මම හෙලන්ට තාමත් ආදරෙයි

සිරිල් වික්‍රමගේ
මාර්තු 25, 2021

- පසු පරම්පරා අපිට හදන්න බැහැ. එයාලා හැදෙන්න ඕනේ
- පාසල් දාලා රංගනය උගන්වන්න බැහැ
- මම තාමත් ඉන්නේ “සිනිඳු සුදු මුදු තලාවේ”
- හොඳ රංගන ශිල්පීන් මතුවෙන්න තරම් සිනමාවක් ලංකාවේ දැන් නැහැ
- අලුත් අය අපි කියන දේ අහන්නේ නෑ. අපි නිකං පැත්තකට වෙලා ඉන්නේ

"හඳුනාගත්තොත් ඔබ මා... 
ඇත්තටම හඳුනා ගත්තාද?"

"නැහැනේ. සිරිල්ව හෙලන් හඳුනාගත්තෙත් නෑ. හෙලන්ව සිරිල් හඳුනාගත්තෙත් නෑ. ඒකනේ අන්තිමටම ජීවිතවලින් වන්දි ගෙවන්න වුණේ."

බඹරු ඇවිත් චිත්‍රපටයේ "උදුම්බරා හිනැහෙනවා" ගීතයේ ඒ රූප රාමු ඔබට මතක ඇති. මාලනී ෆොන්සේකා සහ සිරිල් වික්‍රමගේගේ ඒ සමීප රූප රාමුව ඔබට මතකද? සිරිල් හෙලන් දිහා ආදරෙන් බලන් ඉන්නා හැටිත් හෙලන් එයට මුහුණ නොදී ඉවත බලා ඉන්නා හැටිත් ඔබට මතක ඇති. තමන්ට පිටුපා වැල්ලට ආ බඹරෙක්ට ආදරය කළ හෙලන්ට ඒ තරම් ආදරේ කළේ මන්දැයි සිරිල් වික්‍රමගේගෙන්ම විමසන්නට සිතුවා. 

වේදිකාව, සිනමාව, සහ ටෙලි නාට්‍යය යන කලා මාධ්‍ය තුනෙහිම චරිතාංග නළුවෙක් ලෙස පෙළහර පෑම සුළුපටු කටයුත්තක් නොවේ. සිරිල් වික්‍රමගේ යනු ඒ කර්තව්‍යය ඕනාවටත් වඩා හොඳීන් ඉටුකළ අග්‍රගණ්‍ය කලාකරුවෙක්. ඔහුට සම්මුඛ වීමත් සුළුපටු කටයුත්තක් නොවෙයි. අටුවා ටීකා පසෙකලා මා ඔහු සමඟ මීට වසර අසූ නවයක අතීතයට ගියා. විමතියට කරුණ නම් ඔහුගේද මගේද උපන්දින එක් දවසකම යෙදී තිබීමයි.

"මම ඉපදුණේ 1932 ජනවාරි 26 වැනිදා. මගේ ගම කුරුණෑගල. මගේ පවුලේ සහොදර සහෝදරියෝ අටදෙනෙක් හිටියා. ගෑනු හතරයි පිරිමි හතරයි. මම පස්වැනියා. දැන් ජීවත් වෙලා ඉන්නේ මමයි මල්ලි විතරයි. මගේ තාත්තා ගැමි කලාකාරයෙක්. එයා උඩරට නැටුම් ගුරුවරයෙක්. හොඳ බෙරවාදකයෙක්. සොකරි, නාඩගම්වල කෙළ පැමිණි අයෙක්. ඒත් අපිට නටන්න ඉගැන්නුවේ නැහැ. එයාට ඕනේ වුණේ අපිව ඉස්කෝලේ යවලා හොඳට උගන්වන්න. මම ඉගෙන ගත්තේ ගමේ ඉස්කෝලෙන්. ගැලවීමේ හමුදාවෙන් පවත්වපු ඉස්කෝලයක් ඒක. ඉස්කෝලේ අන්තිම වසරේ ඒ කියන්නේ ප්‍රාරම්භක පන්තියේ විභාගය කළේ මම 1948දී."

අසූ නවවැනි විය ද පසු කළ සිරිල් වික්‍රමගේ නම් අග්‍රගණ්‍ය කලාකරුවාගෙන් විමසන්නට කෙතරම් නම් තතු ඇත්ද? ඒ සියල්ලම විමසන්නට මා නොඉවසිලිමත්‍. ටිකෙන් ටික නතර කරමින් ඔහු කරන අතීතාවර්ජනයට ලද විරාමයේදී මගෙන් පුංචි බාධාවකි.

"ඉස්කෝලෙන් පස්සෙ මොකද කළේ?"

"අපේ ගමේ හිටියා බජව් කණ්ඩායමක්. එයාලා ගමේ මඟුල් ගෙවල්වල සින්දු කිව්වා. ඒ වගේම නාට්ටිත් කළා. නූර්ති නාඩගම්වල ටිකක් රඟපෑවා. ඒ කාලේ ඉතින් තරුණ ඉලන්දාරිනේ අපි. ජීවිතය ගැන එහෙම බරක්පතලක් තේරුණේ නැහැ. නාට්ටිවල රඟපාපු එක තමයි කළේ. ඒකෙන් ලැබෙන ගාණකින් ජීවත් වුණා. 1954දී මම පේරාදෙණිය ගුරු අභ්‍යාස විද්‍යාලයේ ගුරුවරයෙක් විදිහට පුහුණු වුණා අවුරුදු දෙකක්. මම හරිම ආසයි සංගීතය ඉගෙනගන්න. මේ කාලයේදී මම නුවර පොල්ගම්පොළ සිරිල් පෙරේරාගේ කලායතනයට බැඳුණා සංගීතය ඉගෙන ගන්න. එතනදී මම වයලීන් වාදනය ගැන ඉගෙනගත්තා. එතකොට මට රඟපෑම ගැන අදහසක්වත් තිබුණේ නැහැ."

අපිට ජීවිතේ විවිධ කාලවකවානු එනවා. එක කාලෙකදී අපි ජීවිතේ කියන්නේ මොකක්ද කියලා හොයනවා. සිරිල් වික්‍රමගේටත් ඒ වගේ ජීවිතේ හොයපු කාලයක් තිබුණා. කලාවට බොහෝ ඇල්මක් දක්වන ඔහු විවිධ දෑ කළා. එහෙත් එවකට ඔහුට රංගනය ගැන අංශුමාත්‍ර අදහසක් තිබුණේ නැහැ. එහෙත් සිරිල් වික්‍රමගේ නම් තරුණයාගේ ජීවිතය වෙනස් වෙන්න ඒ තරම් කාලයක් ගියේ නැහැ. තමා හීනෙකින්වත් නොසිතූ වෘත්තියක නිරත වන්නට වන වගක් ඔහු දැන සිටියේත් නැති බව ඔහු මා සමඟ පැවසුවා. මගේ ඊළඟ පැනය ඔහුගේ ජීවිතේ එක් හැරවුම් ලක්ෂ්‍යයක් ගැන.

"කොළඹ එන්නේ මේ දවස්වල නේද?"

"ඔව්. මට රත්මලාන අඳ ගොළු බීරි පාසලට පත්වීමක් ලැබෙනවා. දැන් වගේ එක විෂයක් නෙමෙයි, සිංහල, ඉතිහාසය හැම විෂයක්ම උගන්වන්න ගුරුවරයෙක්ට පුළුවන් වෙන්න ඕනේ. මම අවුරුදු කීපයක් රත්මලාන අඳ ගොළු බීරි පාසලේ වැඩ කළා. ඒක හරිම ලස්සන අත්දැකීමක් මගේ ජීවිතේ. ඒකට ගුරුවරයෙක්ට වෙනම පුහුණුවක් ඒ වගේම සංයමයක් තියෙන්න ඕනේ. මේ කාලේදී ජාතික ගුවන් විදුලි සංස්ථාවේ සේවය කරපු සෝමවංශ පට්ටිආරච්චිව මුණගැහුණා. එයා ළඟට මම ගියා වයලීන් වාදනය ඉගෙනගන්න. අවුරුදු දෙකක් විතර වයලීන් වාදනය ඉගෙන ගත්තා. මට මේ අතර කොළඹ වෙස්ලි විද්‍යාලයට මාරුවක් ලැබුණා.

රඟපෑම ගැන අදහසක්වත් නොතිබුණු සිරිල් සම්මානනීය රංගන ශිල්පියෙකු බවට පත් වූ කතාව අසන්නට තිබුණු නොතිත් ආශාව මගේ ඊළඟ පැනයට හේතුවයි.

"එතකොට වේදිකාවට ගොඩවදින්නේ කොයිකාලේද?"

"පේරාදෙණිය ගුරු අභ්‍යාස විද්‍යාලයේ නැටුම් ගුරුවරයෙක් විදිහට වැඩ කළා ශ්‍රී ජයනා මහත්තයා. මේ කාලයේ ශ්‍රී ජයනා මහත්තයා වෙස්ලි විද්‍යාලයේ නැටුම් ගුරුවරයෙක් විදිහට ඇවිත් හිටියා. ශ්‍රී ජයනා මහත්තයා මට කිව්වා අපි ආයිමත් නැටුම් කරමු කියලා. මම ඒකට කැමති වුණා. අපි බැලේ එකක් කළා. ඒකේ නම "රණතිසර". රණතිසර බැලේ එකේ ගීත නිර්මාණය කළේ ආනන්ද සමරකෝන් මහත්තයා. ඒකට මියුසික් කරන්න ආවේ ජොන්ස්ටන් සිල්වා. එතනදී ආනන්ද සමරකෝන් මහත්තයා මාත් එක්ක ගොඩක් මිත්‍ර වුණා. මට ආරාධනා කළා එයා නාට්ටියක් කරනවා ඒකට එන්න කියලා. ඒකේ නම "පහන සහ රන්එතනා". ධම්ම ජාගොඩ, ෂෙල්ටන් සිල්වා වගේ නාට්ටිකාරයෝ එතනදී මට මුණගැහුණා. ඒකේ සින්දු කියන්න ආවේ නන්දා මාලනියි නාරද දිසාසේකරයි.

ඊටපස්සේ වෙස්ලි විද්‍යාලයේ ගුරුවරයෙක් කරපු එක නාට්‍යයක චරිතයක් මම රඟපෑවා. ඒක බලන්න ඇවිත් හිටියා ගුණසේන ගලප්පත්ති. ඔහු මට කතා කළා ඔහුගේ මූදු පුත්තු නාට්‍යයේ රඟපාන්න එන්න කියලා. ඒකේ තේගිරිස්ගේ චරිතය කළේ මම. සෝමලතා සුබසිංහ මාත් එක්ක ඒ නාට්‍යයේ රඟපෑවා. ඇත්තටම මම රඟපෑම ඉගෙනගත්තේ ගලප්පත්තිගෙ. රංගනයට මාව පුහුණු කළේ ඔහු. ගලප්පත්ති කියන්නේ ඇමරිකාවේ ගිහින් නාට්‍ය ගැන ඉගෙනගත්ත එක්කෙනෙක්නේ. එයාගෙන් මම ගොඩක් දේවල් ඉගෙනගත්තා. මූදු පුත්තු නාට්ටිය බලන්න ඇවිත් හිටියා විශේෂ අමුත්තෝ දෙන්නෙක්." 

සැබවින්ම ඒ දෙපළ ඔහුගේ ජීවිතය වෙනස් කළ අමුත්තෝ දෙදෙනෙක්. ඒ සිසිර සේනාරත්න සහ හර්බට් එම්. සෙනෙවිරත්න. සිරිල් වික්‍රමගේ හාහාපුරා කියා සිනමාවට ගොඩවඳීන්නේ ඔවුන් දෙදෙනා කළ ආරාධනයේ ප්‍රතිඵලයක් ලෙසයි. ඒ 1965දී තිරගත වූ ඩබ්ලිව්.ඒ. සිල්වාගේ නවකතාවක් ආශ්‍රයෙන් කළ හඳපාන චිත්‍රපටයේ හරමාගේ චරිතයෙන්. ඒත් ඔහු වේදිකාව අතහැරියේ නැහැ.

"මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර කළා පබාවතී කියලා නාට්‍යයක්. ඒකේ ඔක්කාක රජ්ජුරුවන්ට රඟපෑවේ මම. මේ නාට්‍යය බලන්න ඇවිත් හිටියා ඩොක්ටර් ලීනස් දිසානායකයි, ඩේවිඩ් සිල්වායි. එයාලා චිත්‍රපටයක් කරන්න සැලසුම් කරලා නළු නිළියන් හොයන ගමන් හිටියේ. මාව දැකලා එයාලා මාව තෝරගත්තා චිත්‍රපටයකට. ඒක කෙරුණේ නැහැ. ඒකේ පිටපතට මම කැමති වුණේ නැහැ. මේ අතර ගුණසේන ගලප්පත්තිගේ මූදු පුත්තු නාට්‍ය චිත්‍රපටයකට හරවන්න හිතාගෙන හිටියේ. ඩොක්ටර් ලීනුස්ට ඒක කිව්වාම එයා ඒකට කැමති වුණා. ගුණසේන ගලප්පත්තියි මමයි මහගමසේකරයි චිත්‍රපටයේ පිටපත ලියන වැඩේ භාර අරගෙන කරගෙන යද්දි ගලප්පත්ති කිව්වා, "සිරි ගුනසිංහ ලංකාවට ඇවිත් ඉන්නවා, එයාට මේ වැඩේ භාර දෙමු" කියලා. ඩොක්ටර් සිරි ගුනසිංහ "සත්සමුදුර" කියලා වෙන ස්ක්‍රිප්ට් එකක් කළේ."

මං දිහා එක එල්ලේ බලාගෙන ඔළුව ඉස්සරහට පිටුපසට වනමින් කළ රසකතා ගොන්නක අතීතාවර්ජනය ඔහු මදකට නතර කළා. මතකයෙන් ටිකෙන් ටික ගිලිහී යන ඒ අපූරු අතීතයේ රසබර සිදුවීම් යළි සිහිගන්වන්නට තැත් කරමින් නැවතත් කතාව ඇරඹුවා.

"ඇත්තටම මම හඳපාන චිත්‍රපටියේ රඟපෑවේ අතුරු චරිතයක්. සත්සමුදුර චිත්‍රපටියේ තමයි මට ප්‍රධාන චරිතයක් කරන්න හම්බුණේ. ඒක මට ලොකු අත්දැකීමක් වුණා. මීගමුවේ සහ පිටිපන තමයි චිත්‍රපටය රූගත කළේ. ඩී.බී. නිහාල්සිංහ කැමරා අධ්‍යක්ෂක. ඇසිස්ටන්ට් ඩිරෙක්ට් කළේ වසන්ත ඔබේසේකර. මම, ස්වර්ණා මල්ලවාරච්චි, එඩ්මන් විජේසිංහ රඟපෑවේ. අපි බොහොම විනෝදෙන් ඒ කාලය ගත කළා. චිත්‍රපටයේ මගේ චරිතය ගුණදාසට ඒ කාලේ සෑහෙන්න ප්‍රේක්ෂක ප්‍රතිචාර ගොඩක් ලැබුණා. තාමත් ඉතින් මම ඉන්නේ "සිනිඳු සුදු මුදු තලාවේ" තමයි. ඒක මැරෙනකං අමතක නොවෙන කතාවක්."

මම අසන්නටත් පෙරම ඉන්පසුව ඔහු රංගනයෙන් දායක වුණු නිර්මාණ පෙළ සිරිල් වික්‍රමගේ පෙළගස්වන්නට වුණා. මොකද වුණේ, බිනරමලී, පාරාවළලු, නිම්වළල්ල, වෙස්ගත්තෝ, සිහින ලොවක්, හත්දින්නත් තරු, අහස් ගව්ව, වල්මත්වූවෝ, එයා දැන් ලොකු ළමයෙක් යන චිත්‍රපටිවලට ඔහු පණ පොවපු බව අප හා පැවසුවා. ඒ අතරින් මොකද වුණේ, වෙස්ගත්තෝ, අහස් ගව්ව, වල්මත්වූවෝ යන නිර්මාණ ඔහුගේ වඩා සිත්ගත් නිර්මාණ වී ඇත. මේ අතර මගෙන් නැවතත් ඔහුට වෙත එල්ල වූයේ අමුතුම පැනයකි.

"එතකොට "මා මළ පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනවි" සින්දුව තිබුණෙ මොන චිත්‍රපටියෙද?"

"සිහින ලොවක් චිත්‍රපටියේ. ඒ චිත්‍රපටිය කළේ මම. මට ඩොක්ටර් ලීනස් කිව්වා චිත්‍රපටි කරන්න කියලා. මගේ අදහසක් අනුව තමයි චිත්‍රපටයේ පිටපත ලියවුණේ. පිටපත ලිව්වේ මහගම සේකර. ඒකේ එක ගීතයක් මට ඕනේ වුණේ ටිකක් වෙනස් විදිහකට. මම සේකරට මගේ අදහස කිව්වම සේකර ගීත කිහිපයක්ම ලිව්වා, ඒත් මට එකක්වත් හරි ගියේ නැහැ. අන්තිමටම සේකර එයාගෙ දිනපොතක ලියපු නිසදැසක් මට පෙන්නුවා. ඒක තමයි හරියටම හරි ගියේ."

නැවතත් කතාව මදකට නතර කළ ඔහු පුටුවේ හරිබරි ගැසී කොන්ද කෙලින් කරයි. එක්තරා බැරෑරුම් කතාවකට මුලපුරන්නා සේ උගුර මදක් පාදා නැවතත් හඬ අවදි කළ ඔහු සිරිල් ලෙසම සුප්‍රසිද්ධ වූ සිරිල් වික්‍රමගේගේ කුසලතාපූර්ණ රංගනයෙන් එකක් ලෙස සැලකෙන "බඹරු ඇවිත්" නම් අග්‍රගණ්‍ය කලා නිර්මාණය ගැන කියන්නට විය.

"ඊටපස්සේ මම බඹරු ඇවිත් චිත්‍රපටයේ රඟපෑවා. බඹරු ඇවිත් චිත්‍රපටයේ අධ්‍යක්ෂණය ධර්මසේන පතිරාජගේ. පතී පේරාදෙණියේ ඉන්න කාලේ ඉඳලා මම දන්නවා. නාට්ටි කරන්න පටන්ගත්තාට ටිකක් ළඟින් එයාව ඇසුරු කළා. කොළඹ ආපු කාලේ පතිරාජයි මමයි එකට නතර වෙලා හිටියේ. පතී චිත්‍රපටයක් කරන්න තියෙනවා ඔයාත් ඉන්නවා ප්‍රධාන චරිතයකට කියලා කිව්වා. ඒකේ රූගත කිරීම් කළේ කල්පිටියේ. මම මාලිනී ෆොන්සේකා, විජය කුමාරතුංග, විමල් කුමාර ද කොස්තා, ජෝ අබේවික්‍රම, අමරසිරි කලංසූරිය රඟපෑවා. රූගත කිරීම් කරනකොට ඒ කාලේ අපිට ගොඩක් පහසුකම් තිබුණේ නැහැ. එක පොඩි රෙස්ට්හවුස් එකක් විතරයි තිබුණේ. ගෑනු උදවියට කාමර ටික දීලා අපි ඉස්තෝප්පුවේ නිදිය ගත්තේ. විජය, ජෝ, මම, විමල්, කලං අපි ඔක්කොම ඉස්තෝප්පුවේ නිදියගත්තේ. ඒ පැත්තේ මිනිස්සු අපිට ගොඩක් උදවු කළා. චිත්‍රපටයේ අන්තිමටම මට විජය එක්ක ගහගන්න තිබුණා. ඒක ඒ කාලේ හරිම ජනප්‍රිය වුණා. මේ ළඟදී බඹරු ඇවිත් කාන්ස් එකෙත් පෙන්නුවානේ. හරිම සතුටුයි ඉතින් අපිට. අවුරුදු හතළිහකටත් කලින් රඟපාපු එකක් ලෝක ප්‍රසිද්ධ චිත්‍රපට දැක්මක පෙන්වනවා කියන එකත් ආඩම්බරයක්නේ ඉතින්."

බඹරු ඇවිත්හී රස මතක ආවර්ජනය 

කරන ඔහුට නැවතත් මගෙන් නොඉවසිලිමත්‍ පැනයකි.

"සිරිල් තාමත් හෙලන්ට ආදරෙයිද?"

"ඔව් තාමත් ආදරෙයි. ඇත්තටම මම විශ්වාස කරනවා එහෙම සිරිල්ලා තාමත් ලංකාවේ ඇති කියලා. ආදරේ නාමෙන් ජීවත් වෙන අය, ආදරේ ලබාගන්න බැරුව ජීවිතේ නැති අය චිත්‍රපටයේ හෙලන්ට වගේම මම මාලනීටත් ආදරෙයි. එයානේ ඉතින් අපේ නිළි රැජින."

බඹරු ඇවිත් චිත්‍රපටයෙන් පසුවද විවිධ චරිත තුළින් චරිතාංග රංගන ශිල්පියෙකු ලෙස සිනමා නිර්මාණයන්ට සම්බන්ධ වුණු සිරිල් වික්‍රමගේට කරුමක්කාරයෝ විශේෂයි. ආචාර්ය ගුණදාස අමරසේකරයන්ගේ නවකතාව ආශ්‍රයෙන් තිස්ස අබේසේකරයන් විසින් නිර්මාණය කරන ලද කරුමක්කාරයෝ චිත්‍රපටයේ සිරිල් පණ පෙව්වේ මැදෑගොඩ පියදාසගේ චරිතයටයි. සිරිල් වික්‍රමගේගේ රංගන ජීවිතයේ ඔහු ප්‍රිය කළ චරිත අතර තවත් එක් සුවිශේෂී චරිතයක් විදිහට සුද්දිලාගේ කතාවෙහි රොමියෙල්ගේ චරිතය ඔහු හඳුන්වයි. සිනමාවෙන් නොනැවතුණු සිරිල් තමන්ගේ තාත්වික රංග වින්‍යාසය ටෙලි තිරයේද දිගහරියි.

"සිනමාවට විතරක්ම කොටු වෙන්නත් බැහැනේ. අලුත් දේවල් ආවම අපි ඒ දේවල්වලට අනුගත වෙන්න ඕනේ. ඒත් මම සිනමාව අත්හැරියෙත් නැහැ. ටෙලිනාට්‍යය ලංකාවේ හදන්න පටන් ගත්තම හොඳ නිර්මාණ කීපයකටම සම්බන්ධ වෙන්න මට පුළුවන් වුණා. නුඹ නාඬන් සෙනෙහෙලතා, පළිඟු මැණිකේ, ගව්වෙන් ගව්ව, ඇල්ල ළඟ වලව්ව, කන්දෙ ගෙදර වගේ තවමත් හැමෝටම මතක හිතෙන නිර්මාණවලට මමත් සම්බන්ධ වුණා. සිනමාවට වඩා ටෙලිනාට්‍ය වෙනස්. ඒත් රඟපාන්න පුළුවන් කෙනාට ඔය කෝකත් එකයි."

ඔහු රංගනය ගැන නොයෙක් දේ තොරතෝංචියක් නැතුව මා ඉදිරියේ දිගහරියි. චරිතාංග රංගන ශිල්පියෙක් හැටියට ප්‍රකට සිරිල් වික්‍රමගේගෙන් ඔහුව කාචගත කළ අධ්‍යක්ෂවරුන් ගැන නොවිමසුවොත් එය මේ සංවාදයට අඩුවක්.

"අපිට රඟපාන්න ඉගෙනගන්න තැනක් තිබුණේ නැහැ. මගේ මතය එහෙම රඟපාන්න කාටවත් උගන්වන්න ඕනේත් නැහැ. හොඳ රඟපෑමක් කියන්නේ රංග ශිල්පියාගෙයි අධ්‍යක්ෂවරයාගෙයි එකතුවක්. ඒ අතින් මම වාසනාවන්තයි. මට ලංකාවේ හොඳම අධ්‍යක්ෂවරු ඔක්කොමත් එක්ක වගේ වැඩ කරන්න ලැබිලා තියෙනවා. ඒ අතර වසන්ත ඔබේසේකරගෙන් මම ගොඩක් දේවල් ඉගෙනගත්තා. ධර්මසිරි පතිරාජත් විශිෂ්ට ගණයේ අධ්‍යක්ෂවරයෙක්. එයා කවදාවත් විධාන කරන්නේ නැහැ. මිත්‍රශීලීව වැඩ කරපු නිසා අපිට හරි පහසුයි වැඩ කරන්න. එයා අපේ ඉරියව් හොඳට අධ්‍යයනය කරලා ඊටපස්සේ අපිට කියනවා ඒ වගේ මූඩ් එකක් ඕනේ කියලා. ඒ වගේම මගේ මිත්‍රයා ධර්මසිරි බණ්ඩාරනායක මතක කරන්න ඕනේ. එයා කොහොමත් හරිම නොහඬ චරිතයක්නේ. ඒත් වැඩේදී වැඩේ තමයි."

ඔහු මහ පොළොවේ ආදරවන්තයෙක්. විටෙක ඔහු පරාජිත ප්‍රේමවන්තයෙක්. විටෙක ගැමි තරුණයෙක්. තවත් වරෙක පීඩිත මිනිසෙක්, ආදර කතා සුණු විසුණු කරන්නට සමත් දුෂ්ටයෙක්. වරෙක රදල ප්‍රධානීන්ගේ ගැහැට විඳී ගැමියෙක්. එකී මෙකී නොකී සකලවිධ චරිත ඔස්සේ රංග ප්‍රතිභාව පෙන්නූ සිරිල්ගෙන් වත්මන් කලා ක්ෂේත්‍රයේ සිටින චරිතාංග රංගන ශිල්පීන් ගැන මා අසන්නටත් පෙරම ඔහුගේ මතය කියාගෙන ගියා.

"දැන් ඉතින් අපි රඟපාපු චරිත රඟපාන්න කවුරුත් ඉදිරිපත් වෙන්නෙ නැහැ. හැමෝම කැමති පෙම්වතාගේ චරිතය රඟපාන්න. හැමෝම පෙම්වතා වුණාම කවුද දුෂ්ටයා වෙන්නේ? ඒකට තව හේතුවක් තියෙනවා. දැන් ඉන්න ළමයි මේ ගැන කිසිම උනන්දුවක් නැහැ. කිසිම අධ්‍යයනයක් නැහැ. අඩුම තරමේ දැන් ඉන්න නළුවෝ ලංකාවේ පරණ චිත්‍රපටියක්වත් බලලා නැහැ. ඒ වගේම එහෙම හොඳ රංගන ශිල්පීන් මතුවෙන්න තරම් සිනමාවක් ලංකාවේ දැන් නැහැ. ඒක ඛේදවාචකයක්. සිනමාව විශාල අගාධයකට ගිහින් තියෙන්නේ. වේදිකාවටත් ඒ වින්නැහියමයි වෙලා තියෙන්නේ. අපි වේදිකා නාට්‍ය කළේ සරච්චන්ද්‍ර, ගලප්පත්ති, වැලිකල වගේ විශිෂ්ට නාට්‍යකාරයෝ එක්ක. දැන් එහෙම විශිෂ්ටයි කියන්න පුළුවන් වේදිකා නාට්‍යකරුවන් නැහැ. හොඳ නළුවෝ නැත්තේ නැහැ ඉන්නවා. ඒත් එයාලා යටපත් වෙලා ඉන්නේ. ඒ අයට අවස්ථා අඩුයි."

වර්තමාන සිනමාවට, කලාකරුවන්ට සිරිල් වික්‍රමගේගෙන් විවේචන රාශියක්. චෝදනා ගොන්නක්. ඒත් ඔහුට යමක් අමතකව ඇති හැඩයි. ඉහත චෝදනාවලට ප්‍රතිඋත්තරයද සමඟ මගෙන් නැවතත් ඔහුට පැනයක්.

"දැන් එහෙම හොඳ රංගන ශිල්පීන් නැති එකට ඔබත් වගකියන්න ඕනේ නේද? ඇයි පසු පරම්පරාවක් හැදුවේ නැත්තේ?" 

"ඒක අපි හදන්න ඕනේ දෙයක් නෙමෙයිනේ. පසු පරම්පරාව හැදෙන්න ඕනේ. අනික දැන් ඉන්න අය අපි කියන දේ අහන්නේ නෑනේ. අපි නිකං පැත්තකට වෙලා ඉන්නේ. දැන් කට්ටියක් රංගන පාසල් දාගෙන ඉන්නවා. කිසිම කෙනෙක්ට රඟපෑම මෙහෙමයි කියලා උගන්නන්න බැහැ. රඟපෑම කියන්නේ තමන්ගේ අත්දැකීම්වලින් හොයාගන්න ඕනේ දෙයක්. අපි අවට සමාජයේ ඉන්න සෑම චරිතයක්ම අධ්‍යයනය කරන්න ඕනේ. ඉගෙනගන්න ඕනේ. ඒ තුළින් තමයි තමා තමාවම පුහුණු කරගන්න ඕනේ. අපිට බැහැ කලාවට පරම්පරා හදන්න. ඒ අය හැදෙන්න ඕනේ."

දශක පහකට අධික කාලයක් කලා ක්ෂේත්‍රයේ විවිධ විචිත්‍ර චරිත වෙතින් අප හමුවට ආ සිරිල් වික්‍රමගේ නම් රංගවේදියා වර්තමාන තරුණ රංගන ශිල්පීන්ට දැක ගැනීමට මෙලෙස පත්තරේ ලියා තබන ලෙස මා වෙත ඉල්ලීමක් කළා.

"තමන් කරන දේ හරියට දැනගෙන කරන්න. එච්චරයි මට එයාලට කියන්න තියෙන්නේ. තමන් කරන දේ තමන් තේරුම් ගන්න ඕනේ. දැන් හුඟදෙනෙක් රංගන පාසල් ගිහිල්ලා රංගනය ගැන ගොඩක් දේවල් දන්නවා කියලා හිතාගෙන ඉන්නේ. ඒත් හරියට චරිතයක් ගොඩනඟන හැටි දන්නේ නෑ ඒ අය. අපි වටා ඉන්නේ ඔක්කොම චරිත. මේ චරිත දිහා හොඳට බලන්න ඕනේ. අධ්‍යයනය කරන්න ඕනේ. ඒවා කරනවාට වැඩිය දැන් අයට වෙන වැඩ තියනවානේ. ෆෝන් එකට තට්ටු කර කර ඉන්නකොට කෝ ජීවත් වෙන්න වෙලාවක්? මැරිච්ච මිනිස්සුන්ට රඟපාන්න බැහැ දරුවා."

ඔහුට ලැබුණු ඇගයීම් ගැන විමසන්නට මා අමතක කළේ නැත.

"සම්මාන නම් ඉතින් ගොඩක් මට හම්බෙලා තියෙනවා. හොඳම නළුවා, සහාය නළුවා, නැඟී එන නළුවා ගොඩක් සම්මාන ලැබිලා තියෙනවා. සරසවිය සම්මානත් ලැබිලා තියෙනවා."

සිරිල්ගේ රංගන ජීවිතයේ සියලු අහුකොන් හාරවිස්සුවද ඒ කිසිදු තැනක ඔහු තම පෞද්ගලික ජීවිතය නොපවසන්නට වගබලාගත්තා. ඒ නිසාම ඔහුගෙන් මම ඒ ගැන විමසුවා.

"මට දරුවෝ හතර දෙනෙක් ඉන්නවා. මගේ ලොකු පුතා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. ලොකු දුවට එයාගෙම ව්‍යාපාරයක් කරනවා. පොඩි දුව රක්ෂණ සංස්ථාවේ වැඩ කරන්නේ. පොඩි පුතාත් ළඟදිම රට යන්න ඉන්නේ. පොඩි පුතා ඇරෙන්න අනිත් ඔක්කොම විවාහ වෙලා. මුනුබුරු මිනිබිරියන්ගේ ආදරේ හුරතලේ එක්ක තමයි මගේ කාලය දැන් ගෙවෙන්නේ."

සංවාදයක් ආරම්භ කළහොත් එහි අවසානයක් තියෙන්නම ඕනේ. ඔව් දැන් මේ සංවාදය අවසන් කළ යුතුයි. ඒත් ඒක එහෙම ලේසියෙන් අවසන් කරන්න බැහැ. හැමෝටම අන්තිමටම කියන්න කතාවක් තියෙනවා. සිරිල් වික්‍රමගේත් එහෙම කතාවක් අන්තිමටම මට කිව්වා.

"දැන් මට රඟපාන්න බැහැ. දැන් අමාරුයි. මේ යන්නේ මගේ අසූනව වෙනි අවුරුද්ද. මට අවසන් බලාපොරොත්තු නැහැ. මැරෙන්න කලින් කරන්න වැඩක් ඇත්තෙත් නැහැ. මැරෙනකං කාටවත් කරදරයක් නැතුව සතුටින් ජීවත් වෙන්නයි මට ඕනේ. මගේ අවසන් ඉල්ලීම මම කලින්ම සේකර ලව්වාම ලියවගෙන තියෙනවා."

"මා මළ පසු සොහොන්කොතේ දුක් ගීයක් ලියනු මැනවි..."

මාලන් කරුණාරත්න