කළු සුදු කුලකයේ අළුපාට අන්දරය

‘හේලංකඩ’ ගෙන ආ ධම්මික තිසේරා
මැයි 9, 2019

සිරස නාළිකාවේ විකාශය වන හේලංකඩ ටෙලි සිතුවම වෙනස් ආරක කතා පුවතකින් සමන්විතය. එය ධම්මික තිසේරාගේ අධ්‍යක්ෂණයකි. මේ එම ටෙලි සිතුවම පිළිබඳ අධ්‍යක්ෂවරයා හා කළ කතාබහක සටහනකි.

ධම්මික, හේලංකඩ කියන නමෙන්ම මේ කතාව අරඹමු. බොහෝ දෙනෙකු දන්නෙ නැහැ හේලංකඩ කියන්නේ මොකක්ද කියලා?

ගැමි ගෙදරක පිලට වැටෙන වතුර පොළවේ එකතු වන තැනට තමයි හේලංකඩ කියන්නේ. මේ හේලංකඩ කාන්තාවන්ට අගුණයි කියල ගැමියන් අතර මතයක් තියෙනවා. අන්න ඒ පොයින්ට් එක තමයි නාට්‍යය හා නමේ ගැළපීම සිදු වන්නේ.

හේලංකඩ නාට්‍ය සඳහා පදනම සැකසෙන්නේ කොහොමද?

මේක ලිව්වේ ලාල් වසන්ත කරුණාරත්න සහෝදරයා. ඔහු කාලයක තිස්සේ මං දන්න කියන අයෙක්. මට ඕනෑ වුණා වෙනස් විදිහේ කතාවක් ටෙලි නාට්‍යයකට. ලාල් එක්ක කතා කරකර ඉන්නකොට ඔහු කිව්වා එක්තරා දුර්ලභ රෝගයක් වැලඳුණ කෙනෙකුව මේන් රෝල් එක කරලා කතාවක් ලියමු කියලා. ලාල් කියන්නේ හද්ද පිටිසර ගමක කෙනෙක්. ඔහු නියම ගැමිකම දන්නවා. සමහරු ගමේ කතා ලියන්නේ ගම ගැන දැනගෙන නෙමෙයිනෙ. මේකෙ ප්‍රධාන චරිතය කාවිංග. ඔහුට තියෙනවා ශරීරයේ සෛල මියයන ලෙඩක්. ඒක හරිම දුර්ලභයි. කාලයක් ගතවෙද්දි ලෙඩෙන්ම මිනිහා මියැදෙනවා. කාවිංග ගමකට එන්නේ කැලෑ වදින්න. එහිදී ඔහුට මයෝමා කියලා තරුණියක් හමුවනවා. මයෝමගේ කිරි අත්තා කච්චිඅත්තප්පා. එයා වෙදෙක්. මේ රෝගය සම්බන්ධව ඔහු දන්නවා. ඔය අතරේ ඉන්නවා මද්දා කියලා චරිතයක්. ගොළුයි. ජගත් චමිල තමයි ඒක නිරූපණය කරන්නේ. නාට්‍ය නරඹපු බොහෝ දෙනෙකු කිව්වා කාලෙකට පස්සේ ජගත්ගේ හොඳ රංගනයක් දැක්කා කියලා. කාවිංග, මයෝමා, කච්චි අත්තප්පා ඇතුළු චරිත ගණනාවක් එකට ගැටෙනවා. නාට්‍යයේ තේමාව කළු සුදු කුලකයේ අළුපාට අන්තරය. අපි හැමෝම කළුත් නැහැ, සුදුත් නැහැ. අතරමැද තැනකයි ඉන්නේ.

ඔබ අති විශාල නළු නිළි කණ්ඩායමක් එක්ක කොළඹින් දුරබැහැර දර්ශනතල යොදාගෙනයි මේ නාට්‍යය කරලා තියෙන්නේ. මෙවන් යුගයක ඔය අන්දමින් ටෙලියක් හදනවා කියන්නේ සෑහෙන්න අභියෝගයක්?

ඔව්. මේ කාලේ ටෙලියක් කරන්න නිෂ්පාදකවරු හොයන්නත් බැහැ. නමුත් මට හමු වුණා අශාන් කන්නංගර කියලා කෙනෙක්. මගේ පෙර නිර්මාණ ගැන ඔහු දැනගෙන ඉඳලා තියෙනවා. හේලංකඩ කියන්නෙත් වෙනස්ම වැඩක් කියලා එයාට දැනිලා තිබුණා. ඔහුට අවශ්‍ය වුණේ ලාභයක් නෙවෙයි, හොඳ නිර්මාණයක් එළි දක්වන්න. ඊට අවැසි සහාය උපරිමයෙන්ම දුන්නා. අඩුම තරමේ නළු නිළි කාස්ටිං එකටවත් ඇඟිලි ගැහැව්වේ නැහැ.

නාට්‍යයේ වැඩ නිම කරලා කොපමණ කල්ද?

අවුරුදු දෙකක් විතර.

ඒ ප්‍රමාදය ගැන මොකද කියන්න තියෙන්නේ?

පරක්කු වුණාට කාටද කියන්න තියෙන්නේ. කවුරුවත් නැහැ. අවුරුදු දෙකක් පුරා නාට්‍යය තියාගෙන සිටීමේ පාඩුව මටම තමයි. හේලංකඩ කරලා ටෙලිකාස්ට් වෙනකම් වෙන වැඩක් කරන්න ලැබුණේ නැහැ. නිර්මාණකරුවකු හැටියට සියලුම ඉඩ ඇහිරෙනවා. නිසි ක්‍රමවේදයක් නැතිකම තමයි හේතුව. අපිත් නිර්මාණකරුවෝ වුණාට පොදු ජනයාගේ ප්‍රශ්න අපටත් තියෙනවනෙ. ජීවත් වෙන්න සල්ලි ඕනෑ. එහෙම කියලා කුණු ජරාවල් කරන්නත් බැහැ. අවුරුදු දෙක තුනකට එක නාට්‍යයක් කරන්නත් බැහනෙ. කපුගේ සන්ෆ්ලවර් එක්ක කැසට් කරද්දි හැමෝම කපුගේට බැන්නා. නමුත් ඔහු කන්නෙ බොන්නෙ කොහොමද කියලා කවුරුවත් බැලුවෙ නැහැ.

වසර දෙකක් තිස්සේ ගෙදර තිබුණු හේලංකඩ සිරසෙ විකාශය වන තැනට එන්න මඟ පෑදුණේ කොහොමද?

ඒ සඳහා ප්‍රථමයෙන්ම තුති පුදන්න ඕන සිරස නාළිකා ප්‍රධානි සුසාර දිනාල් මහත්මයාට. මං නාට්‍ය ඔහුට ගිහින් දුන්නම ඊට පහුවෙනිදා ඔහු ඒක නරඹලා තිබුණා. ඔහුට නාට්‍යය ෆීල් වෙලා මට කෝල් කළා. ඔහු කිව්වේ ඉතිරි කොටස් කිහිපයත් ඒ රිදම් එකටම කරන්න කියලා. එහෙම ඔහු ටෙලිකාස්ට් කිරීම බාර ගත්තා. නිර්මාණයක රසයක් දැනෙන සුසාර මහත්මයා නිසා තමයි හේලංකඩ ප්‍රේක්ෂකයන් අතරට ගියේ. එහි සියලු ගෞරවය ඔහුට හිමි විය යුතුයි.

ඔබේ නිර්මාණ දිවිය ඇරැඹෙන්නේ?

මං මුලින්ම කළේ ලේඛනය. තිර තරු පත්තරේ ලේඛකයකු විදිිහට කලක් වැඩ කළා. එතෙන්දි ලැබුණු කලාකරුවන්ගේ සබඳකම් මත සහාය අධ්‍යක්ෂණයට පිවිසෙන්න පුළුවන් වුණා. අවුරුදු දහයක් විතර එහෙම වැඩ කළා. 2007 දී මං මගේ පළමු ටෙලිය අධ්‍යක්ෂණය කරනු ලැබුවා. ඒකෙ නම දේදුනු සිහින. ඊට පස්සේ මල්මී, මානාවාරිය වගේ නාට්‍ය අධ්‍යක්ෂණය කළා.

හේලංකඩ නාට්‍යයේ කොටස් කීයද?

පනස් හතරකට විතර තමයි අපි ප්ලෑන් කරගෙන ඉන්නේ.

අවසන් කොට මොනවද කියන්න තියෙන්නේ?

මේ නාට්‍යය රුපගත කළේ මහව, තඹුත්තේගම, ගල්ගමුව ආදී ප්‍රදේශවල. නළු නිළියන් සියලුදෙනා, කාර්මික ශිල්පීන් මේ ඔක්කොම අති දුෂ්කරව දුක් ගැහැට විඳිමින් තමයි රූපගත කිරීම් කළේ. අපි හැමෝම හරියට වෙහෙසුණා. මේ නාට්‍යයේ යම්කිසි හොඳක්, සුබවාදී දෙයක් මිනිස්සු දකිනවා නම් නාට්‍යය ගුණාත්මක එකක් කියලා හිතෙනවා නම් ඒ සියලු ගෞරවය, ප්‍රණාමය ඔවුනට හිමි විය යුතුයි. නාට්‍යයේ යම්කිසි අඩුපාඩුවක් වැරැද්දක් තියෙනවා නම් එහි වගකීම අධ්‍යක්ෂවරයා විදිහට මං තනිවම බාරගන්නවා.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.