ලංකා අන්දරය TV

පෙබරවාරි 28, 2019

රූපවාහිනිය සමාරම්භක උත්සවය පැවැත් වූයේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා ගොඩනැගිල්ලට වම්පසින් පිහිටි නුග ගස යට තාවකාලිකව ඉදි වූ වේදිකාවක් මතය. ටකරන් තහඩු භාවිතා කරමින් වේදිකාව තුන් පැත්තකින් ආවරණය කර තිබූ අතර, කොළ පාට ජෝජඩ් රෙදිවලින් තහඩු වසා තිබිණ. උත්සවයේ රූපවාහිනී නිවේදකයා වූයේ ප්‍රවීණ ගුවන් විදුලි නිවේදක පාලිත පෙරේරාය. ජාතික රූපවාහිනියේ පළමු නිවේදකයා ලෙස පාලිත පෙරේරා යන නාමය එලෙස අභිෂේක ලබමින් රූපවාහිනී ඉතිහාසයට එක් වුව ද ඔහුගේ පළමු රාජකාරියේදීම ඔහු මුහුණ දුන්නේ නොසිතූ විරූ අත්දැකීමකටය.

සමාරම්භක උත්සවය සජීවීව විකාශය වෙමින් තිබිණ. වේදිකවේ රඟ දැක් වූ කලාංගයන් එකිනෙක රටට හඳුන්වා දෙමින් ප්‍රේක්ෂක ජනතාව තම ග්‍රහණයට නතු කරගෙන සිටි පාලිතගේ රුව කැමරාවට හසු කරගෙන සිටියේ වේදිකාවේ පහළ කැමරාව ස්ථානගත කර ගනිමින් කැමරාකරණයේ යෙදී සිටි ප්‍රවීණ කැමරා ශිල්පී ජයනිමල පෙරේරා විසිනි. ඔහු ලබාදෙන රූප රාමු සහ අනෙකුත් කැමරා මඟින් ලබා දුන් රූප රාමු ලාලිත්‍යයකට මුසු කරමින් එය විකාශය කිරීමට විධාන කරන ලද්දේ වේදිකාවේ මඳක් ඈතින් නවතා තිබූ ර්‍ණඕ(ර්‍ණභබඵඪඤඥ ඕපධචඤජචඵබඪදඨ) බස් රථයට වී එම රූපවාහිනී වැඩසටහන අධ්‍යක්ෂණය කරන ලද ධම්ම ජාගොඩයන් විසිනි. (රූපවාහිනී මාධ්‍යයට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ ධම්ම පිළිබඳව අපි පසු දවසක කතා කරමු).

ජයනිමලගේ කැමරාව පාමුල පෙට්ටියක් මත තබා තිබූ රූපවාහිනී යන්ත්‍රයෙන් දිස් වූ තමාගේ රුවෙන් කැමරාව ඉවත්ව වෙනත් රූප රාමුවකට යොමුවන තෙක්ම, රසවත්ව, අපූර්වත්වයකින් යුතුව වැඩ සටහන ඉදිරිපත් කිරීම පාලිතට පැවරී තිබූ භාරදූර රාජකාරිය විය. එය අකුරටම ඉටු කරමින් ඒ මොහොතේ ඔහු තමන්ගේ නිපුණත්වය රටට ප්‍රදර්ශනය කර සිටි බැවින්, තමන්ගේ පිටුපස තිබෙන ජෝජඩ් රෙද්ද හදිස්සියේම ගිනි ගෙන පිලිස්සෙන අයුරු ඔහුට නෙපෙනුණි. පෙනුණත් තමන්ගේ රුව රූපවාහිනී තිරයේ ඒ වන විට ද රැඳී තිබුණ බැවින්, එම ගින්නට තමන්ගේ ගත අසූ වූවත් තමන්ට භාර දී තිබුණ රාජකාරිය ඉටු කිරීම හැර වෙනත් විකල්පයක් ඔහුගේ සිතට ගොඩ වූයේ නැත. වේදිකාවේ පහළ අසුන් ගෙන සිටි රාජ්‍ය අමාත්‍ය ආනන්ද තිස්ස ද අල්විස් මහතා පාලිත ඔන්න ගින්නක් පල්ලෙහට බහින්නයි කියා වේදිකාව ළඟට පැමිණ කෑගසා කියද්දිත් තමනට එය නෑසුනාක් මෙන් වැඩසටහන තුළ එතෙක් පවත්වා ගෙන ආ සංයමයට බාධාවක් නොවෙන අයුරින් එය ඉදිරියට ගෙන යාමට පාලිත දක්ෂ විය.

දැනට අප අතර ජීවත්ව සිටින අතළොස්සක් වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් අතර ගුවන් විදුලි සහ රූපවාහිනී යන මාධ්‍ය ද්විත්වයටම අනුපමේය සේවයක් කරන ලද පාලිත පෙරේරා මහතා මාධ්‍ය ක්ෂේත්‍රයේ තමන් ලද අත්දැකීම් සටහන් කරමින් ග්‍රන්ථයක් එළිදැක්වීමට මේ දිනවල සූදානම් වෙයි. ඓතිහාසිකව විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයට ඔහු කළ සේවය නිසි ඇගයීමට ලක් නොවූ බව අප හට මතක් කර දෙමින් තමාගේ නිවසට වී ඔහු කාලය ගත කරන්නේ කිසියම් කනස්සල්ලකිනි. අංකුර මාධ්‍යවේදීන්ට ඔහුගේ අත්දැකීම් බෙදාහදා ගැනීමට ඔහු තවමත් සූදානම්ය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
18 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.