වේදිකාවත්, පුංචි තිරයත් සිනමාවත් ජයගත් ඉම්රාන් ඩීන්

දෙසැම්බර් 27, 2018

අන්‍ය ජාතිකයකු වුව ද ඔහු හෙළ කලා කෙතට පෙම් බැන්දේය. රංග ශිල්පියෙකු ලෙස වේදිකාව, පුංචි තිරය, රිදී තිරය ජයගත් ඔහු නමින් ඉම්රාන් ඩීන්ය. නළුවකු, කලා නිර්මාණකරුවකු, ගත්කතුවරයකු මෙන්ම ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදකයකු ලෙසින් විවිධ කලා ක්ෂේත්‍ර නියෝජනය කළ ඉම්රාන් ඩීන් වැල්ලම්පිටිය වෙලේවත්ත ග්‍රාමයේ 1943 දෙසැම්බර් මස 29 වනදා උපත ලැබීය. උපතින් මැලේ ජාතිකයකු වූ ඉම්රාන් ඩීන් දෙමටගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙන් හා කොලොන්නාව ටෙරන්ස් සිල්වා මහා විද්‍යාලයෙන් සිප් සතර හදාරනු ලැබීය. මොහොමඩ් හනිපා නසුර්ඩීන් ඉම්රාන් (ඉම්රාන් ඩීන්) පාසල් දිවියෙන් සමුගැනීමත් සමඟ මුද්‍රණ ශිල්පියකු ලෙසින් රැකියාවට අවතීර්ණ වූයේ රජයේ මුද්‍රණාලයේ වර්ණ සංයෝජකයෙක් ලෙසින්ය.

විසි දෙවැනි වියේදී කලා ක්ෂේත්‍රයට එක් වූ ඉම්රාන් එතැන් පටන් විවිධ වේදිකා නාට්‍ය, චිත්‍රපට, ටෙලි නාට්‍ය සඳහා දායක වනු ලැබීය. 1965 දී එඩ්මන්ඩ් බොතේජුගේ 'ශ්‍යාමලී' නාට්‍යයේ දුෂ්ටයාගේ චරිතය රඟමින් හාපුරා කියා වේදිකාවට එක් වූ ඉම්රාන් ඩීන් එඩ්මන්ගේ ගැහැනිය ද දරුණු පිරිමියා ද වේදිකා නාට්‍යයේ ද ජයසේකර අපොන්සුගේ 31 නාට්‍යයේ ද රඟපානු ලැබීය.

විවාහයත් සමඟ දිගු නිහඬතාවයකින් කලාවෙන් ඈත්වන ඩීන් යළිත් රංගනයට අවතීර්ණ වනුයේ 1989 දී පමණය. රංගනයෙන් කලක් දුරස් වී සිටිය ද 1984 දී පමණ නෙයිනගෙ සූදුව, සාජන්ට් නල්ලතම්බි, කවුරුත් එන් නෑ නාට්‍ය සංවිධායකවරයකු ලෙසින් කටයුතු කරනු ලැබීය.

කලක් රංගනයෙන් ඈත් වී සිටි ඉම්රාන් යළිත් රංගනයට අවතීර්ණ වනුයේ 1989 දී බී. සිරිතුංග පෙරේරාගේ 'ගව්වෙන් ගව්ව' ටෙලි නිර්මාණයට රංගනයෙන් දායක වෙමිනි. ගව්වෙන් ගව්ව පුංචි තිරයේ ඉම්රාන් රඟපෑ මුල්ම ටෙලි නාට්‍යයි. ඉන් පසු මුතුලන්ද, ගිම්හානයේ සිහිනය, බක්මහේ කුමාරයා, ජයසේකර අපොන්සුගේ ගිජු (මැණික් කුරුකුලසූරියගේ පියා වශයෙන්) වසන්තයක් එනතුරු (මොරින් චාරුණිගේ පියා) සිල් (මුස්ලිම් පූජකයෙක්), මැඩම් සෝබා හි නිෂ්පාදන කළමනාකරු ලෙසින්, සුසිරන් ද සිල්වාගේ තිලකසිරිගේ වික්‍රමය (අවුරුදු නාට්‍ය), නිශාන්ත පෙරේරාගේ පානාති පාතා අදින්නා දානා (පෝය නාට්‍ය) ගාමිණී පෙරේරාගේ කළුවර අඩවිය (ග්‍රාම සේවක), උදයකාන්ත වර්ණකුලසූරියගේ දිය සුළිය මෙන්ම ආදරේ ගින්දර, පිළිසරණ, ගමින් ගමට, පරමේශ්වරී ආදී ටෙලි නාට්‍ය රැසකට රංගනයෙන් දායක විය.

දයාරත්න රටගෙදරගේ මහ මෙර පාමුල ටෙලි නාට්‍යයේ මිස්කින් චරිතය තුළින් ඉම්රාන් ඩීන් ප්‍රේක්ෂකයන් අතර වඩාත් ජනප්‍රිය විය.

වේදිකාවෙන් පුංචි තිරයට එක් වූ ඉම්රාන් ඩීන් පසුව සිනමා නිර්මාණ සඳහා ද රංගනයෙන් දායක විය. ජයසේකර අපොන්සුගේ රෑ රූ චිත්‍රපටයේ නිෂ්පාදන කළමනාකරු ලෙසින් ද බී. සිරිතුංග පෙරේරාගේ පෝරිසාදයා චිත්‍රපටයේ රංගනයෙන් ද ඕස්ට්‍රේලියානු නිෂ්පාදනයක් වූ ඊඩ්ඡ් ච්ඒව්ට්ඡ්අඉ ඹ්ධ්ජ්ඡ් චිත්‍රපටයේ ද රංගනයෙන් දායක විය.

ඉම්රාන් ඩීන් ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හා රූපවාහිනී සංස්ථාවේ මැලේ වැඩසටහන් ඉදිරිපත් කරන්නකු ලෙස ද වසර ගණනාවක් කටයුතු කරනු ලැබීය. 1997 සිට වසර දෙකක් ජාතික රූපවාහිනියේ සලාමත් මැලේ වැඩසටහන ඉදිරිපත් කිරීම, පිටපත ලිවීම හා රංගනයන් ඉදිරිපත් කිරීම සිදු වූයේ ඉම්රාන් අතිනි. ශ්‍රී ලංකා ගුවන් විදුලියේ සුවාරා මලායු මැලේ වැඩසටහන ඉදිරිපත් කිරීම හා ගුවන් විදුලි ශිල්පියෙකු ලෙසින් 1988 පටන් වසර විස්සක් පමණ කාලයක් සිදු කරනු ලැබුවේ ඉම්රාන් අතිනි.

කලා නිර්මාණ සඳහා නළුවන් සම්බන්ධිකරණයේ ද නියැළී සිටින ඉම්රාන් සුදත් රෝහණගේ උතුවන් කන්දේ සරදියෙල් ටෙලි නාට්‍ය සඳහා මැලේ ජාතික ශිල්පින් විශාල ප්‍රමාණයක් සම්බන්ධ කරනු ලැබිය.

මේ වන විට ජීවන රඟ මඬලෙන් හැත්තෑ පස් වන විය පසු කරමින් සිටින ඉම්රාන් 2006 වසරේ රස සියං මැලේ සම්මානයෙන් ද 2011 වසරේ කොලොන්නාව කලා ප්‍රදීප සම්මානයෙන් හා තවත් සම්මාන බොහොමයකින් ඇගැයුම් ප්‍රසාද ලබා ඇත. ග්‍රන්ථකරණයේ ද නියැළෙන ඉම්රාන් ඩීන් මැලේ භාෂාවේ උච්චාරනයන් සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාවන්ගෙන් සම්පාදිතව මැලේ භාෂාව නමින් ග්‍රන්ථයක් රචනා කළ ප්‍රථම පුද්ගලයා ද වේ. එඩ්වඩ් චන්ද්‍රසිරි රචනා කළ මැලේවරුන්ගේ අභිමානය කෘතිය සම්පාදනයේදී මැලේවරුන් පිළිබඳ තොරතුරු සපයා දෙමින් සුවිශාල මෙහෙවරක් සිදු කරනු ලැබුවේ ද ඉම්රාන්ය.

කවදත් ආරාධනයක් හැරුණු කොට රංගනය සඳහා නිර්මාණ සොයා නොගිය ඉම්රාන් තම කලා ජීවිතයට අත හිත දුන් එඩ්වඩ් චන්ද්‍රසිරි, සිරිතුංග පෙරේරා, දයාරත්න රටගෙදර, ජයසේකර අපොන්සු, ස්තූතිපූර්වකව සිහිපත් කරයි.

ශ්‍රී ලාංකීය මැලේ ප්‍රජා සංවිධානයේ සභාපතිවරයා ලෙසින් කටයුතු කරන ඉම්රාන් තම විනෝදාංශය සඳහා පමණක් කලා කටයුතුවල නියැළෙමින් රැකියාවෙන් ඉවත්ව විශ්‍රාම සුවයෙන් පසුවේ.

252 ඒ, අයි. ඩී. එච් පාර, කොටිකාවත්ත, මුල්ලේරියාව නව නගරය ඉම්රාන් ඩීන්ගේ ලිපිනය හා 0774703350 / 011-2578797 දුරකථන අංකයයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.