රජීව්ගේ ගී එකතුවට පිරිවර එකතු වූ හැටි

පෙබරවාරි 11, 2021

පසුගිය අවුරුද්ද පුරාම කාගෙ කාගේත් ජීවිතවල සැලසුම් කරගෙන සිටි බොහෝ දේවල් නොසිතූ අයුරින් වෙනස් වුණා. ඒකට හේතුව වුණේ කොවිඩ් වසංගතය අපේ රටත් වසා ගැනීමයි. මේ තත්වය නිසා අපි කවුරු කවුරුත් නිවෙස් ඇතුළත හුදකලා වුණා. අපි ගත කරපු සමාජීය ජීවිතය එහෙම පිටින්ම වෙනස් වුණා. මිනිස් සබඳතා නැවතුණා. හැබැයි අපි හැමෝගෙම ජීවිතවලට අවශ්‍ය කරන, අපිට මෙවැනි හුදකලා තත්ත්වයකින් තොරව කිසිදා ළඟා කරගත නොහැකි වූ විවේකයක් ලැබුණා. මේ විවේකී කාල වේලාව තම නිර්මාණ කාර්යය වෙනුවෙන් උපරිමයෙන් වැය කරපු ඔහු, යාන්තමින් රට විවෘත වන මොහොතෙදීම ඒ නිර්මාණයන් එළි දක්වන්න කටයුතු කළා. ඒ සංගීතඥ රජීව් සෙබැස්ටියන්. පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැති චාම් උලෙළකින් ඔහු මේ නිර්මාණ සමුච්චය එළිදැක්වූවා. ‘ස්ටාර් ලංකා මියුසිකල් පැරඩේ’ මෙසේ එළිදුටුවේ ගීත දොළොසකින් සමන්විතවයි.

විශේෂයෙන් මේ යුගය වනවිට සීඩී තැටි වශයෙන් ගීත රාශියක් එක දිගට අසන්නට නොලැබෙන මොහොතක රජිව්ගේ මේ ව්‍යායාමය අපට අලුත් අත්දැකීමක් ගෙන ඒවි. ලංකාවේ එක්තරා යුගයකදි අපි එවැනි ගීත සමුච්ච ඉතාම ආසාවෙන් රසවින්ද කාලයක් තිබුණු බව ඔබට මතක ඇති. නමුත් වර්තමානය වනවිට මේ ආකාරයෙන් තැටි නිකුත් කිරීමක් දක්නට ලැබෙන්නේ තලාතුරකින්. බොහෝ විට සිදුවන්නේ ගීතයක් හෝ දෙකක් නිර්මාණය කර එය යූ ටියුබයට මුදා හැරීමක් පමණයි දැන් සිදුවන්නේ. කෙසේ වෙතත් රජිව් ගේ මේ වෑයම 70 දශකයේ පොප් සංගීතය වත්මන දක්වා යා කරන ආදරණීය පාලමක් කියලා මට හිතුණේ ඔහුගේ කතාව අහගෙන ඉන්නකොට.

“2020 අවුරුද්දට ‘රජිව් ඇන්ඩ් ද ක්ලෑන්’ අපේ සංගීත කණ්ඩායමට වසර 30 ක් පිරුණා. ඉතින් අපි මේ නිමිත්තෙන් අතිවිශාල වැඩ කටයුතු රාශියක් සැලසුම් කරගෙන හිටියා කරන්න. නමුත් අපි කවුරුත් නොසිතපු විදියට ඒ සියල්ල කොවිඩ් විසින් වෙනස් කළා. මාර්තු මාසේ කෝවිඩ් ආවත් එක්කම අපි සියලු දෙනාම නිවෙස් තුළට කොටු වුණා. හැබැයි මේ කොටුවීම තුළ අපිට නිස්කලංක පරිසරයක් ගොඩ නැඟුණා. හුදකලා ජීවිතය තුළ බොහෝ අය විවිධ දේ කරන්න පටන් ගත්තා. මම මේ කාලය ඇතුළත ලියන්න පටන් ගත්තා.”

ඔය අතරතුරදි මට දවසක් ඇහෙනවා ලස්සන කටහඬක්. ඒක 70 දශකයේ අපේ හිත ගිය හඬට ළඟයි. ඒ හඬත් එක්ක මට දැනුණා අපේ රැහේ එකෙක් වගේ කියන ගතියක් . පුංචි එකෙක් වුණාට. ඒ තමයි ෆැලන් ඇන්ඩ්‍රියා. මම කතා කළා ඇයට. ඒ කාලේ ඇය තරගය තුළ ඉන්න තරගකාරියක් වුණත් ඇයට නිර්මාණ කරන්න බාධාවක් තිබුණේ නෑ. ඒ නිසා ඇය එකඟ වුණා නිර්මාණයක් කරන්න. ඔය අතරතුර ඇය තරගයෙනුත් දිනුවා. ඇයගේ ගීතය සූදානම් කරගෙන ඉන්නකොට මට දවසක් තවත් කටහඬක් ඇසෙනවා. ඒ හඬ ඇහෙන්නේ භාතිය- සන්තුස්ලගේ ලයිවි ඉන් කොන්සර්ට් එකකින්. යොහානි ද සිල්වා කියලා පුංචි ගැනු ළමයෙක් සින්දුවක් කියනවා. ඒ ගීතය මම කොරීන් අල්මේදාට හදපු ගීතයක්. මම හදපු සින්දුවක් වෙන කෙනෙක් කියනකොට මම තරම් ආස වෙන කෙනෙක් තවත් නෑ. මට හරියට ආස හිතුණා ඇගේ ගායනයට. හැබැයි මේ ගීතයේ මුල් ගායිකාව ගැන ඇය සඳහනක් කළේ නෑ. ඒ ගැන මට පුංචි කනගාටුවක් ඇති වුණා. කොහොම නමුත් මේ ගීතය දැකලා මම මගේ ෆේස්බුක් පිටුවේ පොඩි සටහනක් යෙදුවා. මුල් ගායිකාවගේ නම කිව්වා නම් තවත් හොඳයි කියලා. මේ පෝස්ට්ටුවට විවිධ අදහස් ආවා. හැබැයි දවසක් රෑ 12 ට විතර මට මැසෙන්ජර්වලින් පණිවිඩයක් ආවා. රජීව් සර්... එක්ස්ට්රීම්ලි සොරි.. කියලා. මම බැලුවා කවුද කියලා. බලනකොට යොහානිද සිල්වා. ඇය මගේ දුරකතන අංකය ඉල්වා තිබුණා. කෙනෙක් වැරැද්දක් කළා කියලා අවබෝධ කරගෙන එයට සමාව ඉල්ලනවා නම් එයට වඩා අවංක කමක් තවත් නෑනේ. මම ඇයට මගේ දුරකථන අංකය යැව්වා. මම හිතුවා ඇය පස්සේ දවසක කතා කරයි කියලා . එහෙත් ඇය හැරෙන තැපෑලෙන් මට කතා කළා. ඇය යළිත් වතාවක් සමාව අයදින්න පටන් ගත්තා.

මම ඇයට කිව්වා පුතා... ඔයා මේ සින්දුව කිව්වට කමක් නෑ. හැබැයි මේ ගීතය මම හැදුවේ කොරීන් අල්මේදාට. එයා ඒකට මට මුදල් ගෙවලා තියෙනවා. කොරීන් අල්මේදා ඉන්න තැනක ඔයා මේ ගීතය ගායනා කරන්න එපා කියලා. ඇය බොහොම කනගාටුවෙන් කිව්වා ඇයට ගයන්න ඇගේම ගීත නැති නිසයි මේ ගීතය කිව්වෙ කියලා. ඇය බොහෝ විස්තර මාත් සමඟ කතා කළා. ඇගේ පසුබිම, පවුලේ විස්තර මේ සියල්ල අහලා මම ඇයට ගීතයක් ලිව්වා. ඇය ඒකට ඉතාම සතුටු වුණා. ඒ ගීතයෙන් කියන්නේ එයා ගැනමයි. හැබැයි ඒක ලිව්වේ යොහානිව ඇහැටවත් දැකලා නෙමෙයි.

රජිව් එකින් එක ගීත එකතු කරන්න පටන් ගත්තේ එහෙමයි. ඔය අතරේ ටෂ්නි පෙරේරාටත් ගීතයක් නිර්මාණය කළා. හැමදාමත් අලුත් දෙයක් කරන්න හිතුව රජීව් මේ පාරත් ඒ අලුත් වැඩේ ප්‍රවීණයෝ කීප දෙනෙක් එක්ක කරන්න උත්සාහ කළා. රජිව් අතින් මේ ගීතය ලියවෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණය තියලා කැබිනට් මණ්ඩලය දිව්රුම් දුන්න දවසේ. මේ ගීතය ගායනා කරන්න රජිව් තෝරා ගත්තේ බන්දුල විජේවීර, ඉෂාක් බෙග් සහ ලූක් හෙන්ඩ්‍රිකස්

‘‘අලුතින්ම ගීත 4 ක් වත් එකතු වන තුරු මම රෙකෝඩින් කරන්න බලාගෙන හිටියා. ඇන්ඩ්‍රියාලා, යොහානිලා මගෙන් අහනවා ගාන කීයද කියලා. ඇත්තටම මට මුදල් ගැනීමේ උවමනාවක් තිබුණේ නෑ. මට මතක් වුණා මම මේ ක්ෂේත්‍රයට එනකොට මට ක්ලැරන්ස් විජේවර්ධනලා, මරියසෙල් ගුණතිලකලා ඇතුළු පිරිසම කොහොමද උදවු කළේ කියලා. ක්ලැරන්ස් විජේවර්ධන මගෙන් සත පහක්වත් ගන්නෙ නැතුව මට සින්දු හදලා දුන්නා. මගේ රකෝඩින්වලට ගිටාර් ගහලා ගියා. මගේ පළවෙනි යුග ගීතය ගායනා කරන්න මරියසෙල් ගුණතිලක සත පහක් ගන්නෙ නැතුව ආවා. ඒවා මට හොඳට මතකයි. අපේ අනාගත පරපුරට මගෙනුත් එහෙම දෙයක් වෙන්න ඕන. මම සුළු ගාණක් ගත්තා ඉදිරි රෙකෝඩින් ටික කර ගන්න ආයෝජනය කරන්න ඕන නිසා. ඇත්තටම මට සතුටක් මේ ගීත එකතුවට 70 දශකයේ වීරයන්ගේ සිට වර්තමානයේ අපේ රැහේ උන් දක්වා එකට එකතු කරන්න ලැබීම ගැන.

මේ ගීත එකතුවට රජිව් මිට ප්‍රථම ගීත වශයෙන් කළ ඉෂාක් බෙග් සමඟ ගායනා කළ ‘‘නානා” ගීතය මෙන්ම සුනිල් පෙරේරා, ඩෙස්මන්ද සිල්වා, ඇනස්ලි මාලේවන සමඟ ගැයූ ‘සරම’ ගීතයද ඇතුළත් වෙනවා. මේ සියල්ලටම වඩා තවත් අපුරු සුසංයෝගයක් මේ ගීත එකතුව හරහා රජිව් නිර්මාණය කරනවා. ඒක වෙන්නේ මෙහෙමයි.

‘ දීපිකා පි‍්‍රයදර්ශනිගේ සැමියා චාමිකයි මමයි බොහෝ සමීපව විවිධ අවස්ථාවන්වල කටයුතු කරනවා. ඔහු ගීතයක් ලිව්වොත් මට බලන්න එවනවා මම ගීතයක් ලිව්වොත් ඔහුට යවනවා. අපි අතර ඒ වගේ හුවමාරුවක් තිබෙනවා. දවසක් මම ලියූ ගීතයක් ඔහුට යැව්වා.

ඔහු මට කියනවා ඒක මාරයි. කවුද මේක කියන්නේ කියලා. මම එක්තරා නමක් යෝජනා කරනවා. ඒ එක්කම මම කියනවා කැමැති වෙයිද දන්නෙ නෑ කියලා. මම නම කිව්වම චාමික කියනවා මම හෙට අනිද්දට එයාව හම්බවෙන්න යනවා. ඒ ගැන මම අහන්නම් කියලා. ඔහු ගීතය පෙන්වලා විස්තරේ කිව්වම ඉතාමත්ම කැමැත්තෙන් එකඟ වෙලා තියෙනවා. ඒ වෙන කවුරුවත් නොවෙයි. අමරසිරි පීරිස් අපේ ප්‍රවීණ ගායන ශිල්පියා. එහෙම තමයි අමරසිරි පීරිස්ගේ ගීතය මේකට එකතු වුණේ.

ඔය අතරම මගේ ෆේස්බුක් මිතුරියක් වන තත්සරා සේනාරත්න මට ගීතයක් ලියලා එවලා තිබුණා හොඳද බලන්න කියලා. බැලු බැල්මට පළවෙනි කොටස මගේ හිතට අල්ලා ගියා. දෙවැනි කොටසත් හොඳයි. හැබැයි අන්තිම කොටස ලෙන්ත් එක මදි වගේ මට දැනුණා. මම ඇයගෙන් ඇහුවා මේකේ අන්තිම කොටස වෙනස් කළාට කමක් නැද්ද කියලා. ඇය කිසි ප්‍රශ්නයක් නෑ කිව්වා. ඒ අනුව ඒ ගීතයත් මම ගත්තා. අලුත් ගායක පරපුරක් මෙන්ම අලුත් ගීත රචිකාවියකුත් මේකෙන් දොරට වඩිනවා”

කෙසේ වෙතත් රජීව්ගේ මේ ගීත එකතුවේ තත්සරා හැරුණු කොට අනිත් ගීත සියල්ලම රචනා කර ඇත්තේ ද රජීව් විසින් ගීතනු නිර්මාණය, සංගීත සංයෝජනයද රජිව්ගෙන්. වත්මනේ බිහිවූ තරුණ හඬ සමඟ 70 දශකයේ අප පෙම් බැන්ද තරුද සමඟ දශක ගණනාවක් යා කොට තැබූ මේ පාලම එදා ක්ලැරන්ස්, ඉන්ද්‍රානි, ඇනස්ලි, මරියසෙල් ඇතුළු පිරිස මැවූ ආදරණීය සංගීත යුගය මෙදා ෆැලන්, යොහානි ඇතුළු පිරිස සමඟ යළි මවන්නට මෙය ආදරණීය අත්වැලක් වේ යැයි විශ්වාස කරමි.