තිබුණා. මට ඕනේ වුණේ සටන් ජවනිකාවක් කොහොමද චමත්කාරජනක වෙන්නේ කියලා ප්‍රේක්ෂකයන්ට පෙන්නන්න. ඔෂද ඒක හරියට කරලා තියෙනවා. පොදු ටෙලිනාට්‍යයට දායක වුණ කාර්ය මණ්ඩලයෙන් වැඩි හරියක් දෙරණ මාධ්‍ය ජාලය සේවය කරන අය. දක්වපු සහයෝගයට ඒ සියලුදෙනාට ස්තුති කරනවා මම.

 

"පොදු" ටෙලිනාට්‍යයට මේ වෙද්දි විවේචනත් එල්ල වෙනවා?

හොඳට මතක තියාගන්න ඕනෙ මේක කතාවක්. ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ ඕනම රටක සිනමාව හෝ ටෙලි නාට්‍ය ඇතුළේ අපි පෙන්නන්නෙ යථාර්ථය නෙමෙයි. යථාර්ථය පෙන්නුවොත් ප්‍රේක්ෂකයන් ඒක කීයටවත් බලන්නේ නැහැ. මොකද හැමෝම මුහුණ දෙන යථාර්ථය නැවත නැවතත් තිරයකින් දකින්න කවුරුත් කැමති නැහැ. මේක කතාවක්. කතාවක් කියන්න යථාර්ථය සහ ප්‍රබන්ධය අතර දෙයක්. මිනිස්සු හැන්දෑවට ටීවී එක ඉස්සරහට එන්නේ වින්දනයක් ලබන්න මිසක්. යථාර්ථය බලලා තැවෙන්න නෙමෙයි. මිනිස්සු චිත්‍රපටි බලන්නේ යථාර්ථයෙන් හීන ලෝකයකට යන්න ඕන නිසා. ඒත් මොන දේ කළත් ලංකාවෙ මිනිස්සු බණිනවා. ඒක දැන් සාමාන්‍ය දෙයක් වෙලා. බොලිවුඩ් කොලිවුඩ් චිත්‍රපටි බලලා අප්පුඩි ගහන අයම තමයි මේවා බලලා යථාර්ථවාදී නැහැ කියන්නේ. දැන් ගොඩක්ම "පොදු" නාට්‍යයට බනින්නෙ විශ්වවිද්‍යාල සංස්කෘතියට හානි කළා කියලා. මෙහි පිටපත ලියපු අපි තුන්දෙනාම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ. මම විතරයි විදේශ විශ්වවිද්‍යාලයක ඉගෙනගත්තේ. ඒ වගේම ප්‍රධාන නළුවා රන්දික සෞන්දර්ය කලා විශ්විද්‍යාලයේ ඉගෙන ගත්ත කෙනෙක්. මේ හැමෝම විශ්වවිද්‍යාල සංස්කෘතිය ගැන දැනුමක් තියෙන අය. අපි හැමෝම කතා වෙලා මේ ජවනිකාව මෙහෙම කරමු කියලා තීරණය කරන්නේ. මිනිස්සු කියනව නම් මේ ටෙලිනාට්‍යය හරි නෑ යථාර්ථවාදී නැහැ කියලා, මම නම් කියන්නේ චැනල් එක මාරු කරලා තමන් කැමති වෙන දෙයක් බලන්න කියලා.

 

"පොදු" කොයි විදිහට ඉවර වෙයිද?

හිතාගන්න බැරි විදිහට පොදු ඉවර කරනවා කියල මම හැමෝටම පොරොන්දු වෙනවා. හැමෝම හිතපු නැති දෙයක් අවසානයට වෙන්නේ.

 

ශර්මිලා ධර්මරාසා කියන සිනමා අධ්‍යක්ෂවරිය අපි දකින්නේ කවදාද?

ඒක නම් මට කියන්න බැහැ. හැබැයි කරනවා නම් අනිවාර්යයෙන්ම සරසවිය පුවත්පතට මම කතා කරනවා. දැන් කොරෝනා ප්‍රශ්නයත් එක්ක ලංකාවේ සිනමාව ගැන හිතන්නත් බැහැ කියලා හිතෙනවා. ඒ වගේම කොච්චර මහන්සිවෙලා චිත්‍රපටයක් කළත් ඒක තිරගත කරන්න පෝළිමේ අවුරුදු තුනක් විතර බලාගෙන ඉන්න ඕනේ. ඒ නිසා මේ ප්‍රශ්න ටික විසඳුණු කාලෙක චිත්‍රපටියක් ගැන හිතනවා.