රූපවාහිනියට නම ලැබුණු හැටි

මාර්තු 21, 2019

රූපවාහිනී මාධ්‍යය හඳුන්වා දුන් කාල වකවානුවේදීම එය අධිවේගයෙන් ගම් නියම්ගම් සිසාරා ගමන් කරන්නට විය. 82 වර්ෂය අවසානය වන විට ආනයනය කරන ලද රූපවාහිනී යන්ත්‍ර සංඛ්‍යාව දළ වශයෙන් 44500 ක් වීමෙන් මෙය සනාථ වේ. රූපවාහිනී මාධ්‍ය පරිභෝජනවාදය ස්ථායී ගත කිරීම සඳහා එතෙක් මෙතෙක් ලෝකයා විසින් සොයාගත් වඩාත් ආකර්ෂණීයම මාධ්‍යය බව අවිවාදිතය. රූපවාහිනී මාධ්‍යය නිල වශයෙන් අප රටට හඳුන්වා දීම 80 දශකයේ මුලදී සිදු වුව ද රූපවාහිනිය යන පාරිභාෂික වචනයේ ඉතිහාසය 50 දශකයේ මුල් කාල වකවානුව දක්වා දිව යයි.

ජාතික රූපවාහිනියේ පළමු සභාපති ඇම්. ජේ. පෙරේරා මහතා (මොහු පිළිබඳව දීර්ඝ වශයෙන් කතා කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වෙමි) ලංකා ගුවන් විදුලියේ (රේඩියෝ සිලෝන්) පළමු ශ්‍රී ලාංකික අධ්‍යක්ෂ ජනරාල් විය. ඒ මහතා 1953 වර්ෂයේ බ්‍රිතාන්‍යයේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය ගුවන් විදුලි සන්නිවේදකයින්ගේ සංගමයේ සැසි වාරය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළේය. එහිදී බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සේවය (බීබීසී) ඇම්. ජේ. පෙරේරා මහතාව සම්මුඛ සාකච්ඡාවක් සඳහා කැඳවයි. වැඩසටහන මෙහෙයවන්නා විසින් පෙරේරා මහතා වෙත ප්‍රශ්නයක් යොමු කරමින් අසනු ලබන්නේ ලෝකය පුරා ඒ වන විට ද ප්‍රචලිත වෙමින් පැවැති ටෙලිවිෂනය යන්නට සිංහල අර්ථ නිරූපණයක් දෙන ලෙසටය. එයට පිළිතුරු දෙමින් ඔහු පවසා සිටින්නේ ගුවන් විදුලිය සඳහා ශබ්දවාහිනිය යන පාරිභාෂිත වචනය භාවිතයට පැමිණ ඇත්තේ ශබ්දයේ වාහකය යන අර්ථයෙන් බැවින්, රූපයේ වාහකය ලෙසට රූපවාහිනිය යන්න ටෙලිවිෂනය සඳහා සුදුසු සිංහල වචනය බවට තමා යෝජනා කරන බවය. නව විද්‍යුත් මාධ්‍යය රූපය සහ ශබ්දයේ සංකලනයක් බැවින්, එය ප්‍රතිබිම්භනය වන වචනයක් යෙදීම වඩාත් සුදුසු බව පෙළක් භාෂා විශාරදයින්ගේ එදවස මතය වුව ද, ඇම්. ජේ. පෙරේරා මහතා විසින් බීබීසීය වෙනුවෙන් ප්‍රකාශ කරන ලද රූපවාහිනිය යන පාරිභාෂික වචනය පසු කලෙක ස්ථායීව සමාජගත විය.

ජාත්‍යන්තරව ප්‍රචලිත වූ අලුත් මාධ්‍යය අර්ථ ගැන්වීම සඳහා රූපවාහිනිය යනුවෙන් අලුත් වදනක් අපගේ ශබ්දකෝෂයට එසේ එකතු වෙද්දී, එම වචනය අරබයා අප රටේ ජනතාවගේ කතාබහට ලක් වූ ගීතයක් ද 1972 වර්ෂයේදී සිංහල ගීත සාහිත්‍යයට එකතු වේ. දයානන්ද කුමාරසිරි යන ගීත රචකයා විසින් ලියන ලද, මෙහොමඩ් සාලි මාස්ටර් විසින් සංගීතය අධ්‍යක්ෂණය කළ මෙම ගීතය ගායනා කරනු ලබන්නේ රූපා ඉන්දුමතී සහ ලක්ෂ්මන් රුද්‍රිගු යන ජනප්‍රිය ගායක යුවල විසිනි.

ගැ: විදුලි දුම්රියේ චංචල නාදය සවනට වැකෙන සඳේ

කඳුළු පිරි නෛත් අතරින් මිහිරක් මතු විය සැලෙන හදේ

පි: සීත කඳුකරේ මීදුම අධිකයි පමා වුණෙමි සොඳුරේ

රූපවාහිනී අංජන රේඛා නළඟන ඔබ ද ළඳේ

දයානන්ද කුමාරසිරි වර්තමාන ගීතයේ දිශානතිය පිළිබඳව කලකිරී මේ වන විට ගීත රචනාකරණයෙන් බැහැර වී ඇත. දැනට ඔහු මහනුවර පිහිටා ඇති හෝටලයක කළමනාකරුවෙකු වශයෙන් සේවය කරයි. ඔහුගේ ගීත රචනා අතුරෙන් වඩාත් ජනප්‍රිය වූ තවත් ගීත දෙකක් වන්නේ රූපා ඉන්දුමතී ගායනා කරන එක කුඩේ යටින් සරසවි පාරේ ගීතය සහ සංගීත් වික්‍රමසිංහ විසින් ගායනා කරනු ලබන සඳ මුවා වෙලා යන ගීතය වේ.

ජාතික රූපවාහිනිය ආරම්භ කළ මුල් අවධියේදී එහි විකාශන කටයුතු දෛනිකව ආරම්භ කිරීමට පෙර, දර්ශනීය රූප පෙළක් සමඟ ප්‍රේක්ෂකයින් අතරට ගෙන ආ ගීතයක් විය. හෙන්රි ජයසේනයන් විසින් රචිත මෙම ගීතය සංගීතවත් කර ඇත්තේ ප්‍රවීණ වයලීන වාදක සෝමසිරි ඉලේසිංහයන් විසිනි. එහි භාවපර්න, රසාලිප්ත ගායනය පණ්ඩිත් අමරදේවයන් ගෙනි.

රන් සැළලිහිණි රෑනක් - නන් දෙස සැරිසරා ලොව

උන් තුඩ තුඩග ගෙන එන - සන් හුන් සදෙස් දහරා

චිත්‍රවාහිනී - රංගවාහිනී

සත්‍යවාහිනී - රූපවාහිනී

දවසින් දවස ලොව තුළ - මොහොතින් මෙහොත පිළිරැව්

අහසින් ගොඩින් ගෙනැවිත් - නිවසින් නිවස දක්වන - මනසින් මැවූ රූසේ

චිත්‍රවාහිනී - රංගවාහිනී

සත්‍යවාහිනී - රූපවාහිනී

දකින සත්‍යය ලොව අනිත්‍යය - ලොවේ හසරැලි එහිම කඳුළැලි

නිවසින් නිවස දක්වන - මනසින් මැවූ රූ සේ

චිත්‍රවාහිනී - රංගවාහිනී

සත්‍යවාහිනී - රූපවාහිනී

රූපවාහිනි මාධ්‍යයේ හැඩතල හකුළුවා ගනිමින් ලියැ වී ඇති මෙම ගීතය තුළින් හෙන්රි ජයසේනයන් ගේය පද රචනය සඳහා ද එක ලෙස සුරුවිරුකම් පෑ අයුරු මොනවට දශ්‍යමාන වේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.