මියුරි ඔබ නැති වේදිකාවක්?

පෙබරවාරි 11, 2021

කෝවිඩ් -19 වසංගතය නිසා සම්පූර්ණයෙන්ම බිඳ වැටුණු නාට්‍ය ක්ෂේත්‍රය යළි නඟා සිටුවීමටත් රංගන ශිල්පීන් ඇතුළු නාට්‍ය සහ ප්‍රේක්ෂකයන් රංගශාලාවලට කැඳවා ගැනීමටත් කෝවිඩ් වසංගතය නිසා නිවාස අඩස්සියේ සිටි නාට්‍යවේදීන් සක්‍රීයව නාට්‍යකරණයට යළි සම්බන්ධ කර ගැනීමටත් ටවර්හෝල් රඟහල පදනම මඟින් අපි 'ප්‍රේක්ෂා' නමින් නාට්‍ය උලෙළක් පැවැත්වුවෙමු. සාමාන්‍යයෙන් ටවර්-එලිෆ්න්ස්ටන් රංගශාලාවක නාට්‍යයක් වේදීකාගත කරන අවස්ථාවක අනිවාර්යයෙන්ම දක්නට ලැබෙන සුවිශේෂී චරිතයක් වන මියුරී සමරසිංහ රංගන ශිල්පිනිය එහි දක්නට නොලැබුණු බැවින් ඇය ගැන විපරම් කිරීමේදී ඇය රෝගාතුරව සිටින බව දැනගන්නට ලැබුණි.

කෝවිඩ් - 19 දෙවන අවස්ථාව එම නාට්‍ය උලෙළ පැවතියේදීම ඇති වුණ බැවින් එම උලෙළ නවතා දමන්නට සිදුවිය. ඒ අතරතුර ටවර්හෝල් ‍රඟහල පදනම භාරකාර මණ්ඩලයේ අනුමැතියෙන් නාට්‍යවේදීන් සඳහා රක්ෂණ ක්‍රමයක් අනුමත කළ බැවින් එයට මියුරි සමරසිංහ රංගන ශිල්පිනියගේ අයදුම්පතක් ලබාගැනීමට විමසීමේදී ඇය මහරගම අපේක්ෂා රෝහලට ඇතුළත් කර තිබුණ බැවින් ඇයගේ උපස්ථායකගේ පිහිටෙන් අදාළ තොරතුරු ලබාගෙන අයදුම්පත සම්පූර්ණ කරනු ලැබුවෙමු. එහෙත් එම රක්ෂණය ක්‍රියාත්මක කිරීමට පෙර ඇය සමුගත්තාය.

එම තොරතුරු පත්‍රිකාව අනූව මියුරි 1939 මාර්තු මස 15 වෙනි දින මොරටුවේදී උපත ලබා තිබුණි. ඇයගේ වයස අවුරුදු 80 ඉක්මවා තිබුණි. ඒ වනවිට ශ්‍රී ලාංකේය නාට්‍ය ක්ෂේත්‍රයේ නාට්‍ය රචනය, අධ්‍යක්ෂණය, නිෂ්පාදනය හා රංගනය යන සෑම අංශයකින්ම දක්ෂතා ප්‍රකට කර සිටි එකම නාට්‍යවේදිනිය ඇය විය. එමෙන්ම ඇයගේ වාර්තාව බිඳ හෙළිය හැකි රංගන ශිල්පිනියක් මතු ද බිහි විය නොහැකිය. ඇයගේ සාර්ථක දිවි ගමනේ දී ඇය සම්මාන දිනූ සිනමාවේදීන් රැසකගේ සම්මානනීය චිත්‍රපට සියයකට වැඩි ප්‍රමාණයක් ද ටෙලි නිර්මාණ පන්සියයකට වැඩි ප්‍රමාණයකට ද රංගනයෙන් දායක වී ඇත.

2021 වසර අරම්භයේ සිටම අප රටේ කලාකෙත සරු කළ කලාකරුවන් කිහිප දෙනෙකුම අප අතරින් සමු ගත්තේ අප තුළ දැඩි කම්පනයක් ඇති කරමිනි. එය වඩා තීව්‍ර වන්නේ කොවිඩ් වසංගතය නිසා තම හිතාදර සහෘදයාට අවසන් ගෞරව දැක්වීමට පෙර පරිදි එක්ව තම සංවේගය පළකිරීමට නොහැකිවීම නිසාවෙනි.

මා නාට්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන්නේ 1976 අඹුසැමියෝ නාට්‍ය නිර්මාණය කරමිනි. එකල එම නාට්‍යයේ පුහුණුවීම් පැවැත්වුණු සුදර්ශිය මියුරිගේ දෙවෙනි ගෙදර වූයේ යැයි මම සිතමි. එයට හේතුව මා සුදර්ශියට යන ඕනෑම අවස්ථාවක ඇය සුදර්ශියේ කුමන හෝ නාට්‍යක පුහුණුවීම්වල යෙදෙන අයුරු මට දැකගන්නට ලැබුණු නිසාවෙනි. එමෙන්ම එකල සෑම දිනකම ඇය රඟන නාට්‍යයක් ලුම්බිණියේ හෝ බොරැල්ල කර්ඕඒ හෝ ටවර් රඟහළේ වේදීකාගත වන බව ඇයගේ නම සඳහන් පෝස්ටර් හා අත් පත්‍රිකාවලින් දැකගැනීමට ලැබීමෙන් එකල ඇය වේදිකාවේ ඉතාම කාර්යයබහුල රංගන ශිල්පිනියක ලෙස අපි හඳුනාගෙන සිටියෙමු.

ළමා වියේදීම පණීභාරත නර්තන ආචාර්යතුමාගේ සහෝදර ජයන්ත අල්ගමගෙන් නර්තනය ඉගෙන එයින් ලැබූ ප්‍රතිභාව සහ නිරතුරු රංගනයේ යෙදීමෙන් ඇය ලැබූ පන්නරය සහ සතතාභ්‍යාසය නිසාම වේදිකා සිනමා සහ ටෙලි රංගනයේ දක්ෂම නිළිය ලෙස ජනාධිපති සම්මාන ඇතුළු සම්මාන රැසක් දිනා ඇත.

ඇය රඟපාන ලද ඇනා කැරනිනා, උරුවිසි, බම්මන්තෝ, පාරා, ඔතලෝ, හිතහොඳ අම්මණ්ඩි, සිවම්මා ධනපාල, සතුන්ගේ පුංචි ගෙදර, සපතේරු හාමිනේ, ලෝරා, උමතුසං වරුසාව, නැට්ටුක්කාරයෝ වැනි නාට්‍ය ඇය රඟපාන ලද සිය ගණනක් නාට්‍ය අතර කැපී පෙනෙන නාට්‍ය ණිර්මාණ විය.

මිරිඟුව, මඩොල්දූව, ආදර හසුන, මංගල තෑග්ග, යුගාන්තය, විරාගය, යහළු යෙහෙළි, එයා දැන් ලොකු ළමයෙක්, මාරුතය, බවදුක, අයෝමා ඇතුළු චිත්‍රපට ‍රැසකට ඇය රංගනයෙන් දායක වී ඇත.

එරබඳු මල් ටෙලිනාට්‍යයෙන් ටෙලි රංගනයට එක් වුණු මියුරි ජනප්‍රිය ටෙලිනාට්‍ය ශිල්පිනියක වූවා පමණක් නොව වැඩිම ටෙලිනාට්‍ය ගණනක රඟපෑම වෙනුවෙන් විශේෂ ඇගයීම් සම්මානයක් දිනාගත් එකම රංගන ශිල්පිනිය ද වන්නේය. ඇය අධ්‍යක්ෂණය කළ නාට්‍ය අතර ලෝක දෙකක් අතර, පරසක්වල පැයක්, අම්මයි පුතයි, හිම කුරුල්ලෝ, පාරා, ඇනා කර්තිනා, සපතේරු හාමිනේ, ඇබෑර්තුවක් ඇතුළු නාට්‍ය රැසකි. මෙවැනි නාට්‍ය ප්‍රමාණයක් අධ්‍යක්ෂණය කළ වෙනත් රංගන ශිල්පිනියක් ශ්‍රී ලාංකේය නාට්‍ය ක්ෂේත්‍රය තුළ දක්නට නැත.

ඉතා අඩු වයසෙන් තම ඉංග්‍රීසි ගුරුවරයා වන පියල් සමරසිංහ සමඟ විවාහ වීමෙන් මියුරි විජේරත්න මියුරි සමරසිංහ විය. තම විවාහය ගැන තම 80 වැනි උපන්දිනය වෙනුවෙන් 2019 මාර්තු 14 වෙනි දින සරසවිය ජාතික කලා පුවත්පත වෙනුවෙන් අරුණි මුතුමලී සමඟ කළ සාකච්ඡාවේදී ඇය මෙසේ පවසන්නී ය.

" මගේ ඉංග්‍රීසි ගුරුතුමා දවසක් මගෙන් විනීත ව ප්‍රශ්නයක් ඇහැව්වා. ඒ තමයි ඔහු සමඟ ජීවීතේ ගෙවනවද නැත්නම් කලාව සමඟ ගෙවනවද කියලා. පිළිතුරට සතියක් කල් දුන්නා. මට ඔහු අත්හැරිය නොහැකි බව මගේ හිත කීවා. අපේ පැත්තෙන් පූර්ණ ආශීර්වාදය තිබුණට පියල් සර්ගේ ගෙදරින් ඇහැව්වේ නැට්ටිච්චියක් ගේන්න හදනවද කියලා. කොහොමහරි අපේ ආදර කතාව දිනුවා. සතියක මධුසමයෙන් පස්සෙ ඒ අම්මලාට වැඳලා අපි එහේ නතර වුණා. මට කියන්නත් මොකද්ද වගේ මට අවුරුදු 24 වෙද්දි මම දරුවො 4 දෙනෙක්ගේ අම්මා කෙනෙක්. ඒත් මට අවුරුදු 39 ක් වෙද්දි ඒ සුන්දර මනුස්සයා මාවයි දරුවන්වයි මේ ලෝකේ තනිකරලා ගියා''

තම සැමියා මෙන්ම තම ඉංග්‍රීසි ගුරුවරයා වූ පියල් සමරසිංහ තමා අතහැර ගියත් තවත් දශක හතරක් තම දරුවන්ගේ යුතුකම් මෙන්ම තම නිර්මාණ කාර්යයන්ද නොපිරිහෙළා ඉටුකරමින් ඉතා වෙහෙසකර දිවියක් ගත කළ නිසාදෝ රෝගාතුර වූ ඇය 2021 පෙබරවාරි 6 වෙනිදා අප අතරින් සමු ගත්තේ දශක අටක තම දිවිගමන නිමා කරමිනි. එම දිගු ගමනේ ඇය සමඟ රංගනයෙන් එක් වුණු රංජිත් සුරංග, ප්‍රේමසිරි කල්පගේ, නිහාල් සිල්වා, මර්සි එදිරිසිංහ, චන්ද්‍රා කළුආරච්චි, අනුලා බුලත්සිංහල, එලිසන් දිවිතුරුගම, ජේ. එඩී ජයවර්ධන, ඇතුළු රංගන ශිල්පී ශිල්පිනියන් මෙන්ම ඇය අධ්‍යක්ෂණය කළ සුගතපාල ද සිල්වා, ඩී. කීරගලආරච්චි වැනි නාට්‍ය අධ්‍යක්ෂවරුන් රැසක් ද ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරීස්, ධර්මසේන පතිරාජ, එච්. ඩී. ප්‍රේමරත්න, වැනි ජ්‍යෙෂ්ඨ චිත්‍රපට අධ්‍යක්ෂවරුන් රැසක්ම අප අතහැර ගොස්‍ ය.

ඇයගේ සමුගැනීම දුකක් වන නමුත් කෝවිඩ් 19 වසංගතය පිළිබඳ දිනපතා ප්‍රවෘත්ති අතර වසංගතයෙන් මිය යන සංඛ්‍යා ලේඛන අතරට ඇගේ නමත් එක් නොවීම වාසනාවකි. එසේ වූවා නම් ඇය කළ මෙහෙවරට ගරු කිරීමට ඇයගේ නිසල දේහය දැකගැනීමට අපට අවස්ථාවක් නොලැබෙන අතර ඇයගේ සමුගැනීම මතක සුවඳක් පමණක් වීමට ඉඩ තිබුණි.

එය එසේ නොවී ඇයගේ දිවියේ වැඩි කලක් රැදීසිටි සුදර්ශියට අවසන් වතාවට හෝ පැමිණ තම හිත මිතුරන්ගෙන් සමුගැනීමට ඇයට ඉඩ ලැබීම ඇයගේ පැතුමක් ඉටුවීමක් යැයි මම සිතමි.

අපේ රටේ නාට්‍ය කලාව පෝෂණය කිරීමට ඔබ කළාවූ මෙහෙවරට කෘතවේදීත්වය පළකරමින් ඔබට නිවන්සුව පතමි.

 

නීතිඥ ඩග්ලස් සිරිවර්ධන

අධ්‍යක්ෂ ජනරාල්

ටවර්හෝල් රඟහල පදනම