ඉඩෝර වැස්සට කවිකාරියක් ඇවිත්

ජනවාරි 17, 2019

වේලාව අලුයම එකට ආසන්නය. කලමනා සියල්ල එක්කාසු කරගත්ත තොවිලය අරඹන්නට මදක් ප්‍රමාද විය. කැමරා ආම්පන්න සූදානම් කොට ඉරේෂ් ලොකුබණ්ඩාර සිටින්නේ ඇක්ෂන් කියන්නට ඇඟිලි ගනිමිනි. එහෙත් ඔහුට ගැටලුවක් ඇත. ඒ මේ මොහොතෙහි තොවිලයට අවශ්‍ය නළුවාගෙන් අවශ්‍ය රංගනය ලබාගත හැකිද යන්නයි. ප්‍රවීණ නළු ජනක් ප්‍රේමලාල් මෙතැන රඟපෑ යුතුය. එහෙත් මේ අලුයමේ ඔහු කුමක් කියාවිද යන ගැටලුව ඉරේෂ්ගේ හිතේ තිබිණ. ඔබතුමාට මේ වෙලාවේ ෂූටිං කරන්න පුළුවන්ද?

ඉරේෂ් ළඟට කිට්ටුවී ජනක්ගෙන් ඇසුවේය.

මොකද බැරි එළිවෙනකම් හරි ෂූටිං කරමු.

ජනක් එසේ පැවසීම ඉරේෂ්ගේ සතුටට හේතු විය. එදින ඉරු එළිය වැටෙනතුරු රූපගතකිරීම පැවැතිණ.

අලුයම තොවිලය ගැන පසුවදා ජනක් කතා කළේ සිනහමුසු මුහුණෙනි. එම දර්ශනය අඩංගු වූයේ ඉඩෝර වැස්ස ටෙලිසිතුවමේය. ටෙලිනාට්‍යයේ නම මෙන්ම අධ්‍යක්ෂවරයාගේ නමද ආරම්භවන්නේ ‘ඉ’ යන්නෙනි. ටෙලිනාට්‍ය ඉඩෝර වැස්ස වෙද්දී අධ්‍යක්ෂවරයා ඉරේෂ් ලොකුබණ්ඩාරයි. හර්ෂණ බෙත්මගේ ඉඩෝර වැස්සේ බණ්ඩාරය. වෙනදා මෙන් නොව පාන්දරම බුලත් විටක් කන්නට පටන් අරගෙන.

මේ මොකෝ උදේ පාන්දරම කට රතුකරගෙන.

මිත්‍රයෙක් ඇසීය.

බණ්ඩාර බුලත් කනවනෙ. ඒ නිසා මමත් බුලත්විටක් කාලා ලකලැහැස්තිවුණා චරිතෙට.

ඒත් හවසනේ ෂූටිං තියෙන්නෙ.

අප්පටසිරි ඔව්නෙ.

හර්ෂණට එය සිහිපත් කරවන විටත් විටෙන් අඩකඩත් වැඩියෙන් ඔහු අහවර කොට තිබිණ.

මාධිනි ඉඩෝර වැස්සේ කුසුම් වුණ නිසා බොහෝවිට ගත කළේ හැඬූ කඳුළෙන් යුතු දිවියකි. බොහෝ තැන්වලදි ඇයට අඬන්නට සිදුවිය.

තම දියණිය වූ රශිප්‍රභා වෙන්වන දින මාධිනි ඇඬුවේ ඇත්තටමය. අධ්‍යක්ෂවරයා කට් කියූ පසුවද ඇගේ නෙතෙහි වූ කඳුළු උල්පත නොසිඳී තිබිණ.

අලුත් කවිකාරියක් ඉඩෝර වැස්ස ටෙලිසිතුවම තුළින් කලඑළියට ආවාය. ඇය රශිප්‍රභා සංදීපනීය. ඉඩෝර වැස්සේ ප්‍රධාන චරිතය මවන අතරතුර එහි අඩංගු කවි සියල්ලම රචනා කළේ ඇයය. එපමණක්ද නොව නාට්‍යයේ තේමා ගීයද රචනා කළේ ඇය විසිනි. රශීි වගේ කෙනෙකු ගැඹුරු පදමාලාවන් රචනා කිරීම ගැන පුදුමවන වග අධ්‍යක්ෂවරයාට බොහෝ දෙනෙකු පවසා තිබිණ. ඉරේෂ්ගේ නම වැඩිපුරම කියැවෙනුයේ මෙගා නාට්‍ය අධ්‍යක්ෂවරයකු හැටියටය. ඔහු ඉන් අත්මිදුණේ ඉඩෝර වැස්ස නිර්මාණය කිරීම මඟිනි. මෙය ඔහුගේ එකොළොස්වැනි ටෙලි නිර්මාණයයි. පුංචි වලව්ව ඉරේෂ් තැනූ නාට්‍ය අතරින් ඉතාම ජනප්‍රිය නාට්‍ය විය. ඉඩෝර වැස්ස නිෂ්පාදකවරයා වනුයේ ලසිත ගුණසේනය. තිරරචනයෙන් සමන්ත කුමාර ගමගේ දායකවිය. මංජුල දුරේක්ෂගේ නිෂ්පාදන සම්බන්ධීකරණයකි. ජාතික නාළිකාවේ ඉහළම ලකුණු ලබාගනිමින් ඉඩෝර වැස්ස විකාශනයට අවස්ථාව ලැබිණ. ජාතික නාළිකාවේ සභාපතිනි ඉනෝකා සත්‍යාංගනී විශේෂයෙන් මතක්කරන බව ඉරේෂ් අප හා පැවසීය. එමෙන්ම සාර්ථක නිර්මාණකරුවකු ලෙසට ඉදිරියට යන්නට උදව් කළ මහේන්ද්‍ර පෙරේරා, හර්බට් රංජිත් පීරිස් සහ මහේෂ් රත්සර මද්දුමආරච්චි යන අය ඉරේෂ් සිහිපත් කරන්නේ හදපිරි බැතියෙනි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.