කොලිවුඩ් ගිය අපේ කට්ටිය

මාර්තු 25, 2021

සිනමාවේ උප්පත්තියේ සිටම මේ දක්වාම ඉන්දියානු කාර්මික ශිල්පීන්ගේ සහ නළු නිළියන්ගේ දායකත්වය ඒ වෙනුවෙන් හිමිවුණි. අනෙක් අන්තයෙන් ශ්‍රී ලාංකේය ශිල්පීය දායකත්වය, විශේෂයෙන් මෙරට නළු නිළියන්ගේ දායකත්වයද ඉන්දියානු සිනමාපට උදෙසා හිමිවුණි. ඒ අතුරින් අතීතයේ විවිධ කාලවකවානු තුළ ගාමිණි ෆොන්සේකා, විජය කුමාරතුංග, සනත් ගුණතිලක, මාලනී ෆොන්සේකා, ගීතා කුමාරසිංහ, සබීතා පෙරේරා, කාංචනා මෙන්ඩිස් යන අයට ඉන්දියානු දමිළ සිනමාවේත්, යශෝධා විමලධර්ම හා මීනා කුමාරි හට ඉන්දියානු මලයාලම් සිනමාවේත් සහ නදීෂා හේමමාලිට ඉන්දියානු තෙළිඟු සිනමාවේත් රංගනයේ යෙදීමට ලද අවස්ථා කැපී පෙනේ. එසේම මෑත කාලීනවද මෙරට නළු නිළියන් කිහිප දෙනෙකු හට ඉන්දීය සිනමාපටවල රංගනයේ යෙදීමේ අවස්ථාව හිමිවූ අතර, ඒ අතුරින් මධුමතී පද්මනාදන් රගපෑ "එලේ" (Aelay) නම් දමිළ චිත්‍රපටය පසුගිය පෙබරවාරි 28 වෙනිදා ඉන්දියාවේ ස්ටාර් විජේ රූපවාහිනී නාළිකාව හරහා මහජනතාවට ප්‍රදර්ශනය කෙරුණි. එයට අමතරව ශ්‍රී ලාංකිකයන් රගපෑ ෆ්‍රෙන්ඩ්ෂිප්, සෙකන්ඩ් ෂෝ, ඩිස්ටන්ට් ටියර්ඩ්‍රොප්, වීරනේ වේන්ඩුම්, අන්ධ නිම්දම්, තුප්පාකියින් කදෙයි නම් වූ චිත්‍රපට තිරගතවීමට නියමිත අතර, ගූගල් කුට්ටප්පන් සහ ලක්නව් යන චිත්‍රපට ද්විත්වය රූපගත කිරීම් අවසන් කිරීමට නියමිතව ඇත.

2021 වසරේ තෙවෙනි හෝ සිව්වෙනි කාර්තුවේදී තිරගත වීමට නියමිත "ෆ්‍රෙන්ඩ්ෂිප්" (Friendship)) නම් දමිළ සිනමාපටය, ජෝන් පෝල් රාජ්ගේ සහ ෂාම් සූර්යාගේ සම අධ්‍යක්ෂණයකි. ක්‍රීඩාව මුල් කොටගත් ආදර කතාවක් වටා ගොඩනැගී ඇති මෙම චිත්‍රපටයේ ප්‍රධාන කාන්තා චරිතයට ශ්‍රී ලාංකේය නිළි ලොසියා මරියනේෂන් පණ පොවයි. ඇය සමග හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක හර්බජාන් සිං, ජනප්‍රිය කොලිවුඩ් සටන් නළු අර්ජුන් හා දමිළ නළු සතිෂ් කුමාර් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරති. දමිළ භාෂාවෙන් නිමැවුණු මෙම චිත්‍රපටය, හින්දි, කන්නඩ හා තෙළිඟු භාෂාවෙන්ද හඬ කවා තිරගත කිරීමට නියමිතය. ලොසියා මරියනේෂන්ගේ කුලුඳුල් සිනමා රංගනය මෙය වේ.

ඉන්දීය දමිළ ජාතික ඒ.ටී ඥානම් විසින් කුලුඳුලේ අධ්‍යක්ෂණය කළ "සෙක්න්ඩ් ෂෝ" (Second Show) චිත්‍රපටයේ ප්‍රධාන චරිතවලට හේමාල් රණසිංහ, ජනප්‍රිය මරාති නිළි පල්ලවි සුභාෂ් (යශෝධරා සිංහල චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රගපෑ) සහ කොලිවුඩ් ෆිල්ම් ෆෙයාර් සම්මානලාභී ජනප්‍රිය නළු අජ්මල් අමීර් පණ පොවති. සෙසු චරිත කොලිවුඩ් නිළි විද්‍යා ප්‍රදීප්, තෙළිඟු නිළි අක්ෂතා සොනාවනේ සහ ගුජරාටි නිරූපණ ශිල්පිනී පූජා මොන්ඩල් රඟ දක්වති. 2019 වර්ෂයේදී නොවැම්බර් හා දෙසැම්බර් මාසවලදී මුළුමනින්ම එංගලන්තයේදී (ලන්ඩන් හා බර්මින්හැම්වල) රූපගත කළ මෙම චිත්‍රපටය, එකම දර්ශන තලයේ දමිළ සහ සිංහල යන භාෂා ද්විත්වයෙන්ම රූපගත කොට තිබීම විශේෂත්වයකි. මෙම වසරේ අවසන් කාර්තුවේදී මෙම චිත්‍රපටය තිරගතවීමට නියමිතය.

ඉන්දියානු නිෂ්පාදන ආයතන තුනක සමූහ නිෂ්පාදනයක් ලෙස එළිදකින "ඩිස්ටන්ට් ටියර්ඩ්‍රොප්" (Distant Teardrop) චිත්‍රපටය බොලිවුඩ් සිනමාපට අධ්‍යක්ෂක පද්මකුමාර් නරසිම්හ මූර්තිගේ නිර්මාණයකි. ඉංග්‍රීසි, දමිළ දෙබස්වලට අමතරව සිංහල දෙබස් කණ්ඩද ඇතුළත් වන මෙම චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවන්ට රවීන්ද්‍ර රන්දෙණිය හා සංගීතා වීරරත්න පණ පොවති. ඔවුන් දෙපළට අමතරව අර්ජුන් චිදම්බරම්, නිත්‍යා ශ්‍රී, ඉන්දියා ඔඩෙර්රා, ආදිත්‍යා ඔඩෙර්රා යන ඉන්දීය නළු නිළියන්ගේ රංගනයෙන් "ඩිස්ටන්ට් ටියර්ඩ්‍රොප්" හැඩවේ. ශ්‍රී ලංකාවේ පැවති සිංහල-දමිළ ජනවාර්ගික ගැටලුව හා සම්බන්ධිත කතාවක් වටා ගොඩ නැගී ඇති මෙම චිත්‍රපටය එක්සත් රාජධානියේ සහ ශ්‍රී ලංකාවේ රූපගත කොට ඇත.

ඉන්දියාවේ රෙඩ් කාපර්ට් ෆිල්ම්ස් සහ එස්.එස් එන්ටර්ටේන්මන්ට් ආයතන ද්විත්වයේ නිෂ්පාදනයක් ලෙස එළිදකින "වීරනේ වේන්ඩුම්" (Verenna Vendum) හි අධ්‍යක්ෂණය ශිවා භාරති කුමාරන්ගෙනි. දකුණු ඉන්දීය නළු නිළියන් වන නරේන් රාම්, ප්‍රීරනා කන්නා, අනුපමා සමග ශ්‍රී ලාංකේය නළු දර්ශන් ත්‍යාගරාජා මෙහි ප්‍රධාන චරිත රඟපාති. චිත්‍රපටයේ ප්‍රධාන ප්‍රතිවීර චරිතයට පණ පොවන දර්ශන්ගේ සිනමා ආගමනය සනිටුහන් වන්නේ "වීරනේ වේන්ඩුම්" හරහාය.

"අන්ධ නිමිදම්" (Andha Nimidam) ඉන්දු- ශ්‍රී ලංකා සම නිෂ්පාදනයකි. රහුමාන් සලාහුදීන්, රොෂීන් ඛාන්, සංජනා නයිදු යන ඉන්දීය නළු නිළියන් සමග ලාල් වීරසිංහ මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟ දක්වති. එයට අමතරව චන්න පෙරේරා හා රජිත හිරාන් චාමිකරද මෙහි දක්නට ලැබීම විශේෂත්වයකි. කුලන්දායි යේෂු සහ මංජුල ද සිල්වා නිෂ්පාදනය කළ "අන්ධ නිමිදම්"හී බොහෝ දර්ශන ශ්‍රී ලංකාවේ රූපගත කොට ඇත. "අන්ධ නිමිදම්"ට අමතරව ලාල් වීරසිංහ රගපෑ තවත් කොලිවුඩ් චිත්‍රපටයක් ඉදිරියේදී තිරගත වීමට නියමිතය. එය නමින් "තුප්පාකියින් කදෙයි" (Thuppakiyin Kathai) වේ. සත්‍ය සිද්දියක් මුල්කොටගෙන නිර්මාණය වී ඇති මෙම චිත්‍රපටයේ, "ලොගු අන්නා" නම් වූ අවි වෙළෙදාමේ යෙදෙන පුද්ගලයෙකුගේ චරිතයකට ලාල් වීරසිංහ පණ පොවයි. මෙම චිත්‍රපටයේ තිර රචනය සහ අධ්‍යක්ෂණය විජේ කන්දසාමිගෙනි.

''ගූගල් කුට්ටප්පන්" (Google Kuttappan) නම් දමිළ සිනමාපටය, ඇන්ඩ්‍රොයිඩ් කුන්ජප්පන් වර්ෂන් 5.25" (Android Kunjappan Ver 5.25) නම් වූ මලයාලම් සිනමාපටය පාදක කොට ගනිමින් ප්‍රති නිර්මාණය වන්නකි. ප්‍රවීණ සිනමාපට අධ්‍යක්ෂක හා රංගන ශිල්පී කේ.එස් රවිකුමාර් නිෂ්පාදනය කරන "ගූගල් කුට්ටප්පන්" සමව අධ්‍යක්ෂණය කරනු ලබන්නේ සබාරි සහ සරවනන්ය. කේ.එස් රවිකුමාර්, ජනප්‍රිය කොලිවුඩ් විකට නළු යෝගි බාබු සමග ශ්‍රී ලංකාවේ දර්ශන් ත්‍යාගරාජා සහ ලොස්ලියා මරියනේෂන් මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟ දක්වති.

කාලගුණික වෙනස්වීම් සහ කොවිඩ් වසංගතයේ බලපෑම නිසාවෙන් රූපගත කිරීම් තාවකාලිකව නවතා දැමූ "ලක්නව්" (Lucknow) නම් වූ මලයාලම් චිත්‍රපටයේ අවසන් රූපගතකිරීම් මේ වසරේදී ඉන්දියාවේ ලක්නව් නුවරදී නිමවීමට නියමිතය. බීනා උන්නික්‍රිෂ්නන් නිෂ්පාදනය කරන හා අනිල් කුමාර් අධ්‍යක්ෂණය කරන මෙම චිත්‍රපටයේ තිර රචනය සුදීර් කරමනාගෙනි. ජැක්සන් ඇන්තනී සහ පියුමි හංසමාලී සමග ඉන්දියානු නළු රාම ක්‍රිෂ්ණන් සහ මැලේසියානු සම්භවයක් සහිත කොලිවුඩ් නිළි ශාන්ති තේවා මෙම චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවන්ට පණ පොවති. විවිධ රටවලට අයත් ජනතාව එකට දිවිගෙවන මධ්‍යම පාන්තික නිවාස සංකීර්ණයක් තුළ අතිවෙන අනියම් ප්‍රේම සම්බන්ධයක් වටා මෙම චිත්‍රපටයේ කතාව ගොඩ නැගී ඇත.