“මිණිකිරණ”

දෛවය වෙනස් කළ මිණි කැටයක කතාව
සැප්තැම්බර් 5, 2019

 

විජිත මංජුලගේ නිර්මාණයකි

 

විජිත මංජුල සිංහපෘථිවි අධ්‍යක්ෂණය කළ මිණිකිරණ ටෙලි සිතුවම ජාතික නාළිකාවේ විකාශය වේ. එය අධ්‍යක්ෂවරයාගේ තෙවැනි වෘත්තාන්ත ටෙලි සිතුවම ලෙස සැලකේ. විජිත වත්මනෙහි ජාතික නාළිකාවේ නාට්‍ය අංශයේ නිෂ්පාදකවරයෙකි. සිය වෘත්තීයට අනුව නිශ්චිත කාල පරාසයකදී ඔවුනට නාට්‍යයක් නිර්මාණය කිරීමට අවකාශය උදාවේ. ඒ අනුව තැනූවකි මේ මිණිකිරණ. විජිතට ජාතික නාළිකාවේ ඉතා හොඳ විකාශන කාලයක් ලැබී තිබේ. සතියේ දිනවල රාත්‍රී 8.35 ට මිණිකිරණ ටෙලි නාට්‍යය ඔහු ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන් තිළිණ කරයි.

මැදි වයසේ පසුවන පින්සර විවාහකයෙකි. ඔහු හෘදයාබාධයකින් පෙළේ. තම බිරිය සමඟ ග්‍රාමීය පෙදෙසක කෘෂිකර්මාන්තයේ යෙදෙන පින්සරට දරුවන් නොමැත. දිනක රාත්‍රියේ දෙදෙනා ආහාර ගනිමින් සිටින අතරතුරදී පුද්ගලයකු නිවසට බලහත්කාරයෙන් ඇතුළු වෙයි. ඔහු පවසන්නේ තමන් නිධන් හාරන අයකු බවත් නිධානයක් ගනිමින් සිටින විටකදී පොලීසිය ලුහුබැන්ද බැවින් මෙසේ පැමිණි බවත්ය. එකී පුද්ගලයා පින්සරගෙන් මේ පතන්නේ ආරක්ෂාවය. පින්සර ඊට විරුද්ධව අදහස් දක්වයි. එනමුත් ඔවුනගේ හිත් වෙනස් වන්නේ නන්නාඳුනන තැනැත්තා මැණිකක් අත තැබූ මොහොතේය. එයට ඇති තණ්හාව හේතුවෙන් පින්සර සහ කුසුම් ඔහු බේරා ගැනීමට ඉදිරිපත් වෙති. මැණිකක් හිමි වන මේ පුංචි පවුල එය විකුණා ගැනීිමට ගොස් මහත් වූ ඝට්ටනයකට මුහුණ පායි.

සුසිරන් ද සිල්වා එසේ මිණිකරණ රූපවාහිනියට රචනා කොට ඇත. තණ්හාව පසුපස හඹාගොස් අවසනදී ඔවුන්ට සිදු වන්නේ කුමක්ද?

සරත් කොතලාවල, සුරාජ් මාපා, සම්පත් ජයවීර, චන්දික නානායක්කාර, උදය කුමාරි, අවන්ති අපොන්සු, රොෂානා ඔන්ඩච්චි, නිලූකා රේඛානි, වසන්ත කුමාරසිරි, කුමාර වඳුරැස්ස, සිතිජය ජයසේකර, වත්සලා කල්පනී, රන්මලී ගුණතිලක, නිශාදි ධනුෂ්කා මිණිකිරණ හි නළු නිළියෝය.

නිෂ්පාදනය වෝල්ටර් අබේසුන්දරගෙනි. චන්දන ධර්මප්‍රිය කැමරා අධ්‍යක්ෂවරයාය. මලිත් අබේසුන්දරගේ සංගීත අධ්‍යක්ෂණයකි. මධුර ප්‍රසාද් සංස්කරණ ශිල්පියාය. ප්‍රියන්ත ඊශ්වර අංග රචනයෙන් ද රෝහිත් රුවන් ජයතිලක කලා අධ්‍යක්ෂණයෙන් ද මිණිකරණ සඳහා එකතු වී සිටිති.

 

 

 

 

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.