වේදිකාව පුංචි තිරයට ගෙන ආ සොඳුරු ආඥාව

නොවැම්බර් 15, 2018

වේදිකා නාට්‍ය කලාවට සහ වේදිකා නාට්‍ය කලාවේ නිරත කලාකරුවනට මෙන්ම වේදිකාවට පෙම් බඳින රසිකයනට ඉතාම ළෙන්ගතු ජනප්‍රිය වැඩ සටහනක් ලෙස කා අතරත් කතාබහට බඳුන් වූ 'සොඳුරු ආඥාව' වැඩසටහනට මේ 18 වැනිදාට දින සියයක් සපිරේ. දින සියයක් පුරා වේදිකා නාට්‍යයක සොඳුරු බව පුංචි තිරයට කැඳවාගෙන ඒම අභියෝගාත්මකය. ඒ සියලු අභියෝග හමුවේ මෙම වැඩසටහන නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය කරමින් සමාජයට වටිනාකමක් ගෙන ආ උදය තෙන්නකෝන් සමඟ යෙදෙන මේ කතාබහ ඒ නිමිත්තෙනි.

සොඳුරු ආඥාවේ ඇරැඹුම මොන වගේද?

මේ වැඩසටහන පටන් ගත්තේ ස්වාධීන රූපවාහිනියේ ප්‍රධාන විධායක නිලධාරි චන්දන තිලකරත්න මහතාගේ අදහසක් හා සංකල්පයක් මතයි. ඔහු මෙවැනි වැඩසටහනක් කරමු කියලා යෝජනා කළා. මේ වැඩසටහන පටන් ගනිත්දී අපට යම් ගැටලුවක් ඇති වුණා. ඒ තමයි කවුද මේ වැඩ සටහන ඉදිරිපත් කරන්නට යොදා ගන්නේ කියනදේ. එදා කොහොම හරි වසන්ත දුක්ගන්නාරාළ පොතක් ගැන කතාබහ කරන්නට ධ්ඊව් එකට ඇවිත් හිටියා. වසන්තව දැකපු අපිට මේ වැඩසටහන මෙහෙය වන්නට වසන්ත වඩාත්ම ගැළපෙන බව හැඟී ගියා. ඒ අනුව වසන්තව අපි මේ වැඩ සටහන මෙහෙයවන්නට යොදා ගත්තා.

එයට විශේෂ හේතු තිබුණාද?

ඇත්තටම ඔව්. වසන්ත හොඳ වේදිකා නාට්‍යකරුවෙක්. වේදිකාව ගැන හොඳ දැනුමක් ඔහුට තියෙනවා. ඒ දැනුම ඔහුගේ හැකියාව මේ වැඩ සටහනට ලොකු ආලෝකයක් වුණා.

මේ වන විට සොඳුරු ආඥාවෙන් සිදු වූ කාර්යය මොන වගේද?

මෙහෙමයි, දැනට අපි වේදිකා නාට්‍යකරුවන්, වේදිකා නාට්‍ය නිර්මාණකවන්ගේ නිර්මාණශීලී නාට්‍ය ගැන වගේම ඔවුන්ගේ දක්ෂතා පිළිබඳ වැඩසටහන් කීපයක් ඉදිරිපත් කර අවසානයි. වේදිකා නාට්‍යකරුවන් සියයකගේ ඉතිහාසය කතාබහ කරලා තියෙනවා.

 මුල්ම වැඩසටහනේ අතීතයට පිය නගමුද?

මුල්ම වැඩ සටහන අපි කළේ ආචාර්ය ජයලත් මනෝරත්නගේ නාට්‍ය නිර්මාණ ගැන. එතැන් සිට අද දක්වා ඉන්න තරුණ නාට්‍ය ශිල්පීන් ගැන අපි කතාබහ කර තිබෙනවා. දැනට ජීවතුන් අතර නැති නාට්‍යකරුවන් ගැනත් ඔවුන්ගේ නිර්මාණ අගය කරමින් අපි ඔවුන්ගේ වටිනාකම් මේ ඔස්සේ කතාබහ කර තිබෙනවා.

මෙයට නාට්‍යකරුවන්ගෙන් ලැබෙන දායකත්වය මොන වගේද?

විශේෂයෙන්ම මෙයට සියලුම නාට්‍යකරුවන්ගේ දායකත්වය ලැබෙනවා. අපි නාට්‍යකරුවන් ගැන කතා කරමින් ඔවුන්ගේ නාට්‍ය නිර්මාණ සජීවී ලෙස පෙන්වීම මේ වැඩ සටහනේදී සිදු වෙනවා. එහිදී නාට්‍ය කොටස් 6 ක් රඟපා පෙන්වනවා. මෙය නාට්‍ය කලාවට ඇලුම් කරන වගේම නාට්‍ය කලාව හදාරන අයට හොඳ තෝතැන්නක් වෙනවා. අදාළ නාට්‍ය නිර්මාණකරුවා සහ නළු නිළියන් මෙතැනට ආවේ කොහොමද, කොපමණ වෙහෙසක් ඒ වෙනුවෙන් දැරුවාද? වේදිකා නාට්‍ය නිර්මාණය සිදු කළේ කොහොමද කියන කාරණා මේ ඔස්සේ කතාබහට ලක් කරනවා.

වැඩ සටහන කරගෙන යාමේදී ගැටලු මතු වුණේ නැතිද?

නාට්‍යකරුවන් තෝරා ගත් විට ඔහුගේ හෝ ඇයගේ නාට්‍යයට දායක වන නළු නිළියන් බොහෝ විට කාර්යබහුලයි. එනිසා එවැනි ගැටලු මතු වුණා. නමුත් කාලය වෙන් කරගෙන උදේ හත හත හමාර වන විට ධ් ඊ ව් එකට එන නළු නිළි පිරිසක්ම දැන් ඉන්නවා.

මේ වැඩසටහනෙන් වේදිකා නාට්‍ය කලාවට සිදු වන මෙහෙවර ගැන ඔබ තෘප්තිමත්ද?

ඇත්තටම. වේදිකා නාට්‍ය කලාවට මාධ්‍ය තුළ සිනමාවට, ටෙලි නාට්‍යවලට වගේ වේදිකාවක් තිබුණේ නැහැ. පුරා පැය දෙකක් වේදිකා නාට්‍ය ගැන, නාට්‍යකරුවන් ගැන කතා කරන්න සොඳුරු ආඥාව හැමදාමත් වෙන් වුණා. වෙන කිසිම මාධ්‍ය ආයතනයක මේ තත්ත්වය නැහැ. නාට්‍යකරුවා ඔහුගේ නිර්මාණ සඳහා දායක වන නළු නිළියන්, සංගීත කණ්ඩායම මේ හැම දෙනා ගැනම මෙහිදී කතාබහට ලක් වුණා. අද වන විට නාට්‍යකරුවන්ට ඔවුන්ගේ වේදිකා නාට්‍ය නිර්මාණය රඟ දක්වන දිනය, වේලාව, ස්ථානය මේ වැඩසටහන ඔස්සේ ලොවටම කියනවා. එය සතුටක්.

මේ වැඩසටහනට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?

ප්‍රතිචාර නම් එමට ලැබෙනවා. ඉරිදා උදේ 8 ත් 10 ත් අතර කාලයේ ධ් ඊ ව් නාලිකාව ඉදිරියෙන්ම ඉන්න බව වාර්තා වෙනවා. මෙහි වැදගත්ම දේ තමයි මේ වැඩ සටහනට අනුග්‍රාහකයින් නොමැති වීම. අපි මේ වැඩසටහනට සහභාගි වන නළු නිළියන්ගේ මුදල් ලබා ගන්නේ නැහැ. සංගීත කණ්ඩායම වුණත් ඔවුන් රැගෙන එනවා. ජාතික වගකීමක් ලෙස සලකා මේ වැඩසටහන අපි නොකඩවා කරගෙන යනවා.

සොඳුරු ආඥාව කරත්දී විවිධ අකරතැබ්බයන්ටත් මුහුණපානවා ඇති?

සමහර නාට්‍යකරුවන්ට දින අමතක වෙනවා. ඒ නිසා නාට්‍යකරුවන් සොයා ගන්නත් වෙහෙසක් දරන්නට වූ අවස්ථා තිබෙනවා. මේ වගේ දේවල් කොහොම හරි මඟහැර ගෙන නොකඩවාම සොඳුරු ආඥාව වැඩ සටහන කරගෙන ආවා.

මේ වැඩසටහනට ප්‍රේක්ෂක ආකර්ෂණය මොන වගේද?

මට හිතෙන්නේ ඉතාම සාර්ථකව මේ වැඩ සටහනට ප්‍රේක්ෂකයන් ආකර්ෂණය වී සිටිනවා. මේ වැඩ සටහන අද වන විට හොඳටම සමාජගත වූ වැඩසටහනක්. මොකද වේදිකාවට යන්න බැරි නාට්‍යයකට මේ ඔස්සේ විශාල රුකුලක් ලබා දෙනවා. ඒ වගේම වේදිකා නාට්‍ය බලන්නට යන්නට නොහැකි ප්‍රේක්ෂකයා අපේ සොඳුරු ආඥාව ඔස්සේ වේදිකා නාට්‍ය නරඹන්න පුරුදු වෙලා ඉන්නවා. මේ වැඩසටහන නාට්‍යකරුවන්ට වගේම ප්‍රේක්ෂකයාටත් අතවැලක් වෙනවා. සමහර නාට්‍යවලට ප්‍රේක්ෂකයන් ඇදී එන්න පටන් ගන්නවා. මොකද සොඳුරු ආඥාව ඔස්සේ ඒ නාට්‍යය වේදිකාවට ගෙන ආවාට පසුව. ඒ වගේ අවස්ථා ගැන අපිට වාර්තා වී තිබෙනවා. පැය දෙකක් පුරා තමාගේ වේදිකා නාට්‍ය ගැන කතා කරන්නට රඟ දක්වන්නට අවකාශ නාට්‍යකරුවනට ලැබෙනවා.

සොඳුරු ආඥාවේ ඉදිරිය කෙසේ වේවිද?

වෙනස්ම මුහුණුවරක් ඔස්සේ මේ වැඩසටහන ඉදිරිපත් කරන්නට අපි ඉදිරියේ සැලසුම් කර තිබෙනවා. ඒ අනුව පාසල් නාට්‍යයක් මේ වැඩසටහන උදෙසා එක්කාසු කර ගැනීමේ බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ අනුව මේ 18 වැනිදාට අපේ සිය වන සොඳුරු ආඥාව වැඩසටහන වෙනුවෙන් පානදුර සුමංගල බාලිකාවේ පාසල් නාට්‍යය වෙනුවෙන් අවස්ථාව ලබා දෙන්නට අපි සූදානම් වී සිටිනවා. ඒ ආරම්භයත් සමඟ නැවුම් මුහුණුවරකින් මේ වැඩ සටහන ගෙන යන්නට අපි කටයුතු කරනවා.

මේ වැඩසටහනට දායක වන පිරිස ගැනත් කතා කරමු?

මෙයට මූලිකවම වසන්ත දුක්ගන්නාරාළගෙන් ලැබෙන සහාය අගය කළ යුතුයි. ඒ වගේම මගේ සහාය නිෂ්පාදිකාව ඩෙනීෂා හර්ෂණීව වගේම පසුතල නිර්මාණ ශිල්පී ප්‍රභාත් දුෂ්‍යන්තවත් මතක් කළ යුතුයි. ඒ වගේම කැමරා සහ කාර්මික ශිල්පීන්වත් මතක් කරනවා. මේ සියල්ලන්ගේම සහයෝගය නිසා තමයි සොඳුරු ආඥාව මෙතරම් දුරක් පැමිණියේ. ඒ වගේම සුමති සම්මාන උලෙළේදී ජූරියේ විශේෂ ඇගයීම් සම්මානයකුත් හිමි වුණා.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.