වර්ෂ 2021 ක්වූ February 24 වැනිදා Wednesday
විරිඳුවෙන් රටක් නැළැවූ ජනරංජන කවිරත්න

කලක් ගුවන් විදුලි විරිඳු ගායකයකු ලෙස ඉතා ජනාදරයට පාත්රව සිටි ජනරංජන කවිරත්න අභාවප්‍රාප්ත විය. ඔහු වේදිකා නාට්‍ය සංගීත අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කොට ඇති අතර ඒ වෙනුවෙන් හෙතෙම සම්මානයට ද පාත්‍ර වී තිබේ. 1953 පෙබරවාරි 14 වැනි දා උපත ලැබූ ජනරංජන කවිරත්න කොළඹ ශාන්ත මැතිව් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. 1974 වසරේ වාදකයෙකු ලෙස කලා ලොවට සම්බන්ධ වන ඔහු පසුකාලීනව වේදිකා නාට්‍ය සංගීත අධ්‍යක්ෂවරයෙකු ලෙස සිය දායකත්වය සැපයීය. බී. සිරිතුංග පෙරේරාගේ ගිනිකඳු නාට්‍යයෙන් සංගීත අධ්‍යක්ෂකවරයෙකු ලෙස දොරට වැඩි ඔහු නායකයා (අශෝක සෙනරත් මුදලිගේ) ගමනේ යා (සිරිතුංග පෙරේරා), අම්බලමක නඩේ (පීටර් වෙදමුණි) වැනි නාට්‍ය ගණනාවක සංගීත අධ්යක්ෂවරයා විය. ඒ අතරින් ගමනේ යා සහ අම්බලමක නඩේ වේදිකා නාට්‍යයන්හී සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් සම්මානයටද ජනරන්ජන කවිරත්න පාත්‍ර විය. 1984 වසරේ විරිඳු කැසට් ලොවට අවතීර්ණ වූ ඔහු සත්‍ය සිදුවීම් ඇසුරු කර ගනිමින් ගායනා කළ විරිඳු කැසට් රැසක් එළිදැක්වීය. අරන්තලාව ඛේදවාචකය, ප්‍රේමවතී මනම්පේරි කතාව, මතුගම සමන් කුමාර ඝාතනය ආදී මේ රට ආන්දෝලනාත්මක සිදුවීම් විරිඳුවෙන් ඉදිරිපත් කොට ඉතා ජනප්‍රිය අයකු බවට ජනරංජන කවිරත්න පත් විය. මේ සඳහා සහය ගායනයෙන් ඔහුගේ නැගණිය සරෝජනී කවිරත්න දායක විය. පසුකාලීනව ඔහු ක්ෂේත්රයෙන් බැහැරව සිටි අතර මියයන විට ඔහුගේ වයස අවුරුදු හැට අටකි. ඔහුගේ අවසන් කටයුතු පසුගියදා මහරගමදී සිදුවිය.