වසරකට පෙර ජීවිතයෙන් සමුගත් ති.නා.

මාර්තු 25ට යෙදුණු තිස්ස නාගොඩවිතානගේ ප්‍රථම අනුස්මරණය වෙනුවෙනි
අප්‍රේල් 1, 2021

සංරක්ෂකයා යනු කවුරුන්ද?

අභාවයට යා හැකි පැරණි වටිනා දේ සංරක්ෂණය කිරීමේ ක්‍රම පිළිබඳ විශේෂ දැනුමක් ඇති තැනැත්තා හා එවැනි කටයුතු වල යෙදෙන්නා ලෙස ‘සරසවි ඉංගී‍්‍රසි - සිංහල ශබ්ද කෝෂය’ අර්ථ ගන්වා ඇත. පර්සි ජයමාන්න සහ පියදාස හෙට්ිටිහේවා විසින් සංස්කරණය කළ ‘සරසවි සිංහල - සිංහල ශබ්ද කෝෂයේ’ සංරක්ෂකයා (නා) යන වචනය - මනාසේ රකින්නා, සංරක්ෂණය මනාසේ රැකීම, විනාශය හෝ අපතේ යාම වැළකෙන පරිදි ආරක්ෂා කිරිම යන තේරුම් සපයා දෙයි. පැරණි චිත්‍රපට සංරක්ෂකයා ද මේ ගණයට වැටෙයි.

එබැවින් තිස්ස නාගොඩවිතාන ති.නා.ද පැරණි චිත්‍රපටවල අයිතිය මිල දී ලබා ගෙන, ප්‍රතිසංස්කරණය හා සංරක්ෂණය කර අනාගත පරපුරට දැක ගැනීම සඳහා රූපවාහිනයෙන් ද D.V.D මාධ්‍යයෙන් ද රසිකයන්ට නැරඹීමට අවස්ථාව ලබා දී ඇත.

පැරණි චිත්‍රපට නිෂ්පාදකවරු තම චිත්‍රපට සංරක්ෂණය කිරීමට “කෑන්ස්” රාශිය තම කන්තෝරුවල ද, ඇඳ යටවලද, එතැනින් ගබඩා කාමරයට ද තවත් උසස් වීමක් ලෙස ගරාජයට තල්ලු කර තිබූ බව මම අත්දැකීමෙන් දනිමි. චිත්‍රපටය අවශ්‍ය වී ‘කෑන්’ එකක් පිරිස්සීමේදී නිෂ්පාදකයාට දකින්නට ලැබෙන්නේ දළ සේයා පටවල ඇති සිමෙන්ති ද්‍රව්‍යය ඇලී විනාශව ඇති අන්දමය.

විවිධ චෝදනා, එල්ල වුවත්, අපහාස එල්ල වුණාත් (ඉන්ද්‍රකීලයක් සේ සිටි තිස්ස නාගොඩ විතාන) ඒවා තුට්ටුවකටවත් නොතකා කොළඹ ගංගාරාමය අසල “පෙරහැර මාවතේ” ඔහුගේ පැරණී නිවස දෙකක, තම සාහකයන් සමඟ පැරණි චිත්‍රපට ‘රිවයින්ඩ්’ කරමින් සංස්කරණ කටයුතු පිරික්සමින් සිටිනු එහි යන කාටත් දක්නට ලැබිණි.

තිස්ස ගායකයෙකි. ‘චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි.

නිෂ්පාදකයෙකි.

1942 ජනවාරි 10 වෙනිදා ගාල්ලේ උපන් තිස්ස මහානාම නාගොඩවිතාන කුඩා කළ සිටම ගායනටයට, චිත්‍රපට නැරඹීමට නොතින් ආසාවෙන් සිටියේය. වරක් ඔහු තම කුඩා කාලය ගැන මෙසේ මට විස්තර කර තිබුණි.

“මම උපන්නේ ගාල්ලේ රිච්මන්ඩ් කන්ද පහළ වැකුණුගොඩ. අපේ ගම බෝපෙටත් කිට්ටුයි. කොළඹ යුගයේ ප්‍රකට කවියකු වූ ‘බෝපේ දාස’ කවියා මගේ ඥාතියෙක්. මෙරට අගමැතිවරයකුව සිටි විජයානන්ද දහනායක මහතා පදිංචිව සිටියේ අපේ ගෙදර අසලමයි. මම මුලින්ම ඉගෙන ගත්තේ ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයේ. පුංචි කාලේ ඉඳලම සින්දු කියන්න පොත් කියවන්නත් මම ආසයි. ඒ කාලේ මම ඉස්කෝලේ ඇරිලා ගාල්ලේ ටවුමේ තියෙන ගුණසේන සාප්පුවට යනවා. එහි කළමනාකරු (ලාල් පේ‍්‍රමනාත් ද මැල් මහතා) ප්‍රකට ලේඛයෙකු නිසා දෝ අපිට කියවන්න හොඳ පොත් තෝරල දෙනවා. 10% වට්ටමකුත් දෙනවා. මම යාළුවොත් එක්ක පාසලෙන් පස්සේ ගුණසේන සාප්පුවේ ගත කරන්න පටන් ගත්තා. තිස්ස කීවේය.

රිච්මන්ඩ් විද්‍යාලයෙන් උසස් පෙළ ඉහළින් සමත්ව ලංකා විශ්ව විද්‍යාලයට ඇතුªළත්ව ආර්ථික විද්‍යාව විශේෂ උපාධියක් ලැබු තිස්ස කලක් මරදානේ ශ්‍රී ලංකා විද්‍යාලයේ ආර්ථික විද්‍යාව ඉගෙන්නුවේය. එදා ශ්‍රී ලංකා විද්‍යාලය පුංචි විශ්වවිද්‍යාලයක් බඳු උගත් ආචාර්ය මණ්ඩලයකින් යුතු දැනුම් කේන්ද්‍රයක් වූ බව වරක් තිස්ස අපට කීය.

ගායනය ගැන තිස්ස ගේ තිබු ආශාව මල්ඵල දරන්නේ හැත්තෑව දශකයේ ගුවන් විදුලියේ ‘පිබිදෙන ගායක පරපුර” හා මැලිබන් ගුවන් තොටිල්ල” වැඩසටහන්වල ගී ගැයීමෙනි. තිස්ස මේ වැඩසටහන්වල දී තමාගේ පි‍්‍රයතම ගායකයා වූ එච්.ආර්.ජෝතිපාලගේ ගීත ගයා ඇති අතර “පිබිදෙන ගායක පරපුරේ” අවසන් වටයට ජෝතිපාල ගේ” මේ දෑස මගේ පින්වන්තයි.” ගීතය ගයා දිවයිනෙන්ම තුන් වැනියා වී ඇත.

තමාගේම ගීත ඇතුළත් “සුබ උපන් දිනයක් වේවා” නම් ඡ්ර්‍ථ ගීත තැටියක් නිකුත් කළ තිස්ස ගැයූ “වාසනා ලොවක් ගෙනාව දිව්‍ය ලෝකයෙන් ඉඳලා ආපු කෙල්ලේ - සුරූපී කෙල්ලේ” ගීතයේ රචනය හා තනු නිර්මාණය මිල්රෝයි ධර්මරත්නගෙනි. ඒ ගී තැටියට තිස්ස ගැයූ “සුදු මුදු සුමුදු පි‍්‍රයා” සහ “සුබ උපන් දිනයක්” ගීත ද එකල ජනපි‍්‍රය වී ඇත.

පුංචි කාලයේ සිටම තිස්සට සිනමාව ගැන තිබුණ ඇල්මට, ආදරයට රුකුලක් දී ඇත්තේ ගාල්ලේ ගිංතොට උපන් පත්‍රකලාවේදියෙකු වූ අර්නස්ට් වඩුගේ විසිනි. 1977 දී ටයිටස් තොටවත්ත විසින් අධ්‍යක්ෂණය කළ ‘මරුවා සමඟ වාසේ” චිත්‍රපටයේ නිෂ්පාදන අධිකාරී ලෙස කටයුතු කළ තිස්ස 1981 වසරේ “කෝලංකාරයෝ” චිත්‍රපටය සුනිල් ආරියරත්න සමඟ සම අධ්‍යක්ෂණය කළේය. තමා විසින්ම මුල්වරට නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළ “කැකිල්ල රජ්ජුරුවෝ” (කිං කැකිල්ලේ) 1998 වසරේ තිර ගත විය.

“ඒ කාලයේ චිත්‍රපටයක් කරලා ප්‍රදර්ශනය කරන්න අවුරුදු දෙකක්, තුනක් බලන් ඉන්න වෙනවා. ඒ තරම්ම ප්‍රදර්ශන පෝලිම දිගයි. මම ඉගෙන ගත්තු ආර්ථික විද්‍යාවට අනුව මුදල් හිර කර තබා ගැනීම සුදුසු නෑ. මේ නිසා මා හිතුවා පැරණි චිත්‍රපට මිලයට ගෙන ඉක්මනට තිරගත කිරීමට. පුංචි කාලේ මම දැකපු ජනපි‍්‍රය චිත්‍රපටයක් “මනුෂ්‍යත්වය” මම මුලින්ම 1977 දී සල්ලි වලට ගත්තේ ඒ චිත්‍රපටය ගන්න චිත්‍රපටයේ නිෂ්පාදක රොබින් තම්පෝ හොයාගෙන යාපනේට ගිහින් රුපියල් ලක්ෂයක් ගෙවලා අයිතිය ගත්තා. ඊළඟට “රත්තරං අම්මා” චිත්‍රපටයේ අයිතිය ගත්තා. “දීපශිකා” චිත්‍රපට ගන්න නිෂ්පාදක ඩග්ලස් කොතලාවල හම්බවෙන්න පස්පාරක් ගියා. එයා මාව ඒ හැම විටම බැණලා එලවා ගත්තා. මම හය වැනි වරට ගිහින් ඉල්ලුවාම දුක හිතලා මට අයිතිය දුන්නා. 

මම මුලින්ම ගාල්ලේ “ඔලිම්පස්” සිනමා හලේ දී” අහංකාර ස්ත්‍රී” චිත්‍රපට නැරඹුවා. එදා දැකපු මුල්ම සිංහල චිත්‍රපටයේ වර්තමාන අයිතිකරු මම. තිස්ස මීට වසර 11කට පෙර මට කියා තිබිණි.

පැරණි චිත්‍රපටයක් තියෙන්නේ කොහේද? තිස්ස එතැනට ගියේය. ඇතැම් චිත්‍රපට කුස්සියේත්. ගරාජ්වලත්, සමහර ගෙවල්වල පිලිකන්නේ අව්වේ පිචිච් පිච්චි, තෙමී තෙමී තිබූ චිත්‍රපට මිලට රැගෙන කෑලි කෑලි එකතු කොට චිත්‍රපටය යථා තත්ත්වයට ඔහු සංරක්ෂණය කළේය. ඔහු අපට කී ආකාරයට පරණ චිත්‍රපට වහා ගිනි ගන්නා සුලු නිසා එයින් දුර්ගන්ධයක් නිකුත් වීමත් එහි සැලෝලයිඩ් සැරට කිසිදා සෙම්ප්‍රතිශ්‍යාවක් නොසෑදුණා බවය. එයට හේතුව එය රෝග නැති කිරිමට හොඳ බෙහෙතක් නිසාලු.

“විසෙන් විස නසනවා කීවා සේ එක අතකින් රෝග සුව කරන ඖෂධයක් මේ. ඉස්සර වායු සමනය කරන ස්ථාන වල තබා ගත් සිනමා පට රීල් දැන් නවීන තාක්ෂණයෙන් මම සංරක්ෂණය කරනවා. මුල දී චිත්‍රපටයක රූප ඡායා (Piture) පටක පටි රීල් 15ක් ද ශබ්ද ඡායා (Sound)  පටක රීල් 15 බැගින් රීල් 30 ආරක්ෂා කර ගතව තිබුණා. දැන් ඒවා බීටා (Beta Format)  මාර්ගයෙනුත් යූ මැටික් (Umetic)  හා ඩී.වී. කෑම් (D.V. Cam) මාර්ගයෙනුත් හාඩ් ඩිස්ක් (Hard Disc)  එකට පරිවර්තනය කොට චිත්‍රපටය ආරක්ෂා කර ගත හැකිය. කෑලි අබලන්ව ඇති චිත්‍රපට කොටස් සේෆ්ට් ෆිල්ම්ස්වලට (Safety Films) නගා ආරක්ෂා කර තියෙනවා.” තිස්ස වරක් මට කියා ඇත.

රජයකින් සංස්ථාවකින් කළ යුතු මනා මෙහෙයක් තනි පුද්ගලයකු අප්‍රතිහත ධෛර්යයක් ඉටු කරමින් සිට මීට හරියටම වසරකට පෙර ඔහු මිය ගියේය. ඔහු තිස්සය. නාගොඩවිතානය. කෙටියෙන් ති.නා.ය. තිස්සගේ හා ඔහුගේ බිරිය කුමාරිට පිරිමි දරුවන් තිදෙනෙක් සිටිති. ලොකු පුතා හරිත් කණිෂ්ක නගොඩවිතාන වෛද්‍යවරයකු ලෙස ස්කොට්ලන්ත රෝහලක, ස්කොට්ලන්ත ජාතික වෛද්‍ය බිරිය සමඟ සේවය කරති. දෙවැනි පුතා හරින් කණිෂ්ක නාගොඩවිතාන හා බාල පුතා චරිත් අභිෂේක් නාගොඩවිතාන තම මව සමඟ සිංහල චිත්‍රපට 700ක් ද, ටෙලිනාට්‍ය 300 පමණ ද සංරක්ෂණය කරමින් ති.නා.ගේනම ඉදිරියට ගෙන යති. චරිත් විිවාහ වී සිටින්නේ චිත්‍රපට නිෂ්පාදක අධ්‍යක්ෂක බෙනට් රත්නායකගේ දියණිය භාග්‍යා රත්නායක සමඟය. හරීන් විවාහ වී සිටියේ දිලිනි ද සිල්වා සමඟය. චිත්‍රපට නිෂ්පාදිකා ඇය රෙනෝ සිල්වා ගේ සොහොයුරියය.

1987 වසරේ කේරළයේ පැවති Diretorate of Flim Festival නැරඹීම තිස්ස සමඟ රන්ජිත් නිව්ටන් ප්‍රනාන්දු (චිත්‍රපට සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී, ඩිල්මන් ජයරත්න ටී. අර්ජුන සමඟ මා ද සහභාගි වූ සුන්දර අවස්ථාව මට සිහිපත් වෙයි. අද තිස්ස මෙන්ම අර්ජුන ද ඩිල්මන් මෙන්ම රන්ජිත් නිව්ටන් ද ජීවතුන් අතර නැත.

එදා ජනවාරි 10 සිට 20 දක්වා ඒ චිත්‍රපට උළෙලේ දී අධුර් ගෝපාල ක්‍රිෂ්ණාගේ අනන්තරාම් බුද්ධදේව් දාස් ගුප්තාගේ පේර්, ශිරිෂ් කශාරවල්ලී ගේ තබරන කතා ද චිත්‍රපට නැරඹු ශ්‍රී ලංකාව නියෝජය කළ අනෝජා වීරසිංහගේ කාරුණික ඇරයුමින් කේරළයේ ත්‍රිවේන්ද්‍රම් හි කඳුකරයට යාබදව පිහිටි අධුර් ගෝපාලක්‍රිෂ්ණාගේ නිවෙසේ රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගී වූයෙමු. ශ්‍රේෂ්ඨ චිත්‍රපට අධ්‍යක්ෂවරයාගේ Anantram චිත්‍රපටය රූගතව තිබුණේ මේ නිවෙසේ දීය. මේ සාදයට මහාචාර්ය විමල් දිසනායකත් සහභාගි විය. රටකින් එතෙර උළෙලකට සහභාගි වන ඇතැම් ශ්‍රී ලාංකීක මිතුරන් අපව නොසලකා හරිද්දී අනෝජා වැනි නිහතමානී, කළ ගුණ දන්න කලා ශිල්පිනියකගේ වටිනාකම දැනුණේ එදා බව අප මිතුරු කැල වෙනුවෙන් ඇයට උපහාරයක් ලෙස සටහන් කරන්නේ ද අද අප අතර නැති අප මිතුරන් වෙනුවෙන් සටහනක් තබමිනි.

ඒ.ඩී.රන්ජිත් කුමාර 
දයාන් විතාරණ