රංගනයෙන් හා අධ්‍යක්ෂණයෙන් සිනමාව සැරසු හත්දෙනෙක්

පෙබරවාරි 18, 2021
එම්.පී.ගිල්මන්

 

එම්.පී.ගිල්මන්

සිනමාස් සමාගමේ පළමු නිෂ්පාදනය වූ ‘සුජාතා’ චිත්‍රපටයේ රඟපෑමට වරම් ලැබුණේ චිත්‍ර ශිල්පය හැදෑරීම සඳහා ඉන්දියාවට ගොස් සිටිය දී සේලම් මොඩර්න් තියටර්ස් සමාගමේ භාෂා පරිවර්තකයා ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලද විටදීය. ‘සැඩසුළං’ (1955) රඟපෑමට අවස්ථාව ලැබුණේ ද එසේමය.

61 දී ‘වැදිබිම’ චිත්‍රපටය නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළේ එහි ‘නහරයා’ගේ චරිතය ද රඟපාමිනි. “එදා ඒ චිත්‍රපටයේ අර්ථය තමයි 71 කැරැල්ල නමින් මේ රටේ තරුණ විප්ලවයට එලිදැක්වෙන්නේ” යනුවෙන් ඔහු ගැන ලියූ ලිපියක ඔහු සඳහන් කර තිබුණි.

 

 

 

 

සෙබස්තියන් ජයසිංහ

සිරිසේන විමලවීර 1954 දී නිර්මාණය කළ ‘සරදියෙල්’ චිත්‍රපටයේ මතායස් ප්‍රනාන්දු ‘සරදියෙල්ගේ චරිතය කරද්දී එහි ‘මමිමලේ’ මරික්කාර්’ ගේ චරිතය රඟපෑවේ සෙබස්තියන් ජයසිංහය. ‘ජීවිත සටන’ (57) චරිතයකට ද පණ පෙවූ ඔහු ‘යළි ඉපිදේ’ (77) හි සමාජ ශාලා හිමිකරුවරකු වූ ‘ජෙරී’ විය. ඉන්පසු රඟපෑවේ ‘ජය අපටයි’ (1986) චිත්‍රපටයේ පමණි.

ඔහු ‘අනුහස’ (1980) අධ්‍යක්ෂණය කළේ එහි ප්‍රධාන චරිතයට ද පණ පොවමිනි. ටාසන් වර්ගයේ චිත්‍රපටයක් වූ එහි රංගනය සඳහා මනා සුදුසුකමක් ඔහු සතුව තිබුණි. අධ්‍යක්ෂණය කළ එකම චිත්‍රපටය මෙන්ම ප්‍රධාන චරිතයක් රඟ පෑ එකම චිත්‍රපටය ද එයම විය.

 

 

 

 

බන්ධු ගුණසේකර

ඩබ්.ඒ.සිල්වා ලියූ ‘රදළ පිළිරුව‘ නවකතාවේ සන්ඩින් කමලනාත් නම් වූ කිසිදා දත් නොමදින, ස්නානය නොකරන අපිරිසුදු පුද්ගලයෙකුගේ චරිතයක් විය. සුප්‍රකට නළු ලැඩී රණසිංහ මොහුව සිනමාස් අධිපති ගුණරත්නම්ට හඳුන්වා දුන්නේ ‘රදළ පිළිරුව‘ (54) චිත්‍රපටයේ එම චරිතය රඟපෑමටය. ‘දොස්තර’ (56), සුරසේන (58) වීර විජය’ (60) වැනි චිත්‍රපටිවල ද චරිත නිරූපණය කරන අතර ‘සංදේශය’ (60) චිත්‍රපටයේ කැරලිකරුවන් පාවා දෙන දෝහියකු වූ ‘පුංචප්පු’ ලෙස ද මතක හිටින චරිතයක් රඟපෑවේය.

‘සීගිරි කාශ්‍යප’ (60) පේ්‍්‍රමිනාත් මොරායස් සමඟ සම අධ්‍යක්ෂණය කරමින් අධ්‍යක්ෂණයට ද අත්පොත් තැබූ බන්ධු තනිවම ‘හොඳින් ඉන්න’ (80) අධ්‍යක්ෂණය කළේය. සේනාධීර රූපසිංහ සමඟ විජිත මල්ලිකා එහි ප්‍රධාන චරිත රඟපෑහ.

 

 

 

 

ශේෂා පලිහක්කාර

ඔහු රඟපෑවේ චිත්‍රපට 8ක පමණි. මාතලන් (55), රේඛාව (56) රන්මුතු දුව (62), සීතාදේවී, සත්‍යග්‍රහණය (1985) පමණකි. එම චරිත තවමත් සිනමාලෝලීන්ගේ මතකයේ රැඳී ඇතිවාට සැක නැත. ‘මාතලන්’ චරිතය සඳහා ඔහුව තෝරගෙන ඇත්තේ ‘වේලත් තෙලි‘ නම් වූ කඩු හරඹ රැගත් නැටුම් ඔහු විසින් ප්‍රගුණ කර තිබීම නිසා බව පැවසේ. එහි චිත්‍රරම්භ කුමරු චිත්‍රවල්ලියගෙන් (ක්ලැරිස් ද සිල්වා) සහ “තලගොඩේ උපන් තලගොඩේ හැදුණ තරුණ කාන්තාව විය. තල තුළට තෙල් ආවේ කොහොමද?” වාක්‍යයත්, මාතලන්, මහ සෙනෙවියගේ දියණිය (රත්නා ද සිල්වා) සමඟ ගයන ‘පෙම්මාලා ගොතා ගෙලේ’ ගීතයන්, අයවෝ ඩෙනිස්ගේ ‘අනුරාපුර පොලොන්නරුව‘ ගයමින් බොරු කකුල් කාරයෙකු ලෙස ‘රේඛාව‘ට කළ රංගනයක්, “මහා සාගරය උණු දියෙන් ඉගිළුණා. සතර දිසාවෙන් විදුලිය කොටන්නට පටන් ගන්නා. මුළු පොළෝ තලයම දෙදරුම් කෑවා. එකෙනෙහිම ශත වර්ෂ ගණනක් තිස්සේ පුද පුජා ලැබූ දේවාලය කෙමෙන් සාගරයට ගිලා බැස්සා” යැයි මොර දෙන රන්මුතු දූවේ පූජකයාත් එම චරිත වේ.

ඔහු රඟපෑම පසුපස හඹා ගියේ නැත. එහි ප්‍රතිඵලය වූයේ ඔහුගේ දස්කම් එක චිත්‍රපට අධ්‍යක්ෂණයකට පමණක් සීමා කරන්නටය. සිනමාස් සමාගම වෙනුවෙන් කේ ගුණරත්නම් නිෂ්පාදනය කළ එම චිත්‍රපටය ‘ලක්සෙට කොඩිය’ (70)ය. ජෝ අබේවික්‍රම, සෝබනී අමරසිංහ ප්‍රධාන චරිත රඟපෑහ.

 

 

 

 

කිංස්ලි රාජපක්ෂ

‘පෙරකදෝරු බෑනා’ (55) චිත්‍රපටයට නළු නිළියන් ඉල්ලා තිබූ දැන්වීමක් දුටු කිංස්ලි රාජපක්ෂට එහි සුළු දුෂ්ඨ චරිතයක් රඟපෑමට වරම් ලැබුණේ සම්මුඛ පරීක්ෂණය සමත් වූ නිසාය. ‘සුනීතා’ (58), සේපාලි (58), ‘ශී‍්‍ර 296’ (59) වැනි චිත්‍රපටිවල සාර්ථක රංගනයන් ඉදිරිපත් කිරිමෙන් අනතුරුව පේ‍්‍රක්ෂකයන් ඔහු වෙත වඩාත් සමීප වූයේ දීපශිඛා’ (63) හි රඟපෑ චරිතයෙනි. ධර්මදාස වල්පොල ගැයූ ‘මං මුලාවෙලා අඳුරේ මේ’ ගීතමය ජවනිකාව ඔහු කෙතරම් සිත් ගන්නා අයුරෙන් රඟපෑවාද කිවහොත් මුළු පේ‍්‍රක්ෂකාගාරයට ඔහු වෙත ඇදී ගියේය. එසේ වුවද එය ප්‍රධාන නළුවෙකු ලෙස රැඟු අවසන් චිත්‍රපටය විය.

‘දීපශිඛා’ ඔහු අධ්‍යක්ෂණය කළ ප්‍රථම චිත්‍රපටය වීමය. ‘හඳපාන’ සහ ‘හිතට හින’ 1965 දීත් ‘පෙම්කුරුල්ලෝ’ (79) දක්වා චිත්‍රපට 7ක් අධ්‍යක්ෂණය කර ඇත. ‘දොස්ති’ සහ ‘ගෙහෙරා මාග්’ හින්දි චිත්‍රපට ඇසුරින් තැනූ ‘කලණ මිතුරෝ’ (71) සහ ‘සුහද පැතුම’ (73) පේ‍්‍රක්ෂකයා වෙත වඩාත් සමීප කළේය. සිනාවයි ඉනාවයි, සුදු පරවියෝ ඔහු අධ්‍යක්ෂණය කළ චිත්‍රපට වෙයි. අවසන් වරට අධ්‍යක්ෂණය කරන ලද්දේ රාංකුරුල්ලා චිත්‍රපටයයි.

 

 

 

බැප්ටිස් ප්‍රනාන්දු

රඟපාන ලද ප්‍රථම චිත්‍රපටයේ දී ඔහු චරිත දෙකක් රඟපෑවේය. ඒ පොලිස් පරීක්ෂකවරයෙකු සහ සහචරයකු ලෙසය. චිත්‍රපටය ‘පෙරකදෝරු බෑනා’ (55)ය. ‘හොඳට හොඳයි’ (73) දක්වා රඟපෑ චිත්‍රපට 16 තුළ දී වැඩි වශයෙන් ලැබුණේ දුෂ්ඨයාගේ චරිතයයි. ‘පුරුෂ රත්තය’ (59) හි සොහොයුරාගේ චරිතය ඔහුව මඳක් ඉන් මුදවාගත් චරිතය විය. දුෂ්ඨයා වුවද, ඔහු රඟපෑ ‘සන පනහ’ (65), ‘ඔහොම හොඳද?” (70), තුෂාර (73) වැනි චිත්‍රපටිවල චරිත තුළදී ඔහු දස්කම් දැක්වීය. පේ‍්‍රක්ෂක මතකයේ රැඳී සිටින්නට එය ඉවහල් විය.

සැමදා වීරයාගෙන් ගුටිකෑමෙන් මිදෙන්නට ඔහු දුප්පතාගේ හිතවතා (74) නිපදවිය. සැලසුම සාර්ථක විය. ‘ටිකිරා’ (78), ‘එක දිග කතාවක්’ (82)’සුදු අයියා’ (82)’ නාමල් රේණු (84) වැනි චිත්‍රපටිවල ප්‍රධාන චරිතය රඟපෑවේ ජෙනිටා සමරවීරව තම පෙම්වතිය කර ගනිමිනි.

“ඔහු අධ්‍යක්ෂණය කළේ ‘අංගුලිමාල’ පමණි. එහිදී ඔහු එහි හින්දි චිත්‍රපටයේ ආභාසය ද ලබන්නට ඇත.

 

 

 

 

 

ඇන්තනී සී පෙරේරා

සිනමාස් සමාගමේ අධිපති කේ.ගුණරත්නම්ව හඳුනාගැනීමට ලැබීමෙන් ‘දුප්පතාගේ’ දුක (56) තුළින් රඟපෑම ආරම්භ කළේය. මුල් චිත්‍රපට කිහිපයේ දී එනම් ‘සුරයා’ (57) ‘වනමෝහිනී’ (58) වැනි චිත්‍රපටවල ඔහු චරිත කිහිපයක් රඟනා අයුරු අපට දක්නට ලැබුණි. ‘රන්මුතු දුව‘ (62) චරිතය විකට චරියක් නොවුවද ගාමිණී, ජෝ, ශේන් සමඟ ‘මාමා’ ලෙස රඟපෑ ‘පිපී පිපී රේණු නටන’ ගීතමය’ ජවනිකාව රසිකයන්ගේ සිත් ගත්තේය.

“ධීවරයෝ’ 64, ‘අල්ලපු ගෙදර’ - 65, පුංචි බබා’ -68 වැනි චිත්‍රපටවල චරිතයන් ද මතකයේ රැඳී ඇත. ‘හතරදෙනාම සුරයෝ’ (71) හි ‘ජගරියා’ ලෙස කළ රඟපෑම මෙම ලිපි පෙළට ද පිටිවහලක් වන්නේ ඒ එහි අඩංගු වූ ගීතමය ජවනිකාවක් නිසාය. ඇන්තනී සී. පෙරේරලා හයදෙනෙකු සංගීතය වයද්දී ‘ජගරියා’ නම පෙම්වතිය සමඟ ‘රත්තරන් රං කිරිල්ලියේ’ ගීතය ගයන්නේ එක වාගේ හත් දෙනෙකු සිටිනවාය යන කියමන සනාථ කිරීමට මෙනි.

අධ්‍යක්ෂණය කළේ ‘තත්කිට තරිකිට’ 82 නම් වූ චිත්‍රපටයයි. විජය කුමාරතුංග, ගීතා කුමාරසිංහ ප්‍රධාන චරිත රඟපෑහ.