සිනමා ලෝකයේ මහත්මයකුගේ සමුගැන්ම

අප්‍රේල් 8, 2021

මෙයට සති කිහිපයකට පෙර ජාතික චිත්‍රපට උපදේශක සභාවේ රැස්වීමක ආරම්භයේ එහි සභාපතිතුමන් තමන්ට විශේෂ නිවේදනයක් කිරීමට ඇති බව පැවසුවේය. ඒ එදින තමන් එම තනතුරෙන් අස්වීමට තීරණය කළ බවටය. ඉතා ගුණයහපත් එමෙන්ම කාරුණික මහතෙකු මෙන්ම දයාබර වැඩිහිටියකු වූ ඔහු හිටි අඩියේ එබදු තීරණයක් ගැනීම කිසිවෙකුට හෝ අදහා ගත නොහැකි පුවතක් විය. එයට පෙර සෑම රැස්වීමකදීම ඒ සඳහා අවංක කැපවීමක් කළ එතුමන් හිටි අඩියේ එබඳු තීරණයක් ගැනීම කිසිවිටෙක හෝ ඇදහිය නොහැකි විය. ඔහු ඇත්තම අනාවරණය කළේ එවිටය. තමන් හදිසියේ හෘද රෝගයකට ගොදුරු වී ඇති බවත් ඒ සඳහා ශල්‍ය කර්මයක් කළ යුතුව ඇති බවත් ඔහු දන්වා සිටියේය. සභාවේ ලේකම්ධුරය දැරූ ප්‍රවීණ සිනමා විචාරක ගාමිණී වේරගම මේ සභාපතිවරයා වැනි කාරුණික ජ්‍යෙෂ්ඨයකුගේ අස්වීමට විරෝධය පළ කළේය.

ඒ "ඔබ විවේක ගන්න. අපි මෙහි සියලු කරුණු ඔබට දැනුම් දෙනවා..." යැයි කියමිනි. කොන්දේසි විරහිතවම ඒ කාරණයට සියලු සාමාජිකයෝ එකඟත්වය පළ කළහ. එපමණක් නොව එහි සාමාජික ප්‍රවීණ සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරි ඒ මොහොතේම එයට පෙර තමාට කරන ලද ශල්‍යකර්මයේ ලකුණු පෙන්වා දී සභාපතිතුමන්ගේ සිත සැනසුවේය. සභාපතිතුමන් එතැනින් නික්ම ගියේ පූර්ණ වූ මානසික සුවයකින්ය. එහෙත් ඔහුට යළිත් ජාතික චිත්‍රපට උපදේශක සභාවේ රැස්වීමකට සහභාගි වන්නට ඉඩ නොලැබිණ. ඒ වෙනුවට එහි සාමාජිකයන්ට සිදු වූයේ ඔහුට සදහටම සමුදෙන්නටය. මේ සභාපතිතුමන් නීතීඥයෙකි. එහෙත් ඔහු වඩා පතළව සිටියේ සිනමාකරුවෙකු හැටියටය. එමතු නොව වෘත්තියටත් වඩා එයට පෙම් කළ මහත්මයකු හැටියටය. ඔහු නමින් සමන් වීරමන් ය.

සමන් වීරමන් නම සිංහල සිනමාව හා මුලින්ම බැඳෙන්නට ඉඩ ලැබුණේ කිසි කලෙක තිර ගත නොවුණු එනම් 1983 ජූලි ගින්නට හසුව විනාශ වී ගිය 'සිර කඳවුර' චිත්‍රපටයේ නිෂ්පාදකවරයකු හා සම තිරනාටක රචකයකු හැටියටය. ආචාර්ය ධර්මසේන පතිරාජ විසින් නිර්මාණය කරන ලද සිර කදවුර චිත්‍රපටයේ අවසන් පිටපත හැඳල විජයා චිත්‍රාගාරයේ ගින්නට හසුව අවසන් ගමන් ගියේය. එහෙත් සමන් වීරමන් එයින් පසුබැස්සේ නැත. ඔහු චිත්‍රපටයක් නිෂ්පාදනය කළේය. එහි සම අධ්‍යක්ෂවරයා ද ඔහු විය. චිත්‍රපටය 'කිරි මදු වැල්' ය. ඔහු කිරි මදු වැල් සම අධ්‍යක්ෂණය කරන ලද්දේ ආරියදාස විතානගේ සමඟය. විතානගේ එකල සේන සමරසිංහට අයත් සමරසිංහ චිත්‍රාගාරයේ කළමනාකාරවරයාය. මේ චිත්‍රපටයෙන් ද සැලකිය යුතු ලාභයක් ඔහු ලැබුවාදැයි මා දන්නේ නැත. එහෙත් සමන් වීරමන් නම සිනමා ලෝකයට ආවේ කිරි මදු වැල් සමඟය. මගේ මතකයේ හැටියට එහි තිර රචකයා වූවා පමණක් නොව ගිතයක් ද සමන් මහත්තයා රචනා කළේය.

සිනමාව සම්බන්ධව ඔහුට තිබුණේ භක්තියකි. ඒ නිසා ඔහු සිය ජීවිතයේ වඩාත් ඇලුම් කළ කාර්යයන් අතරේ දී සිනමාවට හැම විටම මුල් තැන දුන්නේය. කොහොමටත් සිනමාවට ආදරය කිරීමත් අබිං කෑමට පුරුදුවීම වැන්න. එය කොන්දේසි විරහිත ආදරයක් වන්නේය. සමන් මහත්තයාට සිනමාව කෙරෙහි තිබුණේත් එබඳුම ආදරයකි.

කිරි මදු වැල් චිත්‍රපටයෙන් පසු ඔහුගේ නම අසන්නට ලැබුණේ 1993 වසරේ පළාත් සභා මැතිවරණ සමයේ දකුණු පළාත් මන්ත්‍රීවරයෙකු හැටියටය. පළාත් වාසීන් ඡන්දය ලබා දුන්නේ සිනමාකරුවකු නිසා නොව දෙණියාය, මොරවක වැනි ප්‍රදේශයන්හි ඔහු දක්ෂ නීතිඥයකු ලෙස පතළව සිටි බැවින්ය. එමෙන්ම පළාතේ දුගී දුප්පතුන්ගේ දුක හඳුනන නීතීඥයකු වූ නිසාය. එහෙත් සමන් මහත්තයා 1998 වසරින් පසු යළි දේශපාලන පිටියේ අපේක්ෂයකු ලෙස දක්නට නොලැබිණ. 1998 වසරේ දක්ෂිණ සංවර්ධන අධිකාරිය ආරම්භයේ දී ඔහු එහි මාධ්‍ය උපදේශකවරයෙකු ලෙස කටයුතු කළේය. එයින් පසු ස්වාධීන රූපවාහිනියේ වැඩ බලන අධ්‍යක්ෂවරයකු ලෙස ද නාගරික සංවර්ධන අධිකාරියේ මාධ්‍ය උපදේශකවරයකු ලෙස ද ඔහු කලක් කටයුතු කළේය.

ඔහු ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ද නමක් දිනුවේය.

'මෙඩි ක්ලිනික්', 'මන්ත්‍රි වලව්ව', 'උසාවිය නිශ්ශබ්ද වෙනු', 'මිස්ටර් ජෙනී', 'සොඳුරු කැදැල්ල' වැනි මාලා නාටක කිහිපයක්ම ඔහු විසින් රචනා කොට අධ්‍යක්ෂණය කරන ලද්දේය. එමෙන්ම 'නිහඬ සාක්ෂි' ඇතළු ටෙලිනාට්‍ය කිහිපයකම තිර නාටක ඔහු අතින් රචනා විය.

ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 80 වැනි ජන්ම දිනය නිමිති කොට ඔහු විසින් නිර්මාණය කරන ලද 'දිරිය මතා' ටෙලි වාර්තා චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වූයේ ද ඔහුය. එමෙන්ම ප්‍රේමසිරි කේමදාසයන් හා සමන් වීරමන් අතර පැවැතියේ අපූරු සබඳතාවකි. එනිසාම කේමදාසයන්ගේ 'මානසවිල' ඔපෙරාවේ නිෂ්පාදකයකු ලෙස ද සමන් වීරමන් කටයුතු කළ අතර කේමදාසයන්ගේ 'සොහොයුරාණෙනි' කැසට්පටයේ හා 'රජ වැඩ' වැඩසටහනේ ද නිෂ්පාදකවරයා වූයේ ඔහුය.

සිනමාවේ ඔහු එක් අතකින් නිර්මාණකරුවකු මෙන්ම නිලධාරියකු ද විය. ජාතික චිත්‍රපට සංස්ථාවේ කලක් සාමාන්‍යාධිකාරිධුරය ද සමන් වීරමන් මහතා දැරුවේය. එකල ඔහු අපක්ෂපාතී හා කලාකරුවන් සමඟ සුහදව නිතර ඔවුන්ගේ දුක සැප විමසන රාජ්‍ය නිලධාරියකු ලෙස පතළව සිටියේය. පසු කලෙක ඔහු චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේ භාණ්ඩාගාරිකධුරය දැරුවේය.

ඔහුගේ සිනමා ජීවිතයේ අමරණීය සිනමා සිත්තම 'ශ්‍රී සිද්ධාර්ථ ගෞතම' චිත්‍රපටයයි. එහි තිර රචකයා වූයේ ද ඔහුය. ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බෞද්ධයකු ද විය. එපමණක් නොව ශ්‍රී සිද්ධාර්ථ ගෞතම සිනමා කෘතිය නිර්මාණය කරන්නට ලැබීම පවා ඔහු සැලකුවේ භාග්‍යයක් හැටියටය. ඔහුගේ නිර්මාණ ජීවිතය තුළ වඩාත්ම ආදායම් ඉපැයූ චිත්‍රපටය ද වන එහි නිර්මාණාත්මක බව නිසා ද බොහෝ විචාරකයන්‌ගේ අවධානයට යොමුවිය. සිනමා කෘතීයේ අවසානයේ සිද්ධාර්ථ කුමාරයණන් ගිහි ගෙය හැර යන මොහොතේ යසෝදරාවන්‌ගේ ඇස උපන් කඳුළ ඔහුගේ නිර්මාණාත්මකබවට හොඳම උදාහරණයක් සේ සලකමි.

මේ සැදැහැවත් බෞද්ධයාගේ ජීවිතය තුළ ආදරණීය තාත්තා කෙනෙකුද විය. පසු කලෙක තම සිනමාවට වඩා තම පුතු චත්‍ර වීරමන් සිනමාකරුවකු ලෙස වැජඹෙනු දකින්නට ඔහු ඇලුම් කළේය. එබැවින් චත්‍ර විදෙස් රටකදී සිනමාව හැදෑරීමට ද වරම් ලද්දේය. තමාට එළැඹෙන්නට නොහැකි ලෝකයක පුතුන් රජ කරනු දකින්නට මේ තාත්තා ද ඇලුම් කළේය. සරසවිය සම්මාන උලෙළේදී සිනමාකර්ෂණීය චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගත් 'ආලෝකෝ උදපාදි' කෘතියේ තිර නාටක රචකයා වූයේ සමන් වීරමන්ය. පුතෙකුගේ චිත්‍රපටය සඳහා තිර නාටකයක් රචනා කරන්නට පියෙකුට ඉඩ ලැබීම දුර්ලභ වාසනාවකි. බොහෝ විට පියවරුන් හා පුතුන් අතර ආදරය, ගෞරවය තිබුණ ද මතවාදී ගැටුම් ඇතිවීම ස්වභාවයක් වුවත් මේ තාත්තා, පුතා ගේ දියුණුව වෙනුවෙන් විශිෂ්ට තිර රචනයක් ලියා තැබුවේය. එමෙන්ම ඔහු වෙනත් සිනමාකරුවන් වෙනුවෙන් ද අවංකවම කැපී පෙනුණු සේවයක් ඉටු කළේය. චන්ද්‍රන් රත්නම්ගේ අලිමංකඩ චිත්‍රපටයේ රේඛීය නිෂ්පදකයා වූ ඔහු සුනෙත් මාලිංග ලොකුහේවා ගේ 'ආකර්ෂා', 'නිදහසේ පියා ඩී.එස්' ඇතුළු චිත්‍රපට රැසකටම දායක වූයේ එබැවින්ය.

පසුගිය කාලයේ ඔහුගේ ලොකුම බලාපොරොත්තුව වූයේ චත්‍ර ගේ අලුත් චිත්‍රපටය වන 'ආයු' චිත්‍රපටයයි. ආයු ආරාධිතයන් හමුවේ ප්‍රදර්ශනය කළ පසු වඩාත්ම සතුටට පත් වූයේ සිනමාවේදී පුතාට වඩා ආදරණීය තාත්තාය.

 

ඔහු තිරනාටකය ලියූ අලෝකෝ උදපාදි

සිනමාවෙන් හා කලා ලෝකයෙන් බැහැරව ගත් කල සමන් වීරමන් යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්මයෙකු බැව් නොකියාම බැරි කරුණකි. ඔහු ආදරය කළේ දේශීය සිනමාවටය. එපමණක් නොව මිනිසුන්ටය. සිනමා නිර්මාණයන් සඳහා ඔහුට එල්ල කළ විචාරයන් හමුවේ ඔහු තුළ තිබුණේ එකම පිළිතුරකි. ඒ හැමවිටම නැඟෙන සිනහවයි. එය නොසැළෙන මිනිසකුගේ සංකේතයකි.

අපට අහිමිව ගියේ දේශීය සිනමාවට අවංකව ආදරය කළ මහත්මයකු බව නම් නොකියාම බැරිය. සමස්ත සිනමාකරුවන් වෙනුවෙන් සමන් වීරමන් මහතාණන්ට අපේ ගෞරවය පිරිනමන්නට කැමැත්තෙමු.